Sunday, July 1, 2012

102. සිනාසී තර වෙන්න, තර වී ලෙඩ වෙන්න.

ඉතිහාස කතා, හොල්මන් කතා, බෞද්ධ කතා, මේ හැමටම වඩා මට වටින්නේ ආයූර්වේද කතා. එහෙනම් පොරොන්දු පරිදි අද ඔන්න ආයූර්වේද කතා. මේකෙදි මට මතක් කළ යුතුම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාගේ ඉල්ලීමට තමයි මේක ලියන්නේ. හැබැයි එයාලගේ නම් ඕනෙ නැහැනෙ.

අද මම ලියන්න යන්නේ ඉතාම වටිනා දෙයක් ගැන. නවීන ලෝකෙ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක්.

එනම්………….

…………………... තරබාරුව.

ඇත්තටම අද ලෝකයේ එක් කට්ටියක් බඩගින්නේ දුක් විදිද්දී තව කට්ටියක් ආහාර වැඩි කමෙන් අදිපෝෂණයෙන් පෙළෙනවා. අපි ඒ ගැන කතා කරමු.....

මම මුල ඉඳලම මේ ගැන කියන්නම්. ඔබ අහලා තිබෙනවනේ ධාතු කියන වචනය. ඔන්න වැරදි විදියට ගන්න එපා. ආයූර්වේදෙදි ධාතු කියන්නේ එක වර්ගයක් නෙමෙයි. ආයූර්වේදේ ධාතු වර්ග බොහෝමයක් තිබෙනවා.
1. පංච මහා භූත ධාතු.
2 ත්‍රිදෝෂ ධාතු.
3. සප්ත මහා ධාතු. මේ වගේ තවත් විශාල ගණනක් ධාතු වර්ග ආයූර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කියවෙනවා.මේ අතරින් අපි අද අවධානය යොමු කරන්නේ සප්ත මහා ධාතු කියන ධාතු වර්ග හතක ගොනුවක් වෙත.

අපි බලමු ධාතු වලට දෙන්න පුළුවන් නිරුක්තිය ගැන.
ධාතු කියන්නේ,
ධාත්‍රැං යන මූලයෙන් මේ වචනය සෑදිලා තියනවා. එහි අදහස වෙන්නේ ධාරණය එහෙමත් නැත්නම් පෝෂණය කියන එක.
"දධාති ධත්තෙවාශරීර මන ප්‍රාණාන් ඉති ධාතුඃ" තේරුම - ශරීරය, මනස, හා ප්‍රාණය යම් කිසිවකින් දරා සිටීද ඒ ධාතු නමින් හඳුන්වනු ලැබේ.

මේ ශ්ලෝක පාඨයෙන් කියවෙන එක කරුණක් ඉතා වැදගත් එනම්,

1. ශරීරය,
2. මනස,
3. ප්‍රාණය දරා සිටින්නේ ධාතු වලිනි.

"දධාති ධාරයති ශරීර සංවර්ධනාං ඉති ධාතුඃ" මෙහි අර්ථය වෙන්නේ, යම් කිසිවක් ශරීරය ධාරණය හා පෝෂණය කරයිද එය ධාතු නමින් ගැනේ.

දැන් අපි දන්නව මේ ධාතු වලින් තමයි ශරීරය, මනස, ප්‍රාණය දරා සිටින්නේ. එතකොට ශරීරයේ ධාරණය හා පෝෂණය ඇති කරන්නේත් මේ ධාතූන් කියන එක.

සප්ත ධාතූ ප්‍රභේද.
සප්ත කියන කොටම අපිට දැනෙනවා හතක් කියන එක.
1. රස
2. රක්ත
3. මාංශ
4. මේද
5. අස්ථි
6. මජ්ජා
7. ශුක්‍ර මේවා තමයි සප්ත ධාතූ කියන්නේ. මේ ගැන තවත් ඉදිරියට විමසා බලමු.

කෝෂ ග්‍රන්ථ වලට අනුව ධාතු ශබ්දයේ අර්ථයන්.
1. යමක ඉතාමත් වැදගත්වන කොටස.
2. මූල ද්‍රව්‍ය
3. ද්‍රව්‍යයක සාරය
4. ශරීරයේ මූල ද්‍රව්‍ය
5. භෞතික ද්‍රව්‍ය
6. ශබ්ද මූලය
7. ආත්මය
8. පංචේන්ද්‍රය
9. පංච මහාභූත
10. අස්ථි මෙන්න මේ වගේ අර්ථයන් රාශියක් ධාතු කියන වචනෙට සංස්කෘත කෝෂ ග්‍රන්ථවල දීල තියනවා.
පුද්ගලයෙක්ගේ උපතේ සිට විපත දක්ව එසේත් නැත්නම් පංචමහා භූත එක්වී මිනිස් ශරීරය නිර්මාණය වී එය නැවත පංච මහා භූත තත්ත්වයට පත් වන තුරු සෑම මොහොතකම ධාතු නිර්මාණය වෙමින් විනාශ වෙමින් පවතී. මෙය ජීවය පවත්වා ගැනීමේ අනිවාර්‍ය්‍ය අංගයකි.

ධාතු ප්‍රභේද
1. ස්ථායී ධාතු
2. අස්ථායී ධාතු
මින් ස්ථායී ධාතු යනු යම් කිසිවක් ධාතු තත්ත්වයට පත් වී නැවත වෙනත් ධාතුවක් බවට පත් නොවන ධාතූන්ය. උදාහරණ රස, රක්ත, ආදී ධාතු සප්තකයම.
අස්ථායී හෙවත් පෝෂක ධාතු නම් එක ධාතුවක් තවත් ධාතුවක් බවට පත්වන ධාතූ කොටස්ය. උදාහරණ ලෙස අප ගන්නා ආහාරය රස බවට පත් වී ඉන් කොටසක් ස්ථායී රස ලෙස පවතිද්දී තවත් කොටසක් රක්තය බවට පත් වේ. මේ ක්‍රියාවම රක්තයේදීද නැවත සිදු වේ. මෙලෙස වෙනත් ධාතුන් බවට පත්වන ධාතු කොටස පෝෂක ධාතු ලෙස හඳුන්වයි. (චරක සංහිතා, සූත්‍ර, 28 අධ්‍යාය.)

දැන් ඔබට ධාතූන් යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි යම්කිසි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. ඒ නිසා අපි මේ ධාතූන් ගැන තව ගැබුරට සොයා බලමු. ඇත්තෙන්ම අප ගන්නා අහාරය ශරීරය තුළ ජීර්ණ ක්‍රියාවලියට භාජනය වන අයුරු ඔබ අ.පො.ස. සා/පෙ සිටම උගෙන් ඇතුවාට සැක නැත. ඒ බටහිර ක්‍රමයටය. මේ දැන් අප දැන ගන්නේ අපේ පෙරදිග ක්‍රමයට ආහාර ජීර්ණය විස්තර කර ඇති අයුරුයි.

ධාතු නිර්මාණ ක්‍රියාවලිය හෙවත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආයූර්වේදයට අනුව.
ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ ක්‍රියාවලිය සිදුවෙන ක්‍රම තුනක් දක්වලා තියනවා.
1. කෙධාරි කුල්‍යා න්‍යාය
2. ඛලේ කපොත න්‍යාය
3. ක්ෂීර දධි න්‍යාය
මේ ගැන විස්තර සොයන කෙනෙක්ට ප්‍රයෝජනවත් වන්නට මම රෙෆරන්ස් දෙන්නම්. චරක චිකිත්ස් 15/16 අධ්‍යායන්, සුශ්‍රැත සූත්‍ර 14 අධ්‍යාය, අෂ්ටාංග හෘදය ශාරීර 3 අධ්‍යාය. මේ පොත් තුන කරුණු කීපයක් ගැන ප්‍රතිවිරුද්ධ මතත් දරනවා. නමුත් ඒ ගැන නොසලකා අපි මේ ක්‍රියාවලිය ගැන සිත යොමමු.

(1)කෙදාරි කුල්‍යා න්‍යාය
මෙහිදී කෙදාරි යනු කෙතයි. කුල්‍යා යනු ඇලයි. එනම් කෙතට ඇලවල් වලින් වතුර ගෙන යන රූප ඔබ දැක ඇතිනේ අන්න ඒ වගේ ප්‍රධාන ඇළෙන් ජලය ඊළඟ ඇළට, ඒකෙන් ඊට කුඩා එකට අදී වශයෙන් පිළිවෙළට ගමන් කර කෙත ජලයෙන් පෝෂණය කරනවා. මේ ආකාරයෙන්ම අප ගන්නා ආහාරයේ ඇති රස කොටස, රක්තය කොටස, මාංශ කොටස ලෙස පිළිවෙලින් එකින් එක ශරීරයට උරා ගන්නා අයුරු විස්තර කෙරෙනවා. මෙකෙදි වන්නේ අනුපිළිවෙලින් ආහාරය රස ආදී වශයෙන් ගොස් ශුක්‍ර බවට පත් වීමයි.

(2)ඛලේ කපෝත න්‍යාය
මෙහිදී නොයෙක් ධාන්‍ය වර්ග විසුරුවා ඇති තැනකට නොයෙක් පළාත් වලින් කුරුල්ලන් පැමිණ තම තමන් කැමැති ධාන්‍යයක් තෝරාගෙන යන්නාක් මෙන් ආහාරය ඉතාමත් අවශ්‍ය ධාතුව බවට ඉක්මණින් පත් වීමයි. මෙය හැම විටම සිදු නොවන ක්‍රියාවලියකි. මෙය ඉතා අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාත්මක ඒ. නැතහොත් අඩු වේගයකින් සිදු වෙමින් සිට අවශ්‍ය විටෙකදී වේගයෙන් ක්‍රියාත්මක වේ.

ක්ෂීර දධි න්‍යාය
මෙහිදී වන්නේ කිරි දී කිරි බවට හැරෙන්නාක් මෙන් ඉතා ක්‍රමානුකූල ලෙස ආහාරය පරිණතියට යාමයි. මේ ක්‍රමයත් නිතරම සිදු වන ක්‍රියාවකි. 1 සහ 3 වන ක්‍රමයට නිතරම ආහාරය පරිණත කරන අතර 2 ක්‍රමය හදිසි විටෙකදී පමණක් ක්‍රියාත්මක වේ.

දැන් ඔබට ස්ථූලභාවය ගැන කියන්නම් මෙතැන් සිට. ටිකක් දිග වුවත් මේක අවශ්‍ය අය සිටින නිසා මේකෙදිම අවශ්‍ය දේ කියන්නම්.

දැන් අපි දන්නව යමෙක් ආහාරයක් ගත්තම ඒ ආහාරය, ආහාර රසය බවට පත් වෙනවා. මේ සදහා ධාත්වග්නි පාකය කියන සංසිද්ධියත් වැදගත් වෙනවා. ඒ ගැන මම වැඩි විස්තරක් නොකියා කෙටි හැදින්වීමක් විතරක් කරන්නම්.

අපේ ආහාරය මත යෙදෙන එක් බලයක් වන්නේ මේ ධාත්වග්නි පාකයයි. මේකෙදි අනුපිළිවෙලින් එකින් එක ධාතූන් සදහා වැදගත්වන ධාත්වග්නි පාකයන් යෙදවෙනවා. උදාහරණයක් විදියට මුලින්ම, ආහාරය මත ධාත්වග්නි පාකය යෙදීමෙන් ඇතිවෙන්නේ ආහාරයේ රස කොටසයි. ඒකෙදි නිපදවෙන්නෙ රසයයි. නැවත ධාත්වග්නිපාකය යෙදීමෙන් රක්තය, මේද, මාංශ, ආදී ලෙස ක්‍රමයෙන් සියලුම ධාතූන් නිපැයෙනවා.

මේ ධාත්වග්නි පාකය යෙදවීම සම්බන්ධව නොයෙක් මතයන් තිබෙනවා. මම මෙහිදී පිළිගන්නේ අර අපි කලින් කතා කළ 1, සහ 3 යන ක්‍රම දෙක සාමාන්‍ය ලෙසත් 2 ක්‍රමය හදිසි අවස්ථාවලත් යෙදවීමෙන් ශරීරයට අවශ්‍ය ධාතු නිපදවෙනවා කියන එකයි.

ඉතාම කෙටියෙන් කිව්වොත් මේ 1, 3 ක්‍රම වලට තමයි අපේ එදිනෙදා අවශ්‍ය ධාතූන් නිර්මාණය වෙන්නේ. ඊළඟට මේ ධාතූන් පිළිවෙලින් භූතාග්නි පාකය නම් සංසිද්ධියකට භාජනය වෙනවා ඉන් ඇතිවන ඵලය වෙන්නේ මහාභූත පංචකය. එනම් පෘථිවි, ආප්, අග්නි, ආකාශ සහ වායු යන මහාභූතයන්.

දැන් ඔබට පැහැදිලි ඇති අපි ගන්නා ආහාරයෙන් මුලින්ම ධාතු සප්තකයත්, ඒ ධාතු සප්තකයෙන් ස්ථාවර ධාතූන් හැර අනිත් පෝෂක ධාතූන් මගින් පංච මහා භූතයනුත් නිපදවෙන බව. මේවා සියල්ලම නිසා තමයි අපේ ජීවය පවතින්නේ.


එතකොට අපේ ශරීරයට පෝෂක වර්ග දෙකක් එකතු වෙනවා. ඒ අපි කියූ ස්ථාවර ධාතු සහ භූත පංචකය.

දැන් අපි හිතමු, යම් කෙනෙක් අසනීපයකින් පෙළුණා. නිසි පෝෂණයක් නැති වුණා සෑහෙන දින ගණනක්. එතකොට මොකද වෙන්නේ???
මෙන්න මේක බොහෝම වැදගත් ප්‍රශ්නයක්.

මෙහෙමයි ඒ වගේ අස්ථාවක අපේ ශරීරයේ පෝෂක ධාතූන් වන සප්ත ධාතු අඩු වෙන්න ගන්නවා. ඒ එක්කම එයිට අදාළ මහාභූතයන්ද අඩු වෙනවා.

මේ හිඟය මඟ හරින්න යම් පෝෂණයක් ශරීරයට ලැබිය යුතුයි. ආහාර ගෙන ඒ තරම පෝෂණයක් ලැබීමට කෙටි කලක් ගතවන නිසා අපේ ස්ථාවර ධාතු සප්තකය යම් ප්‍රමාණයකට ධාතු මුදා හැරීමක් සිදු කරනවා. අන්න ඒ නිසයි යමෙක් අසනීපයකින් පෙලුණොත් කෙට්ටු වෙන්නේ.

ඒ වගේම අපි අපේ ආහාරය සමබර කර නොගත්තොත් ?????

ඒ ගැන සහ ශරිරයේ කායික සමබරතාව නීරෝගීව පවත්වා ගන්නා අන්දම දෙවනි කොටසින් ....

හරියන්නෙ නැහැ. එක කොටසකට දිග වැඩියි. එහෙනම් දින දෙක තුනකින් ඉතිරි කොටස......

Thursday, June 21, 2012

101. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 02 කොටස.

මේ දෙවනි කොටස.

පළමු කොටස නොකියවූ අය ගිහිල්ලා ඒක බලලම ආවොත් වැඩේට ලේසියි.

මිථ්‍යාව පතුරවනව කියලා කියපු ඇනෝලත් මේ කොටස කියවන්නකො........

අද තාම සිකුරාදා මේකෙ පළවෙනි කොටස පල කරන්නෙත් සදුදා.

සදුදා මිත්‍රයෙක්ගේ වැඩක් නිසා මේ වැඩය කර ගන්න කාලයක් ලැබුණේ නැහැ. දැන් දෙවනි කොටසත් ලියලම තමයි පළමු කොටසත් පළ කිරීමට සිතාගෙන සිටින්නේ. කවදත් මට හදිසියක් නැහැනේ.

අපි මේ කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කර ගත යුතු නිසා මමත් මගේ මිත්‍රයත් මේ ගැන බොහෝ සොයා බැලීම් කළා. ඉන් අපට දැන ගන්න ලැබුනු දේවල් බොහෝමයි.

මෙතැන් සිට ලියන දේවල වගකීම මම ගන්නවා.

අපි මේ කතාව නිසි අයුරින් අධ්‍යනය කරමු. එහිදී,
1.පුරාවිද්‍යාත්මක සාධක.
2. සමාජ විද්‍යාත්මක සාධක.
3. විඤ්ඤාණමය සාධක.
යන මේ සියළුම අංශයන්ගෙන් මේ අධ්‍යනය කළ යුතුයි.

1.පුරාවිද්‍යාත්මක සාධක.

පළමුව අපි සොයා බැලුවා මේ කරුණු ඇත්තද කියලා. එහිදී අපිට පෙනුණු දෙයක් තමයි වැලිකල මහතා කියන දේවල් 100% ඇත්ත බව. නමුත් මේ දිවා ගුහාවද කියන සැකය අපිට තදින්ම තිබුණා. ඒ ගැන තවමත් අපි සොයනවා. ඊයෙත් (2012/06/18) මගේ මිත්‍රයා මට කතා කළා. එතුමා (මෙහිදී නම සඳහන් කළ නොහැකි ) භික්ෂූන් වහන්සේ නමක් හමු වී මේ ගැන විචාරා තිබුණා. එතුමාගේ මතයත් මේ දිවා ගුහාව නොවන බවයි. මේ භික්ෂූන් වහන්සේ මා ඉතාමත් ගරුකරන තෙර නමක්. වගේම ලිවිය යුතු කතාවක් උන් වහන්සේ වටාත් තිබෙනවා. නමුත් තවම මට ඊට අවසරය ලැබුණේ නැහැ.

අපිට දැනගත හැකි වූ කරුණු අනුව මේ ස්ථානය අවට විශාල ගුහාවල් කීපයක්ම තිබෙනවා. විශාල ගල් ගුහාවක්ම දිවා ගුහාව විය යුතුයි. මොකද බුදුන් වහන්සේ සමග 500 රහතුන් වහන්සේලා පැමිණි බව දැක්වෙන නිසයි. මා මෙහිදී ස්ථානයේ ආරක්ෂාව ගැන සිතා තැන ගැන වැඩි විස්තර නොලියා ඉන්නම්. දැනට දිවා ගුහාව ලෙස හඳුනා ගෙන තිබෙන ස්ථානයට කිට්ටුවෙන් තවත් විශාල ගුහාවක් තිබෙනවා මේ ගුහාවේ පැත්තකට වෙන්නට පොකුණක් තිබෙනවා. බුදුන් වහන්සේ වැඩ හිටි ගුහාවේත් මෙලෙසම පොකුණක් තිබී තියෙනවා. නමුත් වැලිකල මහත්මයා කියන ගුහාවේ මේ පොකුණ තිබෙන්නේ ස්වභාවික ලෙස තිබුණු එකක් නෙමෙයි. කෙසේ හෝ මේ කිසිවක් දිවාගුහාව ලෙස පිළිගන්නට තවම කල් වැඩි බවයි මගේ කල්පනාව.

මේ නව ගුහාවේ කිසිම සොයා බැලීමක් තවම කර නැහැ. ඒ වවුල් විමානයක් ලෙසම තවම තිබෙනවා. ඉක්මනින් දිනක අප එහි යනවා. එදිනට ඔබට ඒ ගැන කියන්නම්. මෙම ගල් ගෙවල් එකල සිටි යක් ජනයාගේ ප්‍රධානම වාසස්ථානයන් වූවා යැයි සඳහන් වෙනවා. සමන් දෙවියන් තමන්ගේ පරිහරණයට වෙන්කරගෙන තිබූ ගුහාව බුදුන් වහන්සේට පිදූ බවකුත් කියවෙනවා.

තවත් දෙයක් මෙහි තිබෙනවා මූර්ති කීපයක්. ඒවා මෑත යුගවලට අයත් බව පෙනෙනවා. 1908 දීත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙහි යම් අලුත්වැඩියාවන් කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. මේ මූර්ති එකල තැනූවක්ද? එකල අලුත්වැඩියා කළ ඒවාදැයි හරියටම කියන්න බැහැ. නමුත් මින් නිරූපණය වන්නේ අර කුමාරිකාව විෂ්ණු දෙවියන් හමුවේ තම දුක කියා රාජකීයයන් විෂ්ණු දෙවි හමුවට පමුණුවා නඩු අසන සෙයක්. මෙහි කලකදී විෂ්ණු දෙවොලක්ද තිබී තිබෙන බව පෙනෙනවා.

2. සමාජ විද්‍යාත්මක සාධක,

දැන් අපි මේ ගැන තවත් සොයමු. ඔබ දන්නවනේ මේ සමන් දෙවි අඩවිය ලෙස පිළිගන්න බව. මේ සමන් දෙවි යුගය ගැන සමාජ විද්‍යාත්මකව සොයා බැලීමේදී ඉතා සුවිශේෂී කාරනා කීපයක්ම හෙළි වනවා. එනම්,


1. මේ යුගයේ සමාජය පීතෘ මූලික සමාජයක් නොව මාතෘ මූලික සමාජයක් ලෙසයි පැවතී ඇත්තේ.
2. සමන් දෙවියන්ගේ අක්කා ලෙස සැලකෙන මහ ලොකු අක්කා නම් (ඇයම මහ ලොකු කිරි අම්මා නමිනුත් සමහර විට හඳුන්වනවා.) යක් කාන්තාවගේ ගුහාව ලෙස හඳුන්වන ගුහාවකුත් මේ අසල තිබෙනවා.
3. තවත් ගුහාවක් යකින්නගේ ගුහාව ලෙස හදුන්වනවා.
මේ සියල්ල ගැන බැලීමෙන් තවත් යමක අපට හෙළි වනවා. එනම් මේ යුගය තමයි මාතෘ මූලික සමාජ ක්‍රමය උඩු යටිකුරු කරමින් පීතෘ මූලික සමාජ ක්‍රමය සමාජ ගත වූ අවධිය.

නිශ්ශංක මල්ලයන් මේ ප්‍රදේශයට එනතෙක් කිසිම ලක් රජෙක් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටි බවට කිසිම සාධකයක් මෙතෙක් මට නම් කියවන්න ලැබී නැහැ. (හසිත මේ ගැන දන්නවනම් ලියන්න.)

ඒ නිසා මා සිතන්නේ.........

සමන් දෙවියන්ගේ යුගයේ සිරිත් විරිත් ආදිය මේ මාතෘ මූලික සමාජ ක්‍රමය බොහෝ දුරට රැකී තිබෙන්න ඇති. මොවුන් බෞද්ධයන් වන්නත් ඇති. ඒ බුදුන් වහන්සේගේ ආගමනය නිසා. නමුත් ඉන්දියානු මොඩලයේ පීතෘමූලික සමාජ ක්‍රමය මේ පළාත් වලට එන්න ඇත්තේ නිශ්ශංක මල්ලයනුත් සමඟයි කියන එකයි මට හිතෙන්නේ. එය සංකේතාත්මකව කාන්තා දූෂණයක් ලෙස සමාජගත වූවාදැයි මට සිතෙනවා. ඒ කියන්නේ එක සමාජ ක්‍රමයක් එහෙම පිටින්ම තවත් සමාජ ක්‍රමයක් මගින් විස්ථාපනය වීමක් මෙතැනදී කතාන්දරක් ආකාරයකට සඳහන් වනවා දැයි මට සැකයක් ඇති වෙනවා.

ඉතා දිගු කලක් කොටින්ම වසර දහස් ගණනක් යුග කීපයක්ම තිබූ සම්ප්‍රදායන් එක් විටම වෙනස් වීම් කෙලෙසක සමාජය දරා ගනියිද යන්න අපට හිතා ගන්නවත් බැහැ. ඒ ආශ්‍රිතව සිදු වූ සිදු වීම් යම් යම් නිරූපනාකාරයෙන් විස්තර වීම පැරණි සිංහල ක්‍රමයටද අනුගතයි.

සමාජ ක්‍රමයක් දූෂණය වී තවත් නව සමාජ ක්‍රමයක් එක් වරම අනුගත වීම. විශේෂම සිද්ධිය කාන්තාවගේ නායකත්වය එක් විටම අහෝසිවී යාම. සිතා බලන්න....

කුවේණි කතාවේත් මෙවැන්නක් තිබෙනවා.... බලන්න... කුවේණිය මහා තේජවන්ත ශූර වීර සකල කළා ශිල්පයෙහි හසළ කාන්තාවක්. කොටින්ම මායා ශාස්ත්‍ර පවා දන්නවා. නමුත් ඇයගේ නායකත්වය එනම් මාතෘ මූලික යක්ඛ ක්‍රමය ඇයතම පෙම්වතා හමුවේ පූජා කරනවා. ඉනික්බිති චපල පෙම්වතාගෙන් පළිගන්න ඇය පෙළබෙන්නේ නැහැ. නමුත් ඒ ශක්තිය ඇයට තිබිය යුතුයි. ඒ ඇයි?????

මේක තමයි මානසික පරාජය. අද වුවත් මට හමුවෙනවා. ඉතාම කෙසඟ පිරිමි, බිරිඳට පුළුවන් ඔහුව උස්සලා විසි කරන්න. නමුත් ඒ කිසිවක් ඔවුන් කරන්නෙ නැහැ. ඒ ඇයි...? මානසිකව ඔවුන් සිටිනවා, පිරිමි මූලික සමාජ ක්‍රමය තුළට අනුගත වෙලා. (මේක හරිද වැරදිද නෙමෙයි මම මේ කියන්නේ. මගේ කතාවට සාධක ලෙස පමණයි.)

කොහොම වුවත් යම් නිශ්චිත සාධක මත පිහිටා මේක මෙහෙමයි කියන්න තරම් පර්යේෂණ තවම මේවා ගැන කෙරී නැහැ. මේ නව සොයා ගැනීම් සමඟ මට නම් සිතෙන්නෙම අපි මේ කතාන්දරයක් විදියට දකින සිද්ධිය යම් සිද්ධි මාලාවක් නියෝජනය කරන්න ගොතා ගත්තක් ලෙසයි.

ඔබට මතකද මම කලින් ලියූ විශ්වොත්පත්ති කතා මාලාව?

මේ තියන්නේ

එක,
දෙක,
තුන ලිපි ටික ආයිත් මේක ලියන්නම් දිනක.

3. විඤ්ඤාණමය සාධක.
ඉහත ලිපි වලින් එදා මම කියන්න උත්සාහ කලේ මූලිකවම භෞතික ද්‍රව්‍ය නිර්මාණයේදී එක්තරා දුරකට අභෞතික ද්‍රව්‍ය වන ප්‍රමාණ, වගේ දේ වැදගත්වන බව පැහැදිලි කරන්නයි. අපි ඒ ගැන හැදෑරීම පසෙක තබලා ඉන් යම් අදහසක් පමණක් ගෙන අපේ දැන් කතාවට එමු.

මේ කාන්තාව මරණයට පත් වන්නේ ඉතාම දැඩි ශෝකී වෛරී චේතනාවකින් නිසා ඇයගේ ඒ වෛරී සිතුවිලි යම් යම් භෞතික තත්ත්වයන් සමඟ ආරෝපණය වීමෙන් මෙවැන්නක් සිදු විය නොහැකිද?

උදාහරණයක් ලෙස අපි හිතමු මෙහෙම. මේ කුමාරි වෛරී චිත්තයෙන් මැරෙනවා. ඇයගේ ඒ වෛරී සිතුවිලි මේ ගුහාව තුලට එන අයට යම් මානසික බලපෑමක කරනවා වෙන්න බැරිද? මම පුද්ගලිකව අත්දැක තිබෙනවා, සමහර ගේ දොරවලට ඇතුල් වූ විට අපේ සිතට මහ කාලකණ්නි සිතුලි එන උදාසීන ගතියක් දැනෙනවා. මේ වගේ දෙයක් මෙතැන අභෞතික ලෙස නිර්මාණය වෙන්න බැරිද?? එම සිතුවිලි මේ අවට මිනිසුන්ට සහ ගුහාවේ සිටිනා අයට දැණුනා වෙන්න බැරිද??? වගේ දේ මගේ සිතට එනවා.

මේ ගුහාව බලන්න මුල් කාලයේ පැමිණි කාන්තාවන්, විශේෂයෙන්ම ඉතාම සුන්දර අඩු වයස් ගැහැණු ළමුන් මේ තුලදී ආවේශ වීම වගේ දේවලට ලක් වුනැයි වැලිකල මහතාම කියනව. පිරිත් කීමෙන් ඔවුන් සුව වුනැයිද කියැවෙනවා.

මට තේරුම් ගන්න ඕනෙම තැන මෙතැන. මේ ගුහාවේ යම් මානසික බලවේගයක් තිබුනැයි අප සිතුවොත් මේ සියලු දේ පැහැදිලි කළ හැකියි. නමුත් එවැන්නක් නොමැති යැයි උපකල්පනයක් කළොත් මේ සියල්ලම සිදු විය නොහැකියි. එසේ නම් මේවා සිදු වන්නේ කෙසේද?

මේක මට හිතෙන විදියට අර ජුලම්පිටියේ අමරේගේ කේස් එක වගේ. අපි ගුහාව බලන්න යන්නේ මේ හැම දෙයක්ම ඔලුවේ තබාගෙන දුර්වල හිත් ඇත්තන් මෝහනය වෙනවා වගේ.

දැන් බලමු මේ ගුහාව අවට ජනයා ඇයි බුදු පිළිමවල ඇස් ඉවත් කලේ. මේකට පිළිතුර කළින්ම ලැබිලා තිබුනා ඔබ අතරින්ම. එනම් මුලින් වෙන්න ඇත්තේ මේ පිළිමේ ඇස් වටිනා ඛණිජයකින් නිර්මාණය වී තිබෙන්න ඇති. ඒ ගන්නට කුරුමානම් අල්ලපු මිනිස්සු ඒ සදහා සොයාගත් උපක්‍රමය තමයි ගම් විනාශ වෙන කතාව. ඕවා විශ්වාස කරන ගම්වැසියා ඒ වැඩේට විරුද්ධ නොවෙන්න ඇති.

මෙවැනි කතා අපේ ජන සමාජයේ ඉතාම බහුලයි. මේවා ඇත්ත කියලා කියන්න අමාරු මේ වැනි කතා හැම තැනම තිබෙනවා. ඇත්තක් නම් තිබිය යුත්තේ එකයි. නමුත් යම් බරපතල ලෙස ජනවිඤ්ඤාණයට බලපෑම් කරන යමක් සිදුවූ විට ඒ ගැන ඇතිවන කතා බොහෝ පලාත්වල එක වගේම විය යුතුයි. මොකද ඒ බලපෑම හැම තැනම දැනෙන්නේ එකම විදියට නිසා.

මගේ අවසාන නිගමනය නම්, මේ කතාවල යම් සත්‍යයක් ඇති හැබැයි සිද්ධියක් ලෙස නෙමෙයි. මේ යම් සමාජමය බලපෑමක් නිසා සමාජයේ පැවැත්මට ඇති වූ දැඩි වෙනසක් ගැමි විඤ්ඤාණයෙන් විග්‍රහ කළ අයුරු. අපිට දැනෙන අයුරින් මේ දේවල් සිදු වෙන්න ඇත්තේ කූට මිනිස්සු මේ තැන්වල නිධන් ආදී වටිනා දේ ඇතැයි සලකා ඒවා ඉවත් කර ගැනීමට ගැමියාගෙන් වන බාධාවන් ඉවත් කර ගැනීමට ගැමියන්ගේ මනසට බිය ඇතුල් කළ හැටි.

පිරිත් කියන්නේ මිනිසාට ඉතාම වටිනා දෙයක්. වචනවල ඉතාම විශාල ශක්තියක් ගැබ් වී තිබෙනවා. නවීන විද්‍යාවෙනුත් මේ ගැන හෙළි වී තිබෙනවා. මෙවැනි තැනක තිබෙන අර මූසල ගතිය ඉවත් කිරීමට පිරිත්වලට ඇති හැකියාව උපරිමයෙන් මම විශ්වාස කරනව. රෝගී මිනිස් මනස සුවපත් කිරීමට පිරිත් තරම් බලපෑමක් කරන වෙනත් දෙයක් මට නම් හිතන්න අමාරුයි.

ඔබට දැනෙන දේ ලියන්න. ටිකක් කලබලෙන් ලිව්වේ අකුරුවල අඩුපාඩු ඇති. ඒ ගැන සමාව බජනය කොරනවා.


දැන් අපි හැරෙමු ආයූර්වේදෙට ඉදිරියට ටික කලක් ආයිත් ආයූර්වේද ලිපි. එතෙක් ආයූබෝවන්!!!!

Wednesday, June 20, 2012

100. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 01 කොටස.

මේක මම මෙතෙක් ලියපු ජාතියේ එකක් නෙමෙයි. අපේ අඩවි මහරජා, චාමි4U, ක්සැන්ඩර් ලිව්ව වගේ එකක්. කොටින්ම හොල්මන් කතාවක්.

හෑ……………..

බය වෙන්න එපා.

කොහොම වුවත් මම නම් එතරම් මේ හොල්මන් විශ්වාස කරන්නේ නැහැ.

මේ කතාව මට දැනගන්න ලැබුණේ පොඩි පොත් පිංචක තිබිලා. ඒක ලියලා තියන්නේ ඩබ්. කේ වැලිකල කියලා මහත්තයෙක්. එතුමා ඇසට දැක ඇති නිසාත්, එතුමා ගැන එවලේ මගේ හිතේ ඇදුන රූපේ අනුව ඉතාම ගරු කටයුතු පුද්ගලයෙක් බව පෙනුණ නිසාත් මම මේ පොත යම් දුරකට විශ්වාස කරනවා.

මේ කතාව මම ලියන්න හේතුව මගේ සිත මේ කථාවෙන් බොහෝ කැළබීමට පත් වූ නිසයි.
මට මතක් වුණේ අපේ බුදු රජාණන් වහන්සේගේ දේශනයක් වන "නහීවේරේන වේරානී" කියන ගාථා ධර්මයත් මොන තරම් ඇත්තද කියලාත්, කාමයට ඇති ආශාව නිසා මොන තරම් අපරාධ ලෝකෙ සිදු විය හැකිද? යන කාරණාවත්, කියන දේවල් තමා.

දැනට වසර හත්සිය ගනණකට පෙර මෙරට පාලනය කළේ, තමන් මේ රටේ මුල් බැස ගත් සිංහලයෙක් බව ලෝකෙට පෙන්නීමට බොහෝ කැමති කෙනෙක් වූ ශ්‍රී නිශ්ශංක මල්ල කියන විදේශික රජතුමා. මේ තමයි අපේ රට අද තියන තත්ත්වයට පත් වන්න ආරම්භ වූ යුගය. ඒ කියන්නේ මහා රණ කාමියෙක් වූ අධිරාජ්‍යයක් සෑදීමට ගොස් රටේ ධනය විශාල වශයෙන් විනාශ කල ඒ වගේම මහා ගොවි ජනපද මෙරට ඇතිකළ පරාක්‍රමබාහු මහ රජගෙන් පසු යුගය. (මෙතුමා මොනවා වුවත් කෘෂිකර්මය ඉතා විශාල ලෙස දියුණු කළ අයෙක්.)

දැන් ඉතිහාසය අපෙ හසිතට බාරදීල මම එන්නම් කතාවට.

ඉතිහාසෙ මගේ ප්‍රියතම විෂයක් නිසා මේවගේ කතා වලදී ඒකටම ඇදිලා යන්නේ. කොහොම වුණත් අපි දන්නවනේ නිශ්ශංක මල්ල රජතුමාට පොඩි පහේ කෑදර කමක් තිබුණනේ ඔය එක එක සෙල් ලිපි පිහිටුවීමේ. අන්න ඒ නිසා අපි දන්න දෙයක් තමයි සිරිපාදේ කන්ද පළමුවෙන්ම තරණය කළේ එතුමා කියලා. (මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. ඔය සිරිපාද ලකුණ ඒ කාලෙ ඉඳලම තිබෙන්න ඇති. මිනිස්සු වදින්නත් යන්න ඇති. හැබැයි මෙතුමා මොනව හරි ඔතන අළුත් වැඩියාවක් එහෙම කරලා සෙල් ලිපිය නියමට ගහන්න ඇති මේ මට හිතෙන හැටි.)

ආයිත් කතාවට…………………………………………

මේ නිශ්ශංක මල්ල මහරජතුමා සිරිපතුල වැදපුදාගෙන දිවා ගුහාවේත් නතර වෙලා තමා නැවත අගනුවර වුණු පොළොන්නරුවට ගොහින් තිබෙන්නේ. දිවා ගුහාව කියන ගල්ගේ තමයි බුදුන් වහන්සේ ලංකාවට තුන් වැනි වර වැඩම කළ වෙලේ එතුමන් දිවා කාලයේ ආහාරයෙන් පසු විවේක ගත්තැයි කියන තැන. මේ ගුහාවට නිශ්ශංක මල්ලයනුත් ඇවිත් තිබෙනවා. එතැන පංසලක් සෑදීමට කදිම තැනකැයි සිතූ මහරජු තමාගේ සමීපම ඥාතියෙකුට ඒ බාරදීල තිබෙනවා.

මේ රාජකීයයා ඉතාම පිළිවෙළට මේ ගුහාව විහාරස්ථානයක් බවට බවට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. බෝධියක්, විශාල බුදුපිළිමයක් ආදී අංග ප්‍රත්‍යංග එක් කෙරෙමින් මේ කටයුත්ත යන අතර, මේ නැරබීමටත්, සිරිපතුල වැඳීමටත් විශාල වශයෙන් පොළොන්නරුවෙන් ජනයා පැමිණෙනවා. (අද වගේම නැතෑ.) දිනක් මේ පිරිස අතර ඉතාමත් සුරූපී කුමාරිකාවක් ( කථාවේ හැටියට මැය ඉන්දියානු රාජකීය සම්බන්ධයක් ඇත්තියක්ලු.) ද පැමිණෙනවා. …………………….

මෙතැන ඇඳ ඇති සිතුවම් අතර තිබෙනවා එක් සිතුවමක්. එයින් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ සිරිපතුල පිහිටුවලා දිවා විහරණය සඳහා දිවා ගුහාවට වැඩම කරණ අයුරු. ඔබ දන්නවද මේ සිතුවමම වැනි (70% පමණම සමාන ) සිතුවමක් කැලණි විහාරයේ අපේ සිත්තරා වන සෝලියස් මැන්දිස් මහත්මයා ඇඳ තිබෙනවා. කැලණි සිතුවමෙන් පෙනෙන වටපිටාව මේ ගුහා චිත්‍රයට බොහෝ සමානයි.

ප්‍රවීණ පුවත් පත් කලාවේදී, පුවත් පත් කතු තිලක් සේණාසිංහයන් ගැනත් යමක් කිව යුතුයි. මේ සිතුවම් දෙකේ සමානත්වයත්, මේ ගුහාවත් මුලින්ම සොයා ගියේ එතුමා. 1990 ගණන්වල මැද හරියේ එතුමාට මේ ගැන පවසා තිබුණේ දැන් මගේත් හිතවතෙක්. (එම පුද්ගලයා අදටත් ජීවත් වන්නේ පලාබත්ගල ආසන්නයේ. නිතර මා සමග සම්බන්ධ වන මිතුරෙක්.)

මේ ආකාරයෙන් සොයාගත් මේ ගුහාව මුලින් එතුමන්ලා දකින විට තිබී ඇත්තේ ඉතාමත් ශෝචනීය ආකාරයකටයි. එනම් බුදු පිළිමයේ නෙත් උගුළුවා දා තමයි තිබී ඇත්තේ සේණාසිංහයන්ගේ වචන වලින්ම කියනව නම් මේ ගුහාව තනිකරම "වවුල් විමානයක්" ලෙසයි තිබී ඇත්තේ.

මම කියන්න සිතා සිටින වැදගත් දෙයක් මෙතැන තිබෙනවා. එනම් අපේ මිතුරන් මේ පිළිම වලට මෙවැනි අපරාධයක් කළේ කවුද කියන කාරණය සොයන විට හරිම පුදුම දෙයක් සොයා ගැනිමට ලැබී තිබෙනවා. ඒ තමයි ගම්මුන්ගේ තිබෙනවාලු විශ්වාසයක්, බුදු පිළිමයක ඇස් වලට කෙළින්ම ලක්වන ලෙස ගම්මානයක් පිහිටා තිබෙනවා නම් ඒ ගම පාළු වී විනාශ වනවා කියන මිථ්‍යා දෘෂ්ටික බහුබූත මිථ්‍යා මතයක්. අන්න ඒ නිසයි මේ අපරාධය සිදු කර ඇත්තේ. කොහොමද අපේ රටේ බෞද්ධයෝ?????

ඒ අපේ අපවත් වී වදාළ සෝම හිමියන් රූපවාහිනියෙන් බණ දේශනා කරමින් උන් කාලය. අපේ මිත්‍ර සේණාසිංහයන් සෝම හිමි සමග මෙම අපරාධය ගැන ගම්මුන් දැනුවත් කිරීමට කළ ධර්ම දේශනා හරහා තමයි මේ ගුහාව බාහිර ලෝකයට විවෘත වෙන්නේ. ඒ සදහා විශාල දායකත්වයක් සපයලා, බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් මේ ගුහාවට වැඩමවලා නවීන ලෝකයට මේක එළි පෙහෙළි කරන්නේ මේ වැලිකල මහත්මයා.

දැන් ඔබ මේ කථාවේ ටිකක් දන්නවා.

වැලිකල මහතා ඉතා මහන්සියෙන් පරිශ්‍රමයක් යොදලා මේ ස්ථානයේ නොයෙක් දියුණු පමුණු වැඩ කරගෙන යන කාලයේ එතුමාට බොහෝ කරදර පැමිණ තිබෙනවා. මේ සමහර අවස්ථාවල ජීවිතය පවා නැති වීමට ගොස් ඉතාමත් අපහසුවෙන් ජීවිතය ගල්වා ගත් සිද්ධීන්ද එතුමා සදහන් කරනවා. ඒ අතරම එතුමාගේ නොයෙක් අද්භූත සිදුවීම වලටත් මුහුණ පානවා.

මෙහෙම වෙන්නේ ඇයි?????

දැන් අපිට මේ කතාව හරහා ප්‍රශ්න දෙකක් ඇතිවෙලා තිබෙනවා.
1. බුදු පිළිමයක නෙත් වලට හසුවන මානයේ තිබෙන ගම් විනාශ වෙනවද?
2. ගුහාව අලුත් වැඩියා කළ අයට මුහුණ දෙන්න වූ බිහිසුණු අත්දැකීම් ඇත්තටම එහෙම වුණාද??

මේ කථාවේ මගේ සිත්ගත් කොටස වෙන්නේ අන්තිම කොටසයි. එනම්.....

මේ සිද්ධීන් වලින් වෙහෙසට පත්වන වැලිකල මහතා ඇතුළු පිරිස සරණයක් සොයා බොහෝ දෙනා පසුපස යනවා. නමුත් එක්තරා දිනකදී කතරගම දී අත්භූත ලෙස ඔහුට මුණ ගැසෙන තරුණියක් මේ ගැන පැහැදිලි කර දෙනවා.

ඒ අනුව ඇය ඔහුට කියා දෙනවා මේ ගුහාවේ අතීත කතාව.....

…………………...අර අපි මුලින් කියූ තරුණ කුමරිය වන්දනාවේ පැමිණෙනවනේ. ඇය දකින ගුහාව ප්‍රතිසංස්කරණ කටයුතු භාර රාජකීයයා ඇය නිසා කාමාසක්ත වෙනවා. එහි සෘජු ප්‍රතිඵලය වන්නේ ඇය ඔහු අතින් දූෂණය වීම පමණක් නෙමෙයි මරණයට පත් වීම. මේ නිසාලු මේ ගුහාව දරුණු තැනක් වී ඇත්තේ.

මරණයට පත් වූ කුමරිය මරණ මොහොතේ ඇයගේ සිතේ ඇතිවන දරුණු වෛරී චේතනාව නිසා ඉතා භ්‍යානක යකින්නක වී මේ ගුහාව වාස භූමිය කර ගනිමින් ඒ වන විටත් වසර හත්සිය ගණනක් නොනවතින වෛරයෙන් ගත කරලා. ඇය මේ අවට මිනිස් වාසයක් වීමට ඉඩ නොදේලු. විශේෂයෙන් තරුණ පිරිමින් ඝාතනය කරමින් ඇය මේ ගුහාවට එන භික්ෂූන් වහන්සේලා පිස්සු වට්ටමින් ඝාතනය කරනවාලු.

මේ ගැන සොයා බැලූ විටත් අපට දැන ගැනීමට ලැබුණේ මේ හා සමාන කතා මේ අවට ගම්වල පැතිරී ඇති බවයි.
මේ යකින්න නමින් කණ්ඨමාරී වීලු. අවස්ථා ගණනාවකදී මේ ගුහාව අලුත් වැඩියා කෙරුමට පැමිණි අය මරා දමමින් බොහෝ දරුණුව හැසිරුණාලු.

…….ගුහාව ගත් විට යුග හතරක පමණ නටබුන් වූ ඉදිකිරීම් මෙහි ඇති බව පෙනේ. ඒ අතරම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයක් වන්නේ මේ එකම ගොඩනැගීමක්වත් නිසි අයුරු වැඩ නිම නොකිරීමයි. ඒ මේ යකින්නගේ බලපෑමක්ද?

තවත් දෙයක් ඉතාමත් අවාසනාවන්ත ලෙස දැනට තරුණයන් 100 අධික ගණනක් මේ අවට තිබෙන බෝපත් ඇල්ල අසලදී නොයෙක් ආකාරයෙන් මරණයට පත් වනවා අපට දක්නට ලැබී ඇත. මේ සම්බන්ධව ඇති ප්‍රවාද බොහෝමයි. කණ්ඨචාරී යකින්න මේ සිදුවීම් වලටද සම්බන්ධ යැයි අවට ගම්වාසීන් සැක කරනවා.

කෙසේ වෙතත් මේ අනුවේදනීය කතාව අපි නවීන ආකාරයට කෙසේ විග්‍රහ කරමුද?

මා වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

දැන් තුන් වැනි ප්‍රශ්නය,
3. මේ ජන කතාව ඇත්තද? මේ ගැන යම් විද්‍යාත්මක විග්‍රහයක් දිය හැකිද?

දැන් නම් වැඩේ ටිකක් දිගයි මෙහෙමයි....

මම මේක කොටස් දෙකකට දමන්නම්.

එහෙනම් ඊළඟ කොටසට යමු...……….

ඔන්න අද මේ පෝස්ට් එකත් එක්ක ඔක්කොම පෝස්ට් 100.

Wednesday, June 13, 2012

සත්ව පරිණාමීය ක්‍රියාවලිය.

මගේ බ්ලොග් සදහා ගත කරන කාලය මේ ටිකේ ටිකක් අඩු වුනා. නමුත් මේ බ්ලොග් ලෙඩේ හැදිලා තියන කෙනෙකුට ආයිත් ඉතිං මේකෙන් ගැලවෙනවය කියන්නේ ......

මේකත් හරියට අබිං කෑව වගේ තමයි. මොනවා හරි කුරුටු ගාන්නමයි හිත. ඒත් මේ දිනවල ඇති වැඩත් එක්කම බොහෝම අඩුයි කාල වේලාව. මගේ සුපුරුදු බ්ලොග් කීපෙකටම කමෙන්ට් නම් දැම්මා.

දැන් කාලෙකට පස්සෙ ඇවිත් වැදගත් දෙයක් කියන්නයි මේ සැරසෙන්නේ. මේ කතාව මම කියන්න හිටියේ දැනට කාලෙකට කලින්. මම ලියපු විශ්වොත්පත්තිය ලිපි මාලාවෙදි. නමුත් ඒක එක පිළිවෙළකට ලියා ගන්න ලැබුණේ නැහැනේ. ඒ ගැන නැවත හිතන්න ඕනෙ ලඟදීම.

හින්දු පුරාණය කියන ග්‍රන්ථය ඔබ කියවා තිබෙනවද? ඒ අතර මහා භාරතයේ එන භගවත් ගීතාව, සහ Fourteen Upanishad (Maxmullar) නම් උපනිෂද් ග්‍රන්ථයේ මේ ගැන යම් යම් තොරතුරු ඔබට බලාගත හැකියි. මේ ග්‍රන්ථ වලින් උපනිෂද් 14, සහ භගවත් ගීතාව මා සතුව තිබෙනවා. හින්දු පුරාණයේ සම්පූර්ණ ග්‍රන්ථයම මට මෙතෙක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔබ අසා තිබෙනවානේ විෂ්ණු දෙවියා ගැන. ඔබ ඒ ගැන කුමක් සිතනවාදැයි මා දන්නේ නැහැ. නමුත් මම නම් සිතන්නේ මෙහෙමයි.

හින්දු දේව පුරාණයේ එන ප්‍රභලම දෙවිවරුන් ත්‍රිමූර්තියක් තිබෙනවා. ඒ..
1. බ්‍රහ්ම
2. විෂ්ණු
3. ශිව

මේ තිදෙනාගේ ක්‍රියාවන්ද එකිනෙකට වෙනස්. එනම්..
1. බ්‍රහ්ම නමින් උපතද,
2. විෂ්ණු නමින් පවත හෙවත් පැවැත්මද,
3. ශිව නමින් විපත හෙවත් අවසානයද දක්වනවා. බුදු දහමේ එන උත්පාද, ඨිති, භංග යන්නෙන්ද මෙයම විස්තර වන බවයි මගේ හැඟීම.

ඒ නිසා මගේ හැඟීම වන්නේ මෙලෙස දේවත්වය ආරෝපණය කර තිබෙන්නේ ස්වභාව ධර්මයේම සංසිද්ධීන් වලට බවයි.

මෙතැනදී මම කතා කරන්නේ මේ බ්‍රහ්ම හෙවත් උපත ගැනවත්, ශිව හෙවත් විපත ගැනවත් නෙමෙයි. විෂ්ණු හෙවත් පැවැත්ම ගැනයි. එනම් දිගුකාලයක් තිස්සේ මේ මනුෂ්‍ය සහ සත්ව සංහතියේ පැවැත්ම ගැන තමයි අපේ කතාව.

ඔබ අසා තිබෙනවද?????

විෂ්ණුගේ දශ අවතාරයක් තිබෙනවාය කියන කියමන. මම ඒ ගැන හිතන විදිහ තමයි මේ බ්ලොග් සටහනෙන් ඔබට කියන්නේ. හැබැයි මේ මම හිතන හැටි. වෙන කෙනෙක්ට තමන් කැමති විදියකටත් හිතන්න ඉඩ තියෙනවා. ඒක තම තමන්ගේ වැඩක්. ප්‍රජාතන්ත්‍රීය අයිතියක්.

මේ විශ්වයේ තිබෙන යම් වස්තුවක් වේද එයට උපතක්, පැවැත්මක්, විපතක් පැවතීම අනිවාර්ය්‍යයි. එතකොට මේ දේව ත්‍රිමූර්තියෙන් දක්වලා තිබෙන්නේ මේ පූජනීය සංකල්පය කියන එකයි මගේ හැඟීම.

සත්ව පරිණාමය කියන්නේ සත්වයා මෙලොව රසායනික හෝ යම් වෙනත් අයුරකින් බිහි වුණාට පස්සේ එනම් උපතට පසු සත්ව සංහතියේ පැවැත්ම කියන කාරණයයි. මේ පැවැත්ම නොයෙක් කාල වලදී නොයෙක් ආකාරයට වෙනස් වෙන්න ඇති. ඒ වෙනස් වීමට අපි පරිණාමය ලෙස නම් කළා. එතකොට මේ පරිණාමික ක්‍රියාවලියට භාජනය වෙන්නේ සත්වයාගේ පැවැත්ම. එනම් විෂ්ණු. විෂ්ණුගේ අවතාර ලෙස හඳුන්වන්නේ මේ පැවැත්මේ ඇතිවන වෙනස කියන එකයි මගේ කල්පනාව.


දැන් අපි බලමු විෂ්ණුගේ දශ අවතාරයන් කියන්නේ මොනවද කියලා?

1. මත්ස්‍ය අවතාරය.
2. කුර්ම අවතාරය.
3. වරාහ අවතාරය.
4. වානර අවතාරය.
5. නර-සිංහ අවතාරය.
6. පරශුරාම අවතාරය.
7. රාම අවතාරය.
8. කෘෂ්ණ අවතාරය.
9. බුද්ධ අවතාරය.
10. කල්කී අවතාරය.

දැන් මේ දහය එකිනෙකින් වෙන වෙනම යම් තරමකට පැහැදිලි කරගමු.

1. මත්ස‍ය අවතාරය. - මෙකෙදි මත්ස්‍ය කියන්නේ මාළුවටනෙ. මනුස්මෘතියේ කියවෙන්නේ (මේ මනුස්මෘතියත් ඉතාම වටිනා පුරාණ ග්‍රන්ථයක්.) බ්‍රහ්ම පළමු කොට ජලය මවා බ්‍රහ්මාණ්ඩය එහි හෙළු බවයි. (මෙහිදී "මවා" යන්නෙන් "මැවීම වාදයක්" ගැන කතා කරනවා නම් අප ඒ ගැන කතා කළ යුතු නැහැ නොවැ. නමුත් ඉතා හොඳින් බැලීමේදී මෙහි එයිට වඩා දෙයක් තිබෙනවා. ඒ නිසා අපි මේ මඟේ දිගටම යමු.)
පළමු අවතාරය වන මත්ස්‍ය අවතාරයෙන් පෙන්වන්නේ ලෝකයේ ජීවය පහළ වූයේ ජලයේ බවයි. එනම් බ්‍රහ්ම හෙවත් උපත ඇති කරන්නා වූ බලවේගය ප්‍රථම ජීව පුංජය ජලයේ පහළ කර ඇත.

2. කුර්ම අවතාරය. - කුර්ම කියන්නේ ඉදිබුවායි. ඉබ්බා කියන්නේ දිය ගොඩ දෙකේම ජීවත් වෙන සතෙක්.
ඉදිබුවා යන ජලය සහ ගොඩබිම වාසය කරන සත්වයාගෙන් නිරූපණය වන්නේ, සත්වයා දැන් යම් ඉහළ අවධියකට පැමිණ ඇති බවයි. එනම් සත්වයා දියේ ජීවත් වන අතරම ගොඩබිම තම ජීවිතයද අරබා ඇත.

3. වරාහ අවතාරය. - වරාහ කියන්නේ සූකරයා නැත්නම් ඌරා. මේ සත්වයා ජීවත් වෙන්නේ මඩ ආශ්‍රිතව.සූකරයාගේ වාසය ගොඩබිම වුවත් යම් තරමකට මඩටද ප්‍රිය සත්වයෙකි. එනම් මේ සත්වයාගෙන් නිරූපණය වන්නේ තවත් ඉහළ සත්ව අවධියක් බව දැන් අපට පැහැදිලි වේ.

4. වානර අවතාරය. - වානරයා කියන්නේ යම් පමණකට දියුණු සතෙක්. දෙපා ඉරියව්වට යම් හුරුකමක් ඇතත්, අංගුලි වර්ධනය එහෙම බොහෝ දුරට දියුණු සතෙක්ට සමානකම් තිබෙන සතෙක්. සත්වයා තිරිසන් යුගයේත් දියුණු අවධියකට පැමිණ තිබේ. ක්ෂීරපායින් ලොව රජ කරයි. මේ තවත් ඉහළට සත්වයා දියුණු වූ අවධියකි.

5. නර- සිංහ කියන්නේ අර්ධ මිනිස් අර්ධ වානර සත්වයන්ට. වානර වෙසින් මිනිස් වෙසට පෙරැළීම ඇරබී තිබේ. අර්ධ මිනිස් වානරයන් පහළ වී ඇත.

6. පරශුරාම අවතාරය. - මෙකෙදි පරශු කියන්නේ පොරවට. රාම කියන්නේ බුද්ධියේ යම් පිබිදීමක් හඟවන පදයක්. කියන්නේ දඩයමක් කර ගැනීමට ප්‍රාතමික ආයුධ භාවිතයට මේ සත්වයා දැන් හුරුයි. දඩයම් යුගය ඇරබීම මින් නිරූපණය වේ.

7. රාම අවතාරය. - මිලේච්ඡත්වයට එරෙහිව සටන් වදින්නෙක් වන්නේ රාමායි. බුද්ධිය හොදින් වර්ධනය වී සමාජ සම්බන්ධතා ගොඩනඟාගෙන සංවිධානත්මක සමාජයක් වෙත ක්‍රමයෙන් පිය නඟන සත්වයා මින් නිරූපණය වේ.

8. කෘෂ්ණ අවතාරය. - බුද්ධියේ උපත කෘෂ්ණාය. මොහු ඉතාමත් බුද්ධිමත් වන අතර, පර්යේෂකයෙක් වේ. තවද ඉතාමත් දක්ෂ සංවිධායකයෙකි. නවීන සමාජයට පෙර තිබූ සදාචාරවත් බුද්ධිමත් සමාජය මින් නිරූපණය වේ.

9. බුද්ධ අවතාරය. - බුද්ධියේ විකසිත අවධියයි. වර්තමානය යි.

10. කල්කී අවතාරය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? බුද්ධ අවතාරය මගින් වර්ථමානය නිරූපනය වනවා නම් කල්කී මගින් නිරූපණය විය යුත්තේ මිනිස් පරිණාමයේ ඊටත් වඩා උසස් අවධියක් නේද? එනම් කාලය සහ අවකාශය ඉක්මවා යන, අර්ථයක් ගම්‍යමාන වන බව ඔබට නොපෙනේද? මිනිස් පිටපත් සෑදීම, වෙනත් ග්‍රහලෝක වෙත ජීවය බෝ කිරීම, පරිඝනක තාක්ෂණයේත්, ඉංජිනේරු තාක්ෂණයේත්, වෛද්‍ය තාක්ෂණයේත් ඉහළම දියුණුව ලබන අනාගත මිනිසා මේ කල්කී අවතාරය නමින් හඳුන්වා ඇත යනු මගේ අදහසයි.

නූතනයේ දියුණුවත් සමඟ පරිණාමීය ක්‍රියාවලිය අර්ථ දක්වා ඇත්තේත් ඉහත පිළිවෙළටම බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි.

මම ඔබට විශේෂ දෙයක් කියන්නම්.

මේ දේවල් මිථ්‍යාවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද අපි මිථ්‍යාවල් කියා ඉවත් කරන බොහෝ දේවල් බටහිර ජාතීන් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් දැනුම ඔවුන්ගේ දියුණුව සදහා යොදා ගත්තා. නමුත් අපි ඔවුන්ටත් බැණ, බැණ, අපේ දේවලුත් විනාශ කරගෙන කොයි යනවාදැයි නොදැන යන මේ ගමනේ අවසානය කුමක්ද?


සදෙව් ලොව නම් සංකල්පයද මෙලෙසම අර්ථ දක්වමු ඉදිරියේදී......

Tuesday, May 8, 2012

උඩරට ගිවිසුම 02, අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ......



















මුලින්ම ඉල්ලා සිටිනවා ඉතා දිගට ලියවී ඇති මේ ලිපිය ඉතා සාවධානව කියවා හොදින් කල්පනා කර බලන්න. ඒ වගේම මම මේ දක්වා ඇති පොත් පතුත් සොයාගෙන කියවන්න. ඔබ සැමගේ සක්‍රීයදායකත්වය මම බලාපොරොත්තු වෙනවා.

ඉතිහාසය කියන්නේ ඇත්තෙන්ම වුණ දෙයක් වුණාට ඒ ගැන අපි හරි හැටි නොදැනීම නිසා නොයෙක් අලකලංචි වෙනවා. හැබැයි අපි මතක තබා ගත යුතුයි, මේ විෂය නිසා වෙන අකරතැබ්බ නිසා අගෞරවයක් වෙන්නේ බොහෝ විට දැනට ජීවත් වෙලා නොයින්න කෙනෙකුට. ඒ නිසා ඉතිහාසය හදාරද්දි ලියලා තියන දේට අමතරව තවත් යමක් ඇත්ද කියන කාරණය හිතේ තබාගෙන හදාරන එක වැදගත්. මොකද අපි නොදන්න බොහෝ දේවල් මේ පරිසරයේ කලින් සිදුවෙලා තියනවා.

අද අපි දුෂ්ටයෙක් කියලා හිතන කෙනෙක් කාලෙකට ඉහත ඉතාම වැදගත් විරුවෙක් වෙන්න ඇති. එතකොට ඉතිහාසය කියන්නේ මේ වගේ අළු දූවිලි පිහදාල විරුවන් විරුවන් කිරීමත් දුෂ්ටයන් ගැන තවත් හදාරන එකත් කියන මේ දෙකම. ( මේ ගැන තිබෙන නිර්වචන වලට අමතරව.)

මමත් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. ඒ විතරක් නෙමෙයි මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ලිපිය හැකි තරම් බෙදාගන්න, කියවන්න, හිතට ගන්න, අපි අපිට හැකි දෙයක් කරලා අපේ ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන්ට අපේ යුතුකම් ඉටු කරමු.

ඒ වගේම අපේ මේ සිංහලේ රාජධානියට වුණු වැරදි අපි නැවත අපිට හැකි විදියට හරිගස්සමු. කවදා හරි පෙන්නා දෙමු අපි මේ තුන් සිංහලේ ජීවත් වන සියලුම ජාතීන් සිංහලේ කියන නමත් එක්ක ජීවිතයෙන්ම බැඳී ඉන්න වග.

මේ අතරම මා ගැනත් යමක් එක් කිරීමට කැමතියි. මගේ දර්ශනය අනුව මම ජාතිවාදියෙක් නෙමෙයි, ආගම් වාදියෙකුත් නෙමෙයි. මේ සිංහලේ පිං බිමේ කැමති ඕනෙම කෙනෙකුට කැමති ආකාරයකින් අනිත් අයට කරදරයක් නෙවෙන විදියට ජීවත් වෙනවට මගේ නම් කිසිම තරහක් නැහැ.

ඒත් අපේ සිංහලේ ඉතිහාසය කියන්නේ මේ හැමෝගෙම ඉතිහාසය. අන්න ඒක කවදාවත් අමතක කරන්න නරකයි.

එහෙනම් දැන් කතාවට.......

ව්‍යාජ කන්ද උඩරට ගිවිසුම.

මෙම ගිවිසුම පිළිබඳව මට සැක තැන්.
1. අත්සන් කළ දිනය.
2. ගිවිසුම ප්‍රකාශයට පත්කළ දිනය.
3. ගැසට් නිවේදනය ප්‍රකාශ වූ දිනය.
4. ඇත්තටම අත්සන් කල දිනයන්.
5. අත්සන්වල වලංගුභාවය.
6. ගිවිසුමේ නියම පිටපත සහ එහි වලංගුභාවය.
7. ඇහැළේපොළ නිලමේතුමා දෝහියෙක්ද? නැත්නම් අසරණ වීද?
8 මොල්ලිගොඩගේ නියම තත්ත්වය කුමක්ද?

අපි මේ එක එකක් ගැන විස්තරාත්මකව බලමු.


කන්ද උඩරට රාජධානිය පිළිබඳ විස්තර මගේ බ්ලොග් සඟයන් වන හසිත ඇතුළු පිරිස ඉදිරියේදී ලබා දෙනු ඇත. මම මෙහිදී මාගේ ව්‍යායාමය වන උඩරට ගිවිසුම පිළිබඳව පමණක් සිත යොමු කරමි.

1/2/3/4 පළමුව ගිවිසුම අත්සන් කළ දිනය.

අත්සන් කළ දිනය ගැන තිබෙන සැක තැන් ටික අපි මුලින්ම බලමු.
1. මේක අත්සන් කළ දිනය විදියට නිල වශයෙන් සදහන් වෙන්නේ 1815 මාර්තු 02 දිනයි.
2. මේ සම්බන්ධ නිල උත්සවය පවත්වා ඇත්තේත් 1815 මාර්තු 02 දිනයි.
3. උඩරට නව නිලධාරීන් තම අභිනව නිල වලට පත් කරන ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේත් මාර්තු තුන්වන දිනයි.
4. එතකොට අත්සන් තැබුවේ 02 දිනනම් එතැන මෙහෙම සැකයක් එනවා. මේ ගිවිසුම අත්සන් තැබුවේ සිංහලෙ සිටි නිලධාරීන් පිරිසමද? එහෙම නැත්නම් අභිනව නිලධාරීන්ද. අභිනව අයට ගැසට් පත්‍රය ප්‍රසිද්ධ වෙනකම් අත්සන් කළ හැකිද? හැබැයි පරණ නිලධාරීන්ට නම් එහෙම අත්සන් කළ හැකියි. අපි හිතමු එහෙම වුණා කියලා ඒ වගේම එම නිල වලටම එම නිලධාරීන් පත්කළා කියලා. එතකොට ඒක හරි. නීත්‍යානුකූලයි.
5. හැබැයි මෙහෙම දේකුත් තියනවා. මිල්ලව දිසාව හෙවත් මිල්ලව කරුණාධාර ඒකනායක මුදියන්සේ අත්සන් කළ බව සඳහන් වෙන්නේ 1815 මාර්තු 05 දිනයි.
6. තවත් වැදගත් දෙයක් තිබෙනවා රජය නිලවශයෙන් සිංහලේ රජය භාරගත් බවත් ගිවිසුමත් පිළිගත් බවට නිල නිවේදනය නිකුත් කර ඇත්තේ 1815 මාර්තුමස 10 වන දිනයි.
7. ඇහැළේපොළ නිලමේ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 1815 මාර්තු මස 18 දිනයි. ඒ එතුමා මාර්තු 11 දින දක්වා අසනීපව සිටීමත්, එතැන් සිට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අසනීපව සිටි බවත් සඳහන් වෙනවා.
මේ සියලුම සාක්ෂි සදහන් වෙන්නේ මේ කුමන්ත්‍රණයේ එක් මහමොලකරුවෙක් වූ ජෝන් ඩොයිලි විසින් රචනා කරන ලද දිනපොත් වලයි.

ඩොයිලිට අනුව ඇහැළේපොළ නිලමේතුමා මෙයට අත්සන යොදා ඇත්තේ ආණ්ඩුකාරයා පෞද්ගලිකව හමුවීමෙන් පසුවයි. එනම් මාර්තු 18 වන දිනයි.


දැන් එනවා මෙහෙම සැකයක්. ඇයි ඇහැළේපොළ නිලමේතුමා මෙතරම් කල් ගත්තේ. මාර්තු 02 පැවැති උත්සවයට එතුමා සහභාගී වූ බව ජෝන් ඩේවි නම් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා වාර්තා කරලා තිබෙනවා. ඒකත් එක් සැක තැනක්. ඒ වාර්තාවේ තිබෙන්නේ, ඇහැළේපොළ නිලමේතුමා මේ උත්සවයට පැමිණියේ එවකට සිටි සිංහලේ ප්‍රධානම නිලධාරියා ලෙස නෙමෙයිලු. එතුමා විශ්‍රාම ගන්න කැමති වුනාලු. මම නම් මේ කියමන පිළිගන්නේ නැහැ. එතුමාගේ ස්වභාවය ඒක නෙමෙයි. එතුමා තම පවුල නැති වීමත්, තම රජය නැති වීමත් එක්ක රට බේරා ගැනීමට යම් දෙයක් කරන්න ඇති. ඒ නිසා එතුමා සිටියේ සුද්දාගේ අත්අඩංගුවේ කියන එකයි මගේ නම් හැඟීම. අපි වෙන ලිපියකි නැවත ඒ ගැන කතා කරමු. දැනට මම මේ සිද්ධිදාමයේ සැක සහිත තැන් කතා කරන්නම්.

(1) මගේ පළවෙනි ප්‍රශ්නය - එකම දිනක පැවති උත්සවයට සහභාගී වූවා නම්, ගිවිසුම සෑදීමට එක් වුනානම් ඇයි එදාම ඇහැළේපොළ තුමා ඒකට එදාම අත්සන් නොකළේ?
(2) මට ඇති ඊළඟ ප්‍රශ්නය - මෙතරම් කලින් ඇයි සුද්දා ගිවිසුම ගැසට් කළේ? කොටින්ම එතකොට සිංහලේ එවකට සිටි ප්‍රධානම නිලධාරියාවත් අත්සන් කර නැහැ. තවත් අයගේ අත්සන් ගන්නත් තිබෙනවා. මේක කුමන්ත්‍රණයක ලක්ෂණයක් නෙමේද?
මට ඇති තුන්වන ප්‍රශ්නය -( නිල නාම වශයෙන් ගත්තත් ඇහැළේපොළ යනු කන්දේ නුවර සිටි ඉතාමත් කීර්තිමත් අයෙකි. කොටින්ම රටේ යුව රජු ලෙස ජනතාව අතර පිළිගැනීමක් මෙතුමාට තිබිණි. එම නිසා මා නම් මෙතුමා රට පාවා දුන් බව මොහොතකටවත් නොසිතමි. එවකට පළමු අදිකාරම් තනතුර දැරීය. ඇහැළේපොළ කුමාරිහාමි ඉතාමත් ලක්ෂණ කාන්තාවක් බැවින් එතුමියට ආසක්ත වූ රජු මෙතුමාව විනාශය කරා මෙයෙය වූවත් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමට සෑදී පැහැදී සිටි බව මේ කථාවන් කියවන මට නම් හැඟේ. මා මහනුවර රාජකාරී කල සමයේ අසා තිබූ කතාවක් නම් කුමාරිහාමිගේ හොල්මන මධ්‍යම රාත්‍රී කාලවල ගුඩ්ෂෙඩ් කිට්ටුවෙන් ගමන් කරනු දැකිය හැකි බවයි. ඉතාම ශෝකාකූල ශෝභන මුහුණක් ඇති කතක් ඉකි බිදිමින් ගමන් කරනු දැක ඇති ව්‍යෝවෘද්ධ මිනිසුන් කීපදෙනෙක්ම මට මුණ ගැසී ඇත. සමහර විට තම පවුලටත් සැමියාටත් වූ අසාධාරණය, කෘර වූ ඉරණම සහ දරුණු අපහාසය නිසා ඇයගේ යම් භූත ස්වරූපයක් මෙසේ ගමන් කරනවා විය හැක.)

(3) ඇහැළේපොළ නිලමේතුමන් විශ්‍රාම යාමට කල්පනා කළා නම් එතුමා පසුව තම අත්සන යෙදුවේ කෙසේද? එතුමාට තව දුරටත් සිංහලේ ඉහළම නිලධාරියා ලෙස ගරුකළේ කෙසේද? සහ ඩේවි කියන අයුරු ගිවිසුම අත්සන් කළ දින එතුමාගේ කතාවට අනුව එතුමා යුවරජු ලෙස ජනතාව පිළිගත්තේ ඇයි? මේ සියල්ලම තිබේවා 1818 කැරැල්ල වෙලේ මෙසේ විශ්‍රාමික නිලධාරියෙක් ද්‍රෝහියෙක් වූයේ කෙසේද? ඩේවි (ජෝන් ඩේව්, ශ්‍රීමත් හම්ෆි ඩේව්ගේ සොයුරා. කීර්තිමත් වෛද්‍යවරයේ. එවකට ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස සැලකිය යුතු වගකීමක් දරමින් සිංහලේ ජීවත් වී තිබෙනවා. ඔහු රචනා කර ඇති An Account of the Interior of Ceylon and of its Inhabitants, with Travels in that Island. (1821) පොත ඉතාම ඉහල පිළිගැනීමක් තිබෙන පොතක්.) කියන අයුරු සියලුම ප්‍රභූන් එතුමාට විශාල ගරුත්වයක් දක්වන බව පෙනුණා නම් ඇයි එතුමා විශ්‍රාම ගිය බවක් සඳහන් වන්නේ? වඩාත් වැදගත්ම දේ එදින කතාවක් කළ නිලමේතුමා අත්සන දැමීමට තරම් නීරෝගී නොවූයේ කෙසේද?

ඔබ දන්නවාඩ්? ඩේවි කියන ආකාරයට එතුමා ගිවිසුම අත්සන් කළ දින මුළු උත්සවයටම සිටගෙන සහභාගී වූවාලු. නමුත් අනෙක් අය සමග එදින අත්සන ගැසීමට තරම් සනීපයක් තිබී නැහැ. පුදුමයි නේද? එතුමා අත්සන තබා ඇත්තේ තවත් දින 16 පසු ආණ්ඩුකාරයා පුද්ගලිකව හමු වී කෙසේ විශ්වාස කරම්ද?

4. මගේ සිව්වැනි ප්‍රශ්නය - අපි දන්නවා ගමේ ගොඩේ උකස් ලියවිල්ලක්වත් අත්සන් නැතුව පිළිගන්නේ නැහැ. එතකොට කිසිම ලියවිල්ලක අදාළ පාර්ශ්ව අත්සන් කර නැතිනම් කවදාවත් එහි අගයක් නැහැ. ඒත් රටවල දෙකක් අතර ඇතිවන ගිවිසුම් කියන්නේ සෙසු පටු දෙයක්ද? මෙතනදී ඒ සරල ප්‍රතිපත්තිය අනුගමනය වී නැහැ නේද? ඇහැළේපොළ සිංහලේ සිටි ජ්‍යේෂ්ඨම නිලධාරියෙක් වුවත් ඔහුගේ අත්සන නැතුව මාර්තු 10 රජයේ නිල නිවේදනය නිකුත් කළේ කොහොමද? අනිත් එක මාර්තු 18 අත්සන් කළ ඇහැළේපොළ නිලමේගේ අත්සන මාර්තු 10 නිකුත් වූ ගිවිසුමේ අත්සන් එක්ක ආවේ මොන ක්‍රමයකින්ද?

මේ කතාව එක එක දිගටම ලිවීමෙන් එහි අගය වැඩි වනවා. ඒ නිසා මම මේක දිගට ලියන්න හිතුවා. මගේ ඉල්ලීම අවසානයටම කියවන ලෙසයි. ඉන් පමණයි අපේ විරුවෙක්ට එල්ල වී ඇති අභූත චෝදනා වලින් එතුමාව ශුද්ධ කිරීමට අපට හැකි වන්නේ.


5 අත්සන්වල වලංගුභාවය.

අපි මෙතෙක් කතා කළේ ගිවිසුම අත්සන් කළ දිනයන් පිළිබඳව. ඒ විතරක් නොවෙයි මෙහි ඇති සැක තැන් තවත් බොහෝයි. ඒ අතරින් තවත් එක් මාතෘකාවක් තමයි අත්සන්වල වලංගුභාවය. මම එහෙම කියන්නේ හේතු ඇතුව. මේ ගැන අපේ රටේ ප්‍රකට විද්වතෙක් සොයා බැලීමක් කර තිබෙනවා. මම එතුමාගේ තොරතුරු මුලින්ම කියන්නම්. මම මෙතුමාව මුණගැසෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉක්මනට අපි මුණ ගැසෙයි. එවිට තවත් තොරතුරු ඔබට ගෙන එන්නම්.

මෙතුමා තමයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්ත මේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලලිත් ගුණවර්ධන මැතිතුමා. මේ අත්සන් ස්කෑන් ඡායාරූපයට ගෙන තිබෙන්නේ එතුමායි. එම නිසා මැතිතුමනි ඔබට ප්‍රණාමය.

1.ඇහැළේපොළ අත්සන
මෙහි මම ඔබට ඉදිරිපත් කරන්නම් ඇහැළේපොළ නිලමේතුමාගේ නියම අත්සන සහ එතුමා තැබුවා යැයි පිළිගන්නා (1815 මාර්තු 18) ගිවිසුමේ සටහන් අත්සන.
මෙම ඡායාරූපය අනුව පෙනෙනවා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් බව.
ගිවිසුමේ සඳහන් අත්සන දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති අතර අනෙක් සන්නසේ ඇති අත්සන සිංහල අකුරින් සටහන් කර තිබෙනවා. මේ අත්සන් දෙකේ යම් නීතියක් තිබෙනවා. ඔබ හොදින් බලන්න. නිලමේතුමාගේ සිංහල සන්නසේ අත්සන වටා ඕවලාකාර රවුමක් ඇඳ තිබෙනවා. ඒ වටා අර්ධ කාවාකාර රවුමක් තිබෙනවා. එහි ඒක් පසෙක ඊතලයක පිටුපස පෙනුමත්, අනෙක් පස ගැටයක් සහිත යම් සළකුණකුත් තිබෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක්. සිංහලේ නිලධාරියෙක් අත්සනක් තැබූ විට මේ සලකුණෙන් තමයි එතුමාගේ නිලය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ. මාර්තු 10 වෙනිදා නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව එතුමා 1811ත් 1819 අතර කාලයේ සබරගමුවේ මහ නිලමේතනතුර දැරූ නිසා එයට මේ සංකේතය ගැලපෙනවා.

මෙහිදී සිංහලේ අත්සන් ගැන තව ටිකක් ඔබට පහදා දෙන්නම්. පළමු සහ දෙවන අදිකාරම් ධූරය දැරූවන් හැම විටම තම නම අත්සන් කර ඒ වටා වෘත්තයක් ඇඳ ඇත. තවත් තනතුරු දැරූවන් ඒ තනතුරුවලට ගැලපෙන ලෙස අර්ධ වෘත්තයක් ඇඳ ඇත. උදාහරණ ලෙස එවකට දිසාවේ තනතුරු දැරූවන් මේ අර්ධ කවාකාර රවුම සහ එහි කෙළවරවල් වල කොකු ආකාර සලකුණත්, අදිකාරම් තනතුරු දරමින්ම දිසාවේ තනතුරු දැරූවන් වෘත්තය වටා අර්ධ වෘත්තයත්, නිකම්ම වෘත්තයක් පමණක් අදිකාරම් තනතුර දැරූවනුත් ලෙස අත්සන් කර ඇත. ( කොඩ්‍රින්ටන් සටහන් )

ලලිත් ගුණවර්ධන මැතිතුමා අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික උගතෙක් බැවින් එතුමා ශ්‍රී ලංකාවේ වර්තමාන නඩුවලදී උඩරට නිලමේවරුන්ගේ අත්සන් හඳුනා ගැනීමේ විෂේශඥ්ඥයෙක් ලෙසද කටයුතු කර ඇති විද්වතෙකි. ඒ නිසා මේ අත්සන් පිළිබඳ එතුමාගේ අදහස් මේ අවස්ථාවේදී ඉතාමත් වටිනා බව කිව යුතුමය.

ඒ අතර තවත් සැකයක් ඇති කරන කාරණයක් නම්, ගිවිසුමේ පිටපත් කීපයක මෙම අත්සන (ඇහැළේපොළ අත්සන.) ආකාර කීපයකට තිබෙනවා. ඒක එහෙම නම් එකම ගිවිසුමකට වෙනස් අත්සන ඇති (එකම පුද්ගලයන්ගේ විවිධ අත්සන් ඇති ) විකාර රූපී ගිවිසුමක් බවට මෙය පත් වනවා නේද?


2 පිළිමතලාවේ නිලමේතුමාගේ අත්සන.
මෙතුමාගේ අත්සනෙත් ඉහත ඇහැළේපොළ අත්සන ලෙසටම දෙමළ භාෂාවෙන් ගිවිසුමේ අත්සන් තබා ඇතත් එතුමාගේද නියම අත්සන වෙනත් සන්නස්වල ඇති ආකාරයට නම් එතුමාගේ නිලය වන හතර කෝරළයේ දිසාව යන තනතුරට ගැලපෙන අතර. ගිවිසුමේ සටහන් වී ඇති අත්සන කිසිසේත්ම එතුමාගේ නියම නිලය හා නියම අත්සන නොවන බව ඔබට ද මේ ඡායා පිටපත් අනුව පැහැදිලි වනු ඇත.

3 මොල්ලිගොඩ අත්සන.
මොහුගේ නිල තත්ත්වය වන්නේ එවකට පළමු වැනි අදිකාරම හා සත් කෝරළයේ දිසාව. මෙහිදී ලලිත් ගුණවර්ධන මැතිතුමාගේ වචනවලින්ම මම ඒ උපුටා දක්වන්නම්. " සබරගමු සන්නස් වෙළුමේ මොල්ලිගොඩගේ නම සඳහන්ව ඇත්තේ මොල්ලිගොඩ රජකරුණා සෙනෙවිරත්න අභයකෝන් හේරත් වාසල මුදියන්සේ ලෙසය. කොඩ්‍රින්ටන් ගොනුවේ මෙම නම යටතේ ඇති මොල්ලිගොඩගේ අත්සනත්, සබරගමුවේ සන්නස් වෙළුමේ අත්සන් ගණනාවක්ද එක සමානය." නමුත් ගිවිසුමේ එක පිටපතක මොල්ලිගොඩගේ එක අත්සනක් හා අනිත් අත්සන් අතර පරස්පරතාවයක් ඇත. මේ ගැන ඉදිරියේදී මම ඔබට සඳහන් කරන්නම්.


4. කණිෂ්ඨ පිළිමතලාවේ හෙවත් මහ පිළිමතලාවේ නිලමේගේ පුත්‍රයාගේ අත්සන.
(1812 දී රාජසිංහ රජුගෙන් හිස් ගැසුම් කෑ පිළිමතලාවේ. මෙතුමා ගැන මට වෙනම කිව යුතු වුවත් එය මෙතැනදී කීමට මම අදහස් කළෙමි. හේතුව ඉතාමත් දක්ෂ නිලධාරියෙක් වුවත් මෙතුමා ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට පත් වන්නේ අනෙක් අයගේ ඊර්ෂ්‍යාව නිසාය. විශේෂයන්ම මොල්ලිගොඩගේ. මෙතුමා වාර කීපයක්ම රාජද්‍රෝහී වැඩවලට අසුවුවත් රජුගෙන් සමාව ලබයි. මා අසා ඇති පරිදි මෙතුමා රාජසිංහ රජුගේ අනියම් පියාය. මෙතුමා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අක්කා සමඟ සිට ලැබෙන දරුවා වන්නේ රාජසිංහයි. දීර්ඝ සැලසුමක් සිතේ තබාගෙන රජකම ඔහුට ලබා දීමට මෙතුමා සමත් වෙයි. එනම් කෙදිනක හෝ ඒ හරහා තමා රජ වී සිංහලේ රජකම නැවත සිංහල අතට ගැනීමටයි. නමුත් එය ඉටු නොවන්නේ මේ ඉව වැටෙන මොල්ලිගොඩ ඇතුළු අනෙක් ප්‍රධානීන්ගේ කුමන්ත්‍රණ නිසාය. මෙතුමාගේ බෑණනුවන් වන්නේ ඇහැළේපොළ මැතිතුමායි. ඉදිරියේදී ඒ ගැන තවත් කතා කරමි.)
මෙතුමාගේ නිලය වන්නේ (කණිෂ්ඨ පිළිමතලාවේ.) සතර කෝරළයේ දිසාපති පදවියයි. මෙතැනදීත් හරි අපූරු දෙයක් තමයි සිදු වී ඇත්තේ. එනම් මෙතුමාගේ නිල නාමය ඉදිරියෙන් තිබිය යුතු අත්සන ගිවිසුමේ ඇත්තේ ඊළඟ පේළියේ පහළින් මෙතුමාගේ අත්සන තිබිය යුතු තැන ඇත්තේ එතුමාගේ පියාගේ සොයුරා වූ සබරගමුව දිසාව වූ පිලිමතලාවගේ අත්සනයි. මෙතුමාගේ අත්සන ඇත්තේ සබරබමුව දිසාව අත්සන් කළ යුතු තැනයි. රටක් පාවාදුන් ගිවිසුමක හැටි. විශ්වාස කළ හැකිද?

5. මොනරවිල හෙවත් කැප්පෙටිපොළ නිලමේතුමාගේ අත්සන.
මෙතුමා ඌවේ දිසාවයි. මෙතුමාගේ සන්නසක ඇති අත්සනත් ගිවිසුමේ අත්සනත් අතර පරස්පරතාවයක් දැකිය හැක. අනෙක මෙතුමා සාමාන්‍යයෙන් අත්සන් කර ඇත්තේ දෙමළෙන් වන අතර ගිවිසුමේ ඇත්තේ සිංහලෙන් ලියන ලද මොනරවිල යන්න පමණි. අනෙක් දෙමළ අත්සනේ ඇති සලකුණු අනුව මෙතුමාගේ නිල තත්ත්වය පැහැදිලිව හඳුනාගත හැකි අතර සිංහල අත්සන නිකම්ම නමක් ලිවීමක් පමණි. ගරු ගාම්භීරව අත්සන් කළයුතු තැනක තම නම පමණක් ලිවීමට තරම් කෙනෙක් විශේෂයෙන් ඉතාම ඉහළ නිලයක් දරන්නෙක් පෙළබෙයිද? තම නිලය නැතුව නිකම්ම නම ලියයිද?

6. රත්වත්තේ නිලමේතුමාගේ අත්සන
ගිවිසුමේ ඇති අත්සනේ ඇති වැදගත් ලක්ෂණයක් නම් සිංහල දෙමළ සහ හඳුනානොගත් යම් යම් සලකුණු මිශු අත්සනක් ලෙස එය සටහන්ව තිබීමයි. මාතලේ දිසාවයි. මෙතුමන්ගේ නියම අත්සන දෙමළ අමිශු අකුරින් යුතු තම නිලය හඟවන සලකුණු වලින් යුතුය. නමුත් ගිවිසුමේ ඇත්තේ පරස්පර විරෝධී අත්සනකි. නැවතත් අසමි. විය හැකිද?

අත්සන් ගැන කීමේදී මෙයට අත්සන් කළ අනෙක් පාර්ශවයෙන් එනම් ඉංග්‍රීසීන්ගේ අත්සන් තුනක් මෙහි ඇත. රොබට් බ්‍රව්න්රිග් ආණ්ඩුකාරයා, රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි සහ ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් ලෙස ජේම්ස් සදර්ලන්ඩ්. මේ තිදෙනාගේ අත්සන් එම කාලයේ ඔවුන්ගේ අනෙකුත් අත්සන් සමඟ හොදින් පෑහේ.

6. ගිවිසුමේ වලංගුභාවය.
ඉතාම වැදගත් මාතෘකාවකි. දැනටත් ඔබ දන්නා පරිදි මෙය නිකම්ම කොළ කෑල්ලකි. රැවටීමකි. නමුත් අප එය තහවුරු කළ යුතුය. ඒ නිසා මේ ගැනත් බලමු. ගිවිසුමේ පිටපත් එකකට වඩා ඇත. එය එසේම විය යුතුය. අඩුම ගණනේ පිටපත් දෙකක්වත් තිබිය යුතුය. දැනට ප්‍රසිද්ධ පිටපත් දෙකක් ඇත. එහෙත් ඒවා සමාන විය යුතුය. කරුණු අතින් මෙන්ම අත්සන් නියමාකාරයෙන් විය යුතුය.

එහෙත් පුදුමයකට මෙන් ඒ සමානතාවය මේ පිටපත් දෙකෙ නැත. කවරක් සිදු වීද?
දැනට ඇති පිටපත් දෙකම මම ඔබට මෙහි ලබා දෙමි. ඔබම බලන්න.
1. මාචාර්‍ය්‍යය විමලානන්ද තෙන්නකෝන් මහතාගේ උඩරට මහ කැරැල්ල ග්‍රන්ථයේ තුන්වන කොටසේ 82 පිටුව බලන්න. එම පිටපතේ සිව්වනුව ඇත්තේ කණිෂ්ඨ පිලිමතලාවගේ අත්සනයි. මෙය දැනට ඇති එක් ගිවිසුම් පිටපතකි. මෙම පිටපතේ කණිෂ්ඨ පිළිමතලාවේ අත්සන නිකම්ම අත්සනකි. නිල සංකේත නැත.
2. නමුත් ජාතික ලේඛනාගාරයේ ඇති 1984 වර්ෂයේදී ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ධූරය දැරූ ආචාර්‍ය්‍ය හරිස්චන්ද්‍ර ද සිල්වා මැතිතුමා විසින් සොයා ගැනුණු පිටපත. මෙහි කණිෂ්ඨ පිළිමතලාවේගේ අත්සන සියලුම නිල සංකේත සහිතව තිබේ.
රටක නිදහස අහිමි කළ ගිවිසුමක් පිටපත් දෙකක් මෙසේ පරස්පර විරෝධී විය හැකිද?

7. 8. ප්‍රශ්න දෙක අපි එකට ගෙන කතා කරමු. එනම් ඇහැළේපොළ නිලමේතුමන් මෙලෙස හැසිරුණේ ඇයි. තම අඹුදරුවන් රාජසිංහගේ කුරිරු හස්තයට හසුකර කෙසේ ඉවසා සිටියාද? අනෙක් අතට මොල්ලිගොඩගේ භූමිකාව කුමක්ද?
මොල්ලිගොඩ යනු සිංහලේ රාජසභාව තුළ ප්‍රබලයෙකි. වැඩිමල් පිළිමතලාවේට සහ ඇහැළේපොළට යටින් සිටි උන්නතිකාමියෙක් වූ මොහු සැමවිටම කටයුතු කළේ ස්වාභිවෘද්ධිය පතාය. වැඩිමල් පිළිමතලාවේගේ රජවීමේ ගමනට බාධකයක් වූ මොහු එතුමාගේ හිස අහිමි වන තැනට කටයුතු යොදයි.

අනෙක් අතට පිළිමතලාවේගේ බෑණනුවන් වූ ඇහැළේපොළ සමග බද්ධ වෛරී ලෙස හැසිරෙයි. එනම් මොහුගේ ගමනට බාධාවක් ලෙස සිටිනා ජ්‍යේෂ්ඨයා වන ඇහැළේපොළ සාධකය හොදින් හෝ නරකින් ඉවත් කිරීම තකා මොහු කූට කුමන්ත්‍රණවල යෙදෙයි. රාජසිංහ රජුට තෑගිදීම සදහා රිදී ඇදක්, රන් කඩුවක්, හා රන් ඔටුන්නක් සාදමින් සිටි ඇහැළේපොළ රජුගෙන් බිඳවීමට සිතා මොල්ලිගොඩ විසින් ඒ පුවත රජුට සැලකරන්නේ රජ වීමට මේවා සාදන බව දන්වමිනි. ඒ බව පිළිගන්නා මෝඩ රජු ඇහැළේපොළ හා වෛර බඳී. අනෙක් අතට ඇහැළේපොළ කුමාරිහාමිගේ රූපයෙන්ද වශීවන රජු ඇය තම වඟයට ගැනීමට බලයි. මේ කිසිවක් ඉටුකර ගත නොහැකි වී ඇය කෙරෙහිද වෛරයෙන් මොල්ලිගොඩගේ ඉගැන්නුම් බස් අසා ඇහැළේපොළ පවුල විනාශ කර දමයි. මේ අපේ සිංහලේ අවසානය සලකුණු කළ සිදු වීමක් වෙයි. මින් කෝපයට පත් ප්‍රභූන් සහ ඇහැළේපොළ රජු ඉවත් කිරීමට සුද්දන් හා එක වෙයි. මොල්ලිගොඩ වැනි පුද්ගලික අභිමතාර්ථ නිසා ජාතිය පාවා දෙන ද්‍රෝහීන් නිසා සුද්දන් මෙරට රජය ලෙහෙසියෙන් පැහැර ගනී.
විමලානන්ද තෙන්නකෝන් මහතාගේ ග්‍රන්ථයේ තුන්වන කොටසෙහි 383 පිටුව බලන්න.
අනෙක මේ මොල්ලිගොඩ ඇහැළේපොළ රජ හා මිත්‍රවීමට සිතා එවන ලිපිය පැහැරගෙන ඒ වෙනුවට රජුට බැණවදිමින් ලිපියක් සකසා හොරට අත්සනක් ගසා රජුට ඉදිරිපත් කරයි. මින් කිපෙන රජු තම පුද්ගලික වෛරයද නිසා කුමාරිහාමි ඇතුළු මුළු පවුලම වධයට කැප කරයි.
මෙතැන හොර අත්සන් ගැසීමේ අතීතයක් ඇත්තෙක් ඔබට පෙනෙනවාද?
මා සිතන පිළිවෙළට මේ සියලුම අවුල් ඇති කළ කීපදෙනාගෙන් කෙනෙකි. මොල්ලිගොඩ නිලමේ වරයා.

ලිවීමට බොහෝ දේ ඇතත් මින් නැවතීමට සිතමි. තවත් මගේ උපකල්පන කීපයක්ම ඇත. ඒවා සහ මේ ආශ්‍රිත විශේෂ සිදුවීම කීපයක් තවත් ඇතත් දැනට ඉතා දිගු වී මාගලක් වී ඇති ලිපිය මේ කෙටි අදහසින් නවතමි.

ඔබ දන්නවාද මේ ගිවිසුම අත්සන් කර වර්ෂ තුනක් පමණ ගිය තැන සිංහලේ නිදහස වෙනුවෙන් මේ අත්සන් කළා යැයි කියනා නායකයින්ම දිවි පරදුවට තබා සටන් කර තම දිවි මේ බිම වෙත ජූජා කළ වග.
මොනරවිල කැප්පෙටිපොළ නායකත්වයෙන් සටන් වැදුනද, මිල්ලව නම් දූරදර්ශී අති ගෞරවණීය නායකයා ඉතාම කෙටි කලකින් ඉංග්‍රීසින්ට හසු වී මරණ දඩුවමට නියම වුවත් ඔහුගේ පාණ්ඩිත්‍යයට ගරුකළ සතුරන් ගල්කිස්සේ නිවාස අඩස්සියේ තබා තිබූ බව. ඊට අමතරව කැප්පෙටිපොළ සහ පිළිමතලාවේ සහ අනෙක් සියලුම නායකයන් ප්‍රදේශීය නායකත්වයද සමඟ දිවි අහිමි කරවීම හෝ රටින් පිටුවහල් කිරීමට බඳුන් වූ වග.

මගේ අදහස නම් මේ වන්නට ඇත්තේ නියම ගිවිසුම මේ එකක්වත් නොවන නිසාත් ඒ අපේ නායකයන් අත තිබූ නිසාත් ඉන් උඩරටට ඔවුන්ගේ අයිතියක් නැතිබව හෙළිවන නිසාත්ය.

මේ ලිපිය සම්පූර්ණ වීමට නම් මොල්ලිගොඩගේ ඉරණම ගැනත් යමක් ලිවිය යුතුය. ඔහු 18 කැරැල්ල නිර්දය ලෙස මැඬපැවැත්වීම සදහා ඉංග්‍රීසීන්ට නොයෙක් ලෙස උදව් වුණි. ඒ සදහා ඔහුට ලැබුණු තාන්න මාන්න බොහෝය. නමුත් තම පරපුර ඔහුගෙන්ම අවසන් විය. එනම් ඔහුගේ එකම පුතණුවන් අධික බීමට ඇබ්බැහි වී අකාලයේ ජීවිතයෙන් සමුගත් නිසාය. කෙතරම් දේ කළත් අවසන අනෙක් ප්‍රභූන්ගේ ඉරණමට නොදෙවෙනි ඉරණමක් ඔහුටද අත්විය. ඒ අපේ ජාතියේ මහා ඛේදවාචකය ඉදිරියෙන් ඉදිරියට ගෙන යාමට මහත්ම පිටුබලයක් විය. ඔබත් මාත් අසරණය.

අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ......

මේ ගිවිසුම නිසා අපට කිසිම රටකට නොවූ ලෙස වීරෝදාර නායකයන් ගණනාවක් අහිමි විය.

එහි ප්‍රතිඵල අදත් අප භුක්ති විඳිමින් සිටිනවා නේද???

මේ ගැන ඔබ දන්නා යමක් ඇතොත් එක් කරන මෙන් ඉල්ලා සිටිමි. කෙදිනක හෝ මේ ගැන යම් පියවරක් ගැනීමට මගේ සිතේ අදහසක් ඇත. ඔබගේ ආශීර්වාදය පතමි.

ඇසුරු කළ තැන්.
සිංහලේ සටන්, දයාවංශ ජයකොඩි.
කොඩ්‍රින්ටන් සටහන්.
ඩොයිලිගේ දිනපොත් සටහන්.
උඩරට මහ කැරැල්ල විමලානන්ද තෙන්නකෝන්.
උඩරට ගිවිසුම සම්බන්ධ නුවර එළියේ හේමපාල, මිරැන්ඩෝ ඔබේසේකර, ලලිත් ගුණවර්ධනයන්ගේ ලිපි.
ඇතුළු පුවත් පත් ලිපි විශාල ගණනක් මෙහිදී පරිශීලනය කළා.
දිවයින බදාදා අතිරේකවල සඳහන් කරුණු විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත්තා.
මා මහනුවර රාජකාරී කළ සමයේ එහි මා සමග වැඩකළ මාගේ රියදුරු සෙනෙවිරත්නයන් සහ අපේ ගිණුම් ලිපිකරු ආතාවුද මහතාවද මෙහිදී සිහිපත් කරමි.

(මේ සියලුම ලිපි ලේඛන මා සතුය. )