Thursday, September 1, 2011

විශ්වාරම්භය පෙරදිග විද්‍යාවන් (ප්‍රමාණ) 02

දැන් අපි අපේ මේ කතිකාවේ පෙරදිග විද්‍යාවන් විශ්වය ආරම්භ වූ ආකාරය දැකලා තියන්නේ කොහොමද කියන කාරණය විස්තර කරමින් සිටියේ, එහිදී අපි කථා කලා බටහිර දර්ශනයේ මේ ගැන කියවෙන දේ, එතකොට ආයූර්වේද විද්‍යාව පෙරදිග දර්ශණයේ පිහිට ලබාගෙන ප්‍රකෘති පුරුෂ වාදය මඟින් විශ්ව උප්පත්තිය ගැන කතා කරන ආකාරය.

ඒකට උදව් වෙන සාංඛ්‍ය දර්ශනය ගැන අපි යම් තරමකට අද කථා කරමු.

අපි දන්නවා ප්‍රකෘති සහ පුරුෂ කියන දෙක අපට උපයෝගී වෙනවා විශ්වොත්පතිය ගැන කථා කරන්න. මෙම ප්‍රකෘති සහ පුරුෂ කියන තත්ත්වයන් දෙකේ භේදය ගැන කරුණු සඳහන් වෙන්නේ අපි මේ කථා කරන සාංඛ්‍යය දර්ශනය තුල. දැන් නවීන විද්‍යාවන්ට අනුවත් විශ්ව ආරම්භය ගැන කරුණු හදාරන්න අපිට අවශ්‍යවෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ ගණිතය. සංඛ්‍යා සහ මේ ගනනය කිරීම් මගින් ප්‍රකෘති සහ පුරුෂ කියන දෙකේ වෙනස අපිට විශ්ව උප්පත්තිය ගැන හොයනකොට මුලින් සොයා ගත යුතු වෙනවා. එයට අපට සහාය වෙන්නේ තවත් සාංඛ්‍ය දර්ශනයේ එන සාධකයක් වෙන ප්‍රමාණ.

දැන් ඔබට පෙනෙනවා ඇති මේ සාංඛ්‍ය දර්ශනය කියන්නේ වෙන මොකවත් නෙමෙයි ගණිත ක්‍රම. සාංඛ්‍යය දර්ශනය ඇත්තෙන්ම අද අපි භාවිතා කරන සම්භාව්‍ය ගණිතයේ එන සියළුම ක්‍රමවේදයන් ඇතුලත් උසස් දර්ශනයක්. මෙකෙන්ම ඔබට පෙනෙනවා ඇති මේ අය විශ්ව උප්පත්තිය ගැන කියන්නේ ගණිත ක්‍රමවල පිහිටෙන්. ඇත්තෙන්ම ඇත්ත ඒකයි. ඒත් වෙලා තියන දේ තමයි, මේ ගණිත් විද්‍යාවන් තුල එන බොහෝ වචන අද දූෂනය වී තිබීම. වචනවල තේරුම්, වෙනත් තේරුම් බවට පත් වීම. එම නිසා අද එම වචනවල තේරුම් අනුව අපි සිතා බැලීමේදී අපිට මේවා පෙනෙන්නේ විහිලු වගේ. නමුත් මේ දෙවල් ඉගෙනීම තුලින් ඒ ව්‍යාකූල භාවය නැති වෙලා යනවා.

කපිල දර්ශනය සාංඛ්‍ය දර්ශනය කියන නමින් හැදින් වෙන්නේ සංඛ්‍යා ආශ්‍රයෙන් වාද කරන දර්ශනය නම් අර්ථයෙන්.

විශ්වාරම්භක අවස්ථාව පිළිබඳ ගනනයට උපකාරී වන සාධක කීපයක් මේ සාංඛ්‍ය දර්ශනයේ තිබෙනවා. අපි පිලිවෙලින් බැලුවොත්, ප්‍රකෘති, පුරුෂ, ප්‍රමාණ, මහත් යන මේ සාධක තමයි මේ සඳහා උපකාරී වෙන්නේ. මේ සියළුම සාධකයන් සංඛාවෙන් 25 වෙනවා. මේ විසි පහ මුලින්ම
1. ව්‍යක්ත
2. අව්‍යක්ත
3. ඥ
ලෙස කොටස් තුනකට බෙදෙනවා. ඊට පසු නැවතත් සිව් කොටසකට බෙදෙනවා. ඒවා නම්,
1. ප්‍රකෘති
2. විකෘති
3. ප්‍රකෘති විකෘති
4. අනුභය
මේවා රූප යනුවෙන් හදුන්වනවා.

කපිල දර්ශනය පිළිබඬ්හ් ලියවුනු පොත් පත් දැනටත් ලබාගත හැකියි.
1. ඊශ්වර කෘෂ්ණයන්ගේ "සාංඛ්‍යාකාරිකාවය"
2. මේ පොත සඳහා ලියවුනු ටීකා, ටිප්පනි ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සොයා ගත හැකියි.

ප්‍රමාණ
සාංඛ්‍ය දර්ශනයේ එන ප්‍රධානම සාධකයක් වෙන්නේ ප්‍රමාණයි. ප්‍රමාණ නැතිව ප්‍රකෘති සහ විකෘති යන සාධක දෙක අපට ඔප්පු කර පෙන්විය නොහැකියි.
මේ ප්‍රමා කියන වචනයේ තේරුම වෙන්නේ තත්වාවබෝධය යනුයි. එම නිසා යථාර්ථ ඥානය මැනීමට ප්‍රමාණ අත්‍යාවශ්‍යයි. තත්වාවබෝධය ලබා ගැනීමට ගත යුතු මාර්ගය නැතහොත් ප්‍රමාණය ප්‍රමාණ නමි. නිවැරදි දැණුම ප්‍රමාණයි. තවද එය ලැබෙන මාර්ගද ප්‍රමාණ වේ.

උදයන්ගනාචාර්‍ය්‍යයන්ද, කණාද, අක්ෂපාද, නාගාර්ජුන, වසුබන්ධු, දීංනාග, ධර්මකීර්ති, යන ආචාර්යවරු මේ ප්‍රමාණ පිළිබඳ වැදගත් කරුණු ලෝකයට හෙලි කලහ.

තුලා, නැළි, මිණුම් මඟින් විෂය කරගත හැකි දේ ප්‍රමේය වේ. එනම්, රෙදි පිලි කෝදු මගිනුත්, හාල් ආදිය බුසල් නැලි මගිනුත් මැන ගැනීමට හැක. එනම් ප්‍රමාණ කිරීමට හැකිය.

ප්‍රමාණ ප්‍රභේද
විවිධ දර්ශනවාද වල විවිධ ප්‍රමාණ භාවිතා කලහ.
1. චාර්වාක දර්ශනයේ ප්‍රත්‍යක්ෂ ප්‍රමාණ පමනක් ද,
2. ජෛනයෝ ප්‍රත්‍යක්ෂ, අනුමාන, ශබ්ද, ද,
3. බෞද්ධයෝ ප්‍රත්‍යක්ෂ, අනුමාන,
4. මීමන්සකයෝ ප්‍රත්‍යක්ෂ, අනුමාන, ආගම,
5. ප්‍රභාකරයන්ගේ ප්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන, ආගම,
6. වෙදාන්තවාදීන් විසින් ප්‍රත්‍යක්ෂ, අනුමාන, ශබ්ද,
7. යෝග දරශනයේ ප්‍රත්‍යක්ෂ, අනුමාන, ආප්ත,
8. ජෛමිණීකයෝ අර්ථාපත්ති, සම්භව, අභාව, ප්‍රතිභා, ඓතීභය, උපමාන,
9. වෛශේෂිකයන් ප්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන,
10. සාංඛ්‍යයන්ගේ දෘෂ්ට, අනුමාන, ආප්තවචන,

ප්‍රමාණ ලක්ෂණ.
ප්‍රමාණ හැදින්වෙන ලක්ෂණ ප්‍රමාණ ලක්ෂණ වේ. කිසියම් ඥානයක ප්‍රමාණිකත්වය ඇති වන්නේ ව්‍යවාහාරය අනුවයි. අර්ථ ක්‍රියාවෙහි සමත් වස්තුව පමණක්ම පරමාර්ථ වන වස්තුව නොවේ.කිසියම් ඥානයකින් එම වස්තුව ඇති බව දැනගත හැකි නම් ඒ ඥානය ප්‍රමාණ නමි. ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය ඉහත සියලු ප්‍රමාන අතුරින් ශ්‍රේෂ්ට වේ.

අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවන දේවල්, ඥානය එනම් සාමාන්‍ය දැකීමෙන්, අනුමානයෙන් සහ යම් පමනකට ශේෂවත් අනුමානයෙන්, ඇති වෙයි. කිසියම් අප්‍රත්‍යක්ෂ වස්තුවක් මේ දෙකින්ම සිද්ධ නොවේ නම්, එය ආගම ප්‍රමාණයෙන්, සිද්ධ වන්නේය.

සාංඛ්‍ය දර්ශනයේ සඳහන් වන පිලිවෙලට පංච විංශති තත්ත්වය ව්‍යක්ත, අව්‍යක්ත, හා ඥය යනුවෙන් යලි තුන් කොටසකට බෙදේ. ඒ පස් විසි තත්ත්ව අතරින් අස්ථි, චර්ම, මාංසාධීන්ගේ, ස්වරූපයෙන් පවතින පෘත්ව්‍යාදී ධාතු ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකිය.

අවබෝධ කර ගැනීමෙහිලා අපහසු පදාර්ථ අවබෝධ කර ගැනීමට දර්ශනය වැදගත් වේ. ප්‍රකෘති පුරුෂ වූ කලී එවැනි අතීන්ද්‍රිය පදාර්ථයන් දෙකකි. එහෙයි මෙවැනි පදාර්ථයන් අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය දෘෂ්ටි අනුමානය වැදගත් වේ. මේ අනුව පැහැදිලි වන්නේ මානසික තත්ත්වයන් වන සත්ව, රජස්, තමස් යන ගුණ තුනේ සාම්‍යය අවස්ථාව මේ ප්‍රකෘති මගින් පැහැදිලි කරන බවයි. සත්ව රජස් තමස් යනුවෙන් හැදින් වෙන්නේ, රජස් තමස් දෙක මානසික දෝෂ වශයෙනුත් සත්ව මානසික සාමාන්‍ය සමබර තත්වය වශයෙනුත් අර්ථ විග්‍රහ කරනවා. මේ තත්තවවල සාම්‍යය හෙවත් සමබර අවස්ථාවයි.

යම් වස්තුවක් හෝ පදාර්ථයක් ප්‍රත්‍යක්ෂ නොවීමටත් යම් යම් හේතූන් බලපානවා.
1. අතිදූරත්වය.
2. අතිසමීපත්වය.
3. ඉන්ද්‍රිය ඝාතය.
4. අනවස්තානය.
5. සූක්ෂ්මත්වය.
6. ව්‍යවධානය.
7. අභිභවය
8. සමානාභිභාරය.
වැඩියෙන් දුර වීම, වැඩිපුර සමීප වීම, ඉන්ද්‍රිය විනාශ වීම, අස්ථානගත වීම, ඉතා කුඩා වීම, අවධානයට යොමු නොවීම, අභිබැවීම, ඉතාම සමානවීම. මෙම හේතු මත ප්‍රත්‍යක්ෂයෙන් බැහැර වීමට හැකියි.

අපි සාංඛ්‍ය දර්ශනයේ යම් යම් කොටස් අපේ මේ කතිකාවට අවශ්‍ය කොටස් ඉතා කෙටියෙන් කථා කලා. දැන් අපි විශ්වයේ ආරම්භය සිදු වූ හැටි ගැන බලන්න සූදානම්.

(මෙහිදී මම කෙටි අදහසක් කියන්න ඕනෙ. මම මේ ලිපි මාලාව ලියන්නේ බුදු දහම සහ භාරතීය දර්ශන අනුව විශ්වය, ජීවය ඇති වූයේ කෙසේද කියලා පෙන්වීමේ අරමුණ ඇතුවයි. මම කවමදාවත් මේ ලෝකෙ තිබෙන කිසියම් වූ ආගමක් පහත් කොට සලකන්නේ නැහැ. ඒ ඒ ආගම් තිබෙන්නේ ඒවා අදහන අයගේ විශ්වාසයන් අනුව. අපි එම විශ්වාසයන්ට ගරු කල යුතුයි. මම ආගම් පිළිබඳ කිසිවක් දන්නේ නැහැ. මෙහි මම දක්වන්නේ ආගමික මත වාද නෙමෙයි. මේවා හුදෙක්ම දාර්ශනික කරුණු. කොටින්ම කිව්වොත් මෙම කරුණු හොඳින් දන්නා අයෙක්ට වුවත් තම ආගම වෙනම ඇදහීමේ නිදහස මම පිලිගන්නවා. ඒවා පෞදගලික කාරනා. ඒ නිසා මේ ලෝකෙ තිබෙන කිසිම ආගමක් සම්බන්ධ කරුණු වලට මේ දාරශනික මත වාද වලින් කිසිම හානියක් විය නොහැකියි.)

අනිත් කාරණය මේ වැනි දෙවල් ඉගෙන ගත්තාට අපිට ලැබෙන්නේ දැනුමක් විතරයි. විමුක්තිය ලබන්න මේ දෙවල් වැඩක් නැහැ. ඒ එසේ වුවත් ලෝක ස්වභාවය ගැන දැන ගැනීම වැදගත් වේ යැයි මම සිතනවා.


ඊලඟ ලිපියෙන් පුරුෂ යනු කුමක්දැයි අපි බලමු……………………….

6 comments:

  1. මේක නම් දෙතුන් පාරක්ම බලලා තේරුම් ගන්ට ඕන පෝස්ට් එකක්. එක පාරක් කියවලා මදි.

    ReplyDelete
  2. මනස හොදටම නිරවුල් අවස්ථාවක් එනකම් සිටියා ලිපිය බැලීමට.ලිපිය සංසුන්ව දෙසරයක් කියෙව්වම තේරුම් ගන්න පුළුවන් උනා. ඉතිරියත් බලමු නේද?

    මේ පිලිබද අදහස් බොහෝ විදුවතුන් පවසලා තියන බව අපි දැන්නවා..මේ ලිපි මාලාවෙනුත් මට වැදගත් වන්නේ යම් පිලිගත හැකි සාක්ෂි තියනවානම් අන්න ඒ ටික..පමණයි....

    බොහොම ස්තුතියි.......

    ReplyDelete
  3. ඕනයා,
    ඔබ කියන දේ මට වැටහුනා. ඒ නිසාම මම මේ ලිපිවල දෙවනි කොටස ඉක්මනට දැම්මා. ඒකෙ මේ පිළිබඳව යම් ඉගියක් කලා. ඔබට බොහොමත් ස්තුතියි. ඔබ කියන දේ හරි.

    ReplyDelete
  4. නොදන්න දේවල් දැනගන්න සලස්වන එක ගැන බොහොම ස්තුතියි

    ReplyDelete
  5. අඩි කෝදුවකින් පොලවේ සිට හඳට දුර මැනිය නොහැක. එයට පිලිගත් සිද්ධාන්ත හා දියුනු උපකරණ දියුනු මිනිසා විසින් නිපදවා ඇත. විශ්වය ගැන පරීක්ෂනද ඒ දියුනු ක්‍රම අනුව සිදුවෙමින් ඇත.
    බුදුහාමුදුරුවන් වැනි දාර්ශනිකයනට නිපදවන්න පුලුවන් වන්නේ සංකල්පය. එවා ගුනාත්මක දේවල්ය, ප්‍රමානයන් බවට පත් කරන්නේ භෞතික ක්‍රියාවලියකින් බව මගේ පන්ඩිත අදහසයි.
    විද්යාව විසින් පොදු බොහෝ ජනයාව ස්වභාවධර්මයේ බලපෑම්වලින් නිදහස් කරගෙන ජීවිතය වින්ඳනය කිරීමට ඉඩ සලසමින් ඇත. ප්‍රස්නය තිබෙන්නෙ අර පොඩි කුමාරි හාමිගෙ අචාර්ය සිරිධම්ම හාමුදුරුවො දේශනා කරන ආකාරයට විද්යාවේ අයිතියෙ ඇති අසමානතාවයයි.

    ReplyDelete
  6. මම කොහොමත් ඉඳල හිටල බ්ලොග් බලන/ලියන නිසා ඔබතුමා දෙවැනි කොටසත් දැම්මට පස්සෙයි පළවෙනි කොටස බලල තියෙන්නෙ... ඒකේ කොමෙන්ට් එකක් දැම්මේ මේක දකින්නේ නැතුව ... ලිපියේ මුල් ගණිත ක්‍රම නම් ටිකක් තේරුණේ නෑ... නමුත් දිගටම කියවන්න හිතෙනවා... බොහෝම ස්තූතියි...

    ReplyDelete