අද මම බොහෝ සතුටුවන දවසක්. කාලයක සිටම බලාපොරොත්තු වූ මගේ බලාපොරොත්තුවක් ඉටු වුනා. එනම් සිංහල බ්ලොග් කියවනයේ මගේ වෙද ගෙදර පල කරවා ගැනීම. කෙසේ හෝ මට ඊයේ කාලිංග දන්වා තිබුනා වෙද ගෙදර ඇතුලත් කල බව. ඔබට ස්තුතියි!
ඊලඟට මම ලියන්න හිටියේ පොඩි කෑමක් ගැන. නමුත් බෝධි පූජා ගැනත් ලියන්න හිතුනා චතුර විජේකෝන් අපේ වටිනා මිත්‍රයා නිසා. එහෙනම් අද ලියන්නේ අපේ පාරම්පාරික කෑමක් ගැන. අර සිංහල බ්ලොග් කියවනයට මගේ බ්ලොග් එක දැමීමේ ප්‍රීතිය නිමිත්තෙන්, එහෙනම් හරිනේ.....
ඔන්න එහෙනම් දියබත……………………………….
අපි කුඩා කාලේ නම් දියබත මමත් කාල තියනවා. අපේ අම්ම මට සතියකට සැරයක් නම හදලා දෙනවාමයි. මම හිතන්නේ අපේ බ්ලොග් අවකාශෙ ඇති දියබත රස බලපු අය. විශේෂයෙන් කියන්න ඕනෙ, මාරය මල්ලී, අරුණී, තව නම් මතක නැති කීප දෙනෙක් මට මතක හැටියට එක එක දේවල් උයන පිහන හැටි දැම්මා. ඔන්න මමත් මට පුළුවන් හැටියට දිය බත ගැන පොඩි විස්තරයක් කියන්නම්.
දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්.
දිය බතේ සාම්ප්‍රධායික වට්ටෝරුව.
1. හාල් පත භාගයක පමණ බත්,
2. ලියාගත් රතු ළුුණු අත්ලකින් භාගයක් පමණ
3. පොල් බෑයක කිරි,
4. දෙහි බෑවක ඇඹුල්,
4. ලුණු ස්වල්පයක්,
5. කිතුල් හකුරු අවශ්‍ය පමණ.
සකස් කරන අන්දම.
පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් (එතරම් වැදගත් නොවේ. වෙනත් භාජනයක වුවත් කම් නැත්, නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න.) ප්‍රමාණයකට වතුර පීරිසි කෝප්ප දෙකක් දමා, එයටම කපාගත් රතු ළුුණුද දමා, නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි.
පසුවදා උදයේ එහි වතුර ටික පෙරා ගන්න. ( අපි කුඩා කල මේ වතුර බීමට ගත්තා මතකයි. එසේ බීමටද හොඳයි.) ඉන්පසු ඉතිරි වූ බත් හා රතුළුුණු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර, මිරිකාගත් පොල්කිරි සමඟ එක්කර දෙහි ඇබුල් සහ ලුණු මිශ්‍ර කර කිතුල් හකුරු එක්කර උදේ ආහාරයට ගත හැකියි. ලේසියි, පාසුයි, වියදම අඩුයි. ඒත් මදෑ.
මෙහි ඇති වැදගත්කම. හෙවත් ප්‍රයෝජන.
1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි. බලන්න අද මේ රෝග තත්වය නිසා කී දෙනෙක් නම් දුක් විදිනවද, ඔබ මෙය පාවිච්චි කර අප දැණුවත් කරන්න. එවිට අන් අයටද මෙයින් ප්‍රයෝජනයක් ලැබීමට සිත් දෙයි. මේ නිසා අපේ රටට නාස්තිවන ධනය ශ්‍රමය කොපමණද, ඒ නිසා නිකමට වගේ අරන් බලන්න.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
මම මේකෙ පොඩි සංස්කරණයක් කරන්නම්, ඒ කියන්නෙ හවසට බත් ටිකක් ලිප තියලා හොඳින් නිවුනට පසු මේ ලෙස සකස් කරගෙන රෑට තබා උදේට දිය බත සකස් කර ගන්න. අනිත් කාරනේ තමයි අර මුට්ටියේ අඩිය අල්ලන කොටස් හොඳට සූරාගෙන මේලෙස පිලියෙල කර ගැනීමෙන් ද දිය බත සාදා ගත හැකියි. අඩියේ දංකුඩ ටිකක් ක්ෂාර ගතිය වැඩි නිසා ආමාශයේ ඇතිවන ආම්ලිකතාව නැති කිරීමට ඉතාමත් හොඳයි.
අපි ඉස්සර මොනතරම් නීරෝගී ජාතියක්ද?
මම හැමදාම අහන කාරණේ අපිට මොකද වුනේ?
මේවට සුද්දටවත් කාටවත් බැනලා වැඩක් නැහැ. අපි අපි එකතු වෙලා මෙහෙම අපේ පුරාන දැණුම භාවිතා කරලා මේ හැම ප්‍රශ්නෙටම කොයික වෙතත් පුළු පුළුවන් ප්‍රශ්න වලටවත් පිලිතුරු හොයා ගමු. එතකොට රටම කෙසේ වෙතත් මේ බ්ලොග් අවකාශෙ ඉන්න අපේ මිත්‍රයෝවත් හොඳ නීරෝගී අය වෙයිනේ. එහෙම අපි පටන් ගමු. මගේ දායකත්වය මම දෙන්නම්. ඔබත් බලන්න මේවා කරලා බලලා, වැඩක් නැත්නම් කෙලින් එන්න බැරි නම් ඇනෝ ඇවිත්වත් කියන්න මේක වැඩක් නැහැ. මීට පස්සේ බොරු කියන්න එපා කියලා. මම ලැහැස්තියි ඒක පිලිගන්න.
ප./ලි.
අපේ ලකීගේ ඉල්ලීම නිසා දවස් දෙකකට වරක් තමයි මීට පස්සේ ලිපි දාන්නේ. ඒක නම් මටත් හොඳයි.
දැක්ක ගමන් හදලා කන්න ඕන කියලා හිතුනා...
ReplyDeleteහප්පච්චියේ .අපි කන්නෙ පිටි කල පොල් කිරි නෙව...මම ඉන්න හරියෙ හිරමනයකින් ගාපු පොල් ටිකක් හොයා ගන්න එක තමයි පුරස්නෙ....හැබැයි හදාගන කන්නම ඕන..සිකුරාදා රෑ බතෙන් සෙනසුරදා නිවාඩු දවසෙ උදේ කෑමත් හදාගන්න පුලුවන් නෙව..
දියබත් කියන්නේ අපේ සම්ප්‍රදායික කෑමක්නේ...
ReplyDeleteඒ කාලේ අපේ අම්මල අපිට මේ ආහාර දුන්නේ කිසිම ලෙඩක් ඇතුව නෙමේ..ලෙඩ රෝග වලින් කල්තියාම ආරක්ෂා කරගන්න වෙන්නැති. ඉස්සර ගැස්ට්‍රික් කියා රෝගයක් අහලාවත් තිබ්බේ නෑනේ. තවත් අපට නිතරම පොල්කිරි කැද එහෙමත් දුන්න උදේ ආහාරයට.. ඉතින් අපේ ශරීර නිතරම සිසිල් ...
දියබත් මතක් කරලා දුන්න නිසා හදලා බලන්න හිතුනා.මේ වගේ අපට අමතකව යන සම්ප්‍රදායික කෑම මතක් කරන එක හොද දෙයක්..ඔබ කිව්වත් වගේ අපේ සහෝදර බ්ලොග් කරුවො ටිකවත් නිරෝගිව ඉදීවිනේ..
ස්තූතියි....
හප්පේ...මට නිකං යාලුවෙක් දැක්කා වගේ.පොඩිකාලෙ අපේ අම්මා රෑට ඉතුරුවෙන බත් වලින් දියබත් හදනවා.ඒත් දැංනං ගොඩක්ම කාලෙකිං කෑවෙ නෑ.අම්මා උදේ දියබත් හදන දවසට මම උදේ නැගිට්ට හැටියෙ හිස්බඩට දියබත් කනහැටි දැං මතක් කරනකොටත් කටට කෙල උනනවා.බොහොම ස්තුතියි බොහොම පිං අතීතය මතක් කලාට.මේක මට අමතකම වෙලා තිබුනෙ.ආයෙත් අම්මට කියලා දියබත් හදවගෙන කන්න ඕන.
ReplyDeleteබ්ලොග් අවකාශෙට තවත් අළුත් කෑම රචකයෙක් පහළ වෙලා ! :D
ReplyDeleteගැස්ට්‍රස්ටිස් වලට හොඳයි කියපු නිසා කරලා බලන්න ඕනේ. හෙට ප්‍රතිචාරයක් දාන්නම්...
ගැස්ට්‍රයිටිස් වලට විසඳුමක් වෙනවනම් උත්සාහයක් ගන්න ඕන. මම දන්න සෙට් එකක්ම ඉන්නව ඒකෙන් දුක් විඳින...
ReplyDeleteහොදමයි අම්මට කියලා හදවගෙන මාසයක් කාලා බලල ගුණ අගුණ කියන්නං මොකද මාත් ගැස්ට්‍රයිටීස් ලෙඩෙක් ....... අපේ අම්මත් කිව්වා හැබයි දියබත් ගැස්ට්‍රයිටීස් වලට හොදයි කියලා
ReplyDeleteමම් දියබත් ගැන අහල තිබ්බට කාලා නෑ.ගැස්ට්‍රස්ටිස් වලට හොඳයි කිව්ව නිසාබලන්න ඕනේ හදලා. ස්තූතියි!
ReplyDeleteමම දන්න හැටියට මේවයේ අපි නොදන්න වටිනා කමක් තියෙනවා. ඒ කියන්නෙ අත් ගුණය. අත් ගුණය කියන්නෙ යම්කිසි කෙනෙක් කාටහරි 'ඔබට සුවපත් වේවා, කියල හිතාගෙන හොඳ හිතෙන් වතුර දුන්නත් ඒක සුවපත් වෙනවා. මම මේක ඉගෙන ගත්තෙ ඇමෙරිකානු ජාතික පැච් ඇඩැම්ස් හෙවත් හන්ටර් ඇඩැම්ස් දොස්තර මහත්මයාගෙන්. ඕකටම තමයි (මගේ අදහසේ හැටියට ) ප්ලැසීබෝ ඉෆෙක්ට් කියන්නෙත්. මේ සටහන බලන්න. http://sgunatunga.blogspot.com/2008/12/blog-post_31.html
ReplyDeleteඅපේ මහ වෙදනා තුමා මේක හොඳට දන්නව ඇති.
අපේ ක්‍රියාවන් වල අපේ සිත නිසා උපදින ගුප්ත අදෘශ්‍යමාන බල වේග තියෙනවා. මේ ඖෂදීය ආහාර විශේෂය තුල වුවත් ඇත්තේ මේ අත් ගුණය බව මට හොඳටම විශ්වාසයි.
මේ පිලිබඳව මම සුලු පර්යේෂන කරලත් තියෙනවා. වරක් එක්තරා ඖෂධයක් වෙනස් කොට නිර්දේශ කිරීමට අපට "අනක්' ලැබුනා. කෙනෙකුට මම කිව්වෙ මේ ආන්ඩුව කියන නිසා මම මේක දෙනවා, ඒ ඇරෙන්න මම මේක විස්වාස නැහ් ඇ කියල. අනෙත් එන එක්කෙනාට කිව්ව මේක හරි අනර්ග බෙහෙතක් ඒක අරකට වඩා හොඳයි කියල. අර හොඳය කියල පිලිගත්ත අයට කිසි ලෙඩක් ඇති වුහේ නැහැ. අනෙත් කොටසට නොයෙක් ලෙඩ හැදුනා. එකම බෙහෙත, නමුත් හඳුන්වා දුන් අනදම, මම තමයි නෞෂධය.....!!
@සරත් මහතා
ReplyDeleteඔය ප්ලැසීබෝ ඉෆෙක්ට් කියන එක නේද ගුප්ත බලයෙන් ලෙඩ කරනවා කියන සමහර අය යොදා ගන්නෙත්...එතැනදි වෙන්නෙ ලෙඩේ සුව වීමක්ද, එහෙම නැත්නම් තාවකාලික මානසික සහනයක්ද ?
@ අපේ මහ වෙදනා
මේ ගැන ඔබේ ආයුර්වේද දැනුමින් අපට යමක් එකතු කරන්න හැකි වෙයිද..
( දවස් දෙකකට සැරයක් පොස්ට් දාන එක පහසු යි කියලා කිව්වට මම දන්නවා ඕක මොන තරම් අමාරු වැඩක් ද කියලා..ඒ අස්සෙ තව කොමෙන්ට් වලටත් උත්තර දෙන්න ඕනනෙ....)
අඩේ . . . . දියබත් . . . . . අවුරුදු විසි පහකට විතර පස්සෙ පරණ යාලුවෙක් දැක්ක වගෙයි . . . . අපේ කිරි අම්ම හදල දුන්න සුපිරිම කෑමක් තමයි දියබත් . . . . මතක් වෙනකොටත් බඩ මොනාද කියනව වගේ . . . . .
ReplyDeleteහික් හික් . . . . කියන්න සතුටුයි . . . . නැන්දම්ම මේ දැං කීව හෙට උදේට හදල දෙන්නං කියල . . . . .බඩුම තමයි . . . .
ReplyDeleteසාම්ප්‍රදායික ආහාරයක් ගැන හොඳ විස්තරයක්. ගුණාගුණත් සඳහන් කර ඇති නිසා කදිමයි.
ReplyDelete@සරත් මහත්මයා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
//අපේ මහ වෙදනා තුමා මේක හොඳට දන්නව ඇති.
අපේ ක්‍රියාවන් වල අපේ සිත නිසා උපදින ගුප්ත අදෘශ්‍යමාන බල වේග තියෙනවා.//
මෙන්න මේ ගැන තමයි මම මෙතුමගෙන් අහන්න හැදුවේ.සිත ගැන....
මට ඒකට අවස්තාවක් ආවේ නෑ......
මේ ගැන මම විශාල විශ්වාසෙකින් ඉන්න කෙනෙක්..
වෛද්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳවත් දිනක
සාකච්ඡා කරන්න...
@ ඕනයා...
ReplyDeleteඇයි යකෝ තෝම නේද කොහේද කියලා තිබුනේ නැන්දම්මා කොහොමත් බොට දෙන්නේ දියබත් කියලා..:D
නැන්දම්ම උඹට අළු කෙසෙල් එහෙම දෙන්නේ නැද්ද නිතර..?
අහල තිබුනට කාලා නෑ.. කැඳ නම් බොනව.. කාල බලලම් කියන්නම් මේ ටිකේ ටිකක් විතර බිසි.. ඔලුවත් මඤ්ඤං වෙලානේ තියෙන්නේ... ගොඩක් පිං මේ පෝස්ට් එකට...
ReplyDeleteඅපූරු ලිපියක්.
ReplyDeleteවෙද තුමනි!තවත් දවසක අපේ මාංස රස,යූෂ,මණ්ඩ,පේයා,විලේපී,මන්ථ,පානක ආදී ආයුර්වේද ආහාර සංස්කරණ රටාව ගැනත් මේ ඇත්තන්ට කියලා දෙමුකෝ!ඔබ තුමාගෙ මේ බාසා රටාවට බෝම මනාපයි.දිගින් දිගටම ලියන්න දිරි සක්ති වැඩේවා ඔබට! :)
ඔබතුමාගෙන් අහන්න හිටියේ අම්ල පිත්තය මග හැරවීමට සුදුසු ආහාර ගැන. බොහොම ස්තූතියි.
ReplyDelete@Gimhani
ReplyDeleteමාත් හොඳ හොඳ ගුප්තබල දන්නව.
@ Luckey
ReplyDeleteමගේ අදහසේ හැටියට බටහිර දෙසින් placebo effect පිලිබඳව හරි වාර්තාවක් ඇවිත් නැහැ. Ann Harrington කියල කතුවරියක් ලියල තියෙනව පොතක්, The Placebo Effect කියල. ඒකෙ තියෙන්නෙත් එක එක්කෙනාගෙ අදහස් මිස හරි නිගමනයක් නෙවෙයි. මෙහෙම අවස්ථාවල අපි කල යුත්තේ හොඳට කියවා බලා අපේම තීරණයකට එළඹීමයි. මම ආගම, ජීවිතයටම එකතු කර ගෙන ඒ කියන්නෙ ආගමත් ජීවිතයත් එකට ගලපා ගෙන කල්පනා කරන කෙනෙක්. ඉතින් අපේ බුදු හාමුදුරුවො සත්ත්වයා විස්තර කරන්නෙ රූප වේදනා සඤ්ඤා සංඛාර විඥ්ඥාණ වශයෙන්. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාව වෙදකම් කරන්නෙ රූපයට පමණයි. මාණසික ආබාධ වලට උනත් මොලයේ සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් කරල වෙදකම් කරන්න හදනවා. පෙරදිග ශාස්ත්‍රය සර්ව සම්පූර්ණ වශයෙන් (holistic ) වෙදකම යොමු කරණවා. එතකොට රූප පමණක් නොව අතට හසු නොවන දේවල්, සංඛාර, විඤ්ඤාණ, සංඤ්ඤා ආදී වූ අපි සිත වශයෙන් හඳුන්වන කොටස් වලට පවා වෙදකම යොමු වෙනවා. අපි ගුප්ත බලයක් කියන්නෙ ඇහැට පේන්නෙ නැති නිසා. අපේ බුදු හාමුදුරුවො දේශනා කලා, සිත ලෝකයේ ඇති විශාලතම බල වේගය කියල, අපට වෙන්නෙ සාමාන්‍ය ජීවිතයේදී කය පමණක් සලකගෙන කටයුතු කිරීමයි. මම හිතන්නෙ අපි මුලා වෙන්නෙ එතැනදී. තෙරුවන් සරණයි.
දියබත් කවදාවත් කාලා නෑ. හදාගන්ට ලේසි වගේ පෙනෙන නිසාත්, ගුණ හන්දාත්, උත්සාහයක් කරලා බලන්ට ඕනි.
ReplyDeleteමේ වගේ වටිනා ලිපි පෙලක් පල කරනවට ගොඩාක් ස්තූතියි.
මම කන්න ආසම කෑමක් තමා දෙල්. ඊළඟට තක්කාලි හොදි. ඔය දෙකම කෑවට පස්සෙ සති ගානක් විඳවනව. හිනාවෙන්නවත් , වතුර ටිකක් බොන්නවත් කට අරින්න බැරි තරමට කටේ ඌෂ්ණ බිබිලි දානව. විටමින් බී ගන්නව. ඒත් සුව වෙන්නෙ නෑ. මට මතකයි අපෙ අම්මත් දිය බත් හදනව. තව කතුරු මුරුංග කොළ අහුරකුත් දානව. ඔබට බොහොම පිං මේ කරන සේවයට.
ReplyDeleteහරිම වටින ලිපියක් ! දියබත , ගැන ලියුවාට ස්තූතියි. අසා තිබෙනවා ඒත් කවදාවත් කාලා නෑ.අපේ පැරණි අය ගොඩක් ලෙඩ රෝග වලින් වැලකුණේ ආහාර වට්ටෝරුව සහ වැඩෙහි යෙදීම මගින්. ඒකට අද පෙති අහුරක් ගිල්ලාම ඔක්කොම හෝඳ වෙනවා යැයි සිතනවා. ස්තූතියි.
ReplyDeleteබලමු අද කීදෙනෙක් දියබත් කෑවද කියලා.. ඔන්න මමනම්
ReplyDeleteහැදුවා. ඒත් තාම කෑවෙ නෑ.. නාලා තමයි කන්නේ...
හිතනකොටත් ඇගට සිසිලක් දැනෙනවා.......
බොහෝම ඉස්සර කාලේ දියබත් කාලා තියෙනවා.
ReplyDeleteගැස්ට්‍රයිසිස් තියෙන යාලුවොන්ට මේ පනිවිඩේ යවන්න ඕන.
බොහොම ස්තූතියි.
ලකී,
ReplyDeleteමට බොහෝම සතුටුයි. ඔබගේ උනන්දුවට ලඟදීම දියබත ලැබේවායි පතනවා.
මෙහි ආයුර්වේද ක්‍රමයට ගුණාගුණ විග්‍රහය මම දැනට ලියා නැහැ. අද මේ කමෙන්ට් වලින් එය දමනවා.
ගිම්හාණී,
අපි කාලම බලමුකෝ. ඔයාගේ උදේ කෑම කාලම අපිට කියන්නකො.
අනිත් ප්‍රශෙනේ,
"හිත මහ පුදුම තැනක්"
තව තියන්නේ "හිත හීලෑ නැහැ හරිම මුරන්ඩුයි, තැන තැන ඇවිදිනවා"
රාජ්,
එහෙනම් කාලම කියන්නකෝ.
ඉකමනින් ලැබේවා කියා පතනවා!
චතුරංග,
ඔව් ඔව් අපිටත් උයන්න පිහන්න පුළුවන්.
හරෙ :-)
ඔව් මේක ගැස්ට්‍රයිටීස් වලට ඉතාම හොඳයි. ඉක්මනටම හදාගෙන කන්න. මාසෙකට අඩු කාලෙකදි නිට්ටාවටම සනීප වෙයි. තීන්දුයි, නිවාරණයි, කැපයි!
සමීර,
කාලම බලල කියන්න මලේ.
නදී,
ඔව් ඔව් නදීටම තමයි, කාල බලන්න.
සරත් ගුණතුංග,
ඔබට දීර්ඝ පිලිතුරක් දෙන්නම්.
ඕනයා,
ඔයාගේ නැන්ද්ම්ම මාරයිනේ, මාරය කියන්නේ බොරුද? මඩද? කමක් නැහැ අපිට මොටද ඕවා.
නලිනි,
දවසක හදලා දෙන්නකො මහත්තයාට, බොහෝම ආදරේ වෙයි.
මාරයා මල්ලී,
ඇත්ත වගේ මටත් හිතෙන්නෙ, නැත්නම් මොකද ඔච්චර ජොලියක් ගියේ, ඉල්ලන්ම කන්නයි යන්නේ
මාතලං,
මට හිතුනා මඤ්ඛ්නං කියලා, ඒකම මේක දැම්මේ.
ධනුෂ්කා,
ඔබට ස්තුතියි. ටික ටික ලියන්නම්.
ඉඳුනිල්,
ඒකනේ කියන්නේ අපිට ටෙලිප්ති දැනෙනවා අපේ මිත්‍රයන්ගේ ඕනෑ එපාකම්.
තිරිසනා,
වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. ආවාට ස්තුතියි.
පොඩි කුමාරිහාමි,
මහන්සි වෙලා හැදුවත් පාඩු නැහැ.
බලන්නකො නිළමේතුමා හරි ආදරේ වෙයි.
නිහාල්,
ඔබ හරි ඕකනේ රටාව අපේ මිනිස්සුන්ගේ, ගිනිකාරමෙ කාලා පහුවෙනිදට දියබත ඇදලා අරිනවා. දෙය්යන්ගේ පිහිටයි ඉහෙන් බහින ලෙඩක් නැහැ.
අනිත්කොන,
කොයි කොනේ හිටියත් හදාගෙන කාලම බලන්න.
මම දැන් ටික කලකට කලින් අපේ නලිනි, ගිම්හාණී ඇතුළු මිතුරු මිතුරියන්ට පොරොන්දු වුනා අර ඌෂ්ණේ ලිපියට තව එකතු කරන්න. වැඩත් එක්ක ඒක ටිකක් මඟ හැරුනා ඉක්මනින් දෙන්නම් සරත් මහතාට පිලිතුරත් එහි තිබෙයි. මට දැන් ඔබ සැම මගේ ගෙදර අය වගේ. ඉතාම වටිනා මිතුරු මිතුරියන් කන්ඩායමක් ලැබුනේ. ඒ නිසා මම මීට පසු ලියන්න මාතෘකා ඉල්ලන්නේ ඔබෙන්. දැනට කියලා තිබෙන ටික ඉක්මනට ලියනවා. ඊට පසු මාතෘකා ඔබ ඉල්ලන්න. මම ලියන්නම්.
ReplyDeleteගිම්හාණී,
ස්ත්‍රී රෝග ගැන ඉක්මනට ලියන්නම්. ඒක මට ඉතාම පහසුයි. නමුත් නොලියැව්වේ වෙනත් හේතුවක් නිසා දැන් මඟ හරින්න බැහැ. ලියනවා.
දුකා,
ReplyDeleteඔබේ කමෙන්ට් එක දැක්කේ දැන්.
බොහෝම ස්තුතියි. ඔබකල හැම දෙයකටම ස්තුතියි.
අපේ වැඩිහිටියෝ දියබත් හදනවිට එයට හකුරු එකතු කරන්නේ නැහැ.ඒ වෙනුවට අමු මිරිස් කරලක් දෙකක් එකතු කරනවා
ReplyDeleteඇනෝ,
ReplyDeleteඔව් මෙකෙ එක එක වර්ෂන්ස් තියනවා, ඒ ඒ පලාත් අනුව. වෙන වෙන ලෙඩ අනුව වගේ. කිතුල් හකුරු දැම්මම ගැස්ට්‍රයිටීස් වලට හොඳයි. අමු මිරිස් දැම්මම බඩේ ඇතිවන ජීර්ණාබාධ වගේ දෙවලට තව ඉක්මනින් ආහාර දිරවීමට, වගේම රසයටත් වැදගත්.
කියන්නත් මොකක්ද වගේ..මම හිතාගන හිටියෙ අමු මිරිස් කියන්න ගුණයෙන් අඩු රස කාරකයක් කියලයි. අමු මිරිස් ආහාර දිරවීමට උදව් කරනවා කියන එක මට අලුත් අදහසක්. ( වෙද ගෙදරක් අවට ගැවසෙන එකේ වටිනාකම )
ReplyDeleteමාත් අද දියබත් කෑවේ අමු මිරිස් පොඩ්ඩක් හීනියට කපල දාලා. හකුරු එක්ක නෙමේ. ඒත් මම හිතන්නේ ගැස්ට්‍රයිටීස් තියන අයට අමු මිරිස් නැතුව කන එක හොද ඇති...
ReplyDeleteඅද ලිපියට ගොඩාක් ලලනාවොත් ප්‍රතිචාර දක්වලා.
ලලනාවෝ ඉන්න කොට කොතනත් සුන්දරයිනෙ. ලිපියේ අගයත් වැඩි උනා වගේ.........
නිළමේතුමෙක් තාම නැති හින්දයි කලින්ම හදලා බලන්ට හිතුවේ. හිටියානම් ඉතින් දියබත් විතරක් දීලා බේරෙන්ට හම්බවෙන එකක් නෑ.
ReplyDeleteඅපේ පොඩි කුමාරිහාමිට දියබත් කවන්ට නිළමෙක් ලැබේවා!!
ReplyDeleteදෙන දෙයක් ඊට පස්සේ අපි නැහැ ඕවට.
මාත් කාල තියෙනවා ගෑස් හැදුන වෙලාවක... අන්න කෑම. කන්නයි බොන්නයි.........
ReplyDeleteඅපේ ගෙදර නම් දිය බතට අමු මිරිස් කරලක් දෙකක් දානවා.
ReplyDeleteමැණික්
වෑදගත් ලිපියක් සහ කොමෙන්ටු පෙලක්... ස්තූතියි..
ReplyDeleteඅපෙ අම්ම දිය බත් හෑදුවම , කොල කෑඳ වලට තියන අකමෑත්ත නිසා එපා කියනවා :)
දෑන් නම් හිතෙනව අපි හොඳ දේ ඈඟේ ගහද්දිත් කාල නෑ නේද ඒ වෙනුවට කියලා ....
ගොඩක් ස්තූතියි
ඔය සෙම, පීනස තියෙන අයට හොද නෑ කියන්නෙ ඇත්තද.ගුණ වගේම අගුණත් ලියනවනම් හොදයි නේද..සහෝ..අර ගිම්හනිද කොහෙද කියල තිබුන නාල දියබත් කනව කියල.මට දැනෙන විදියට සිසිල+සිසිල = හෙම්බිරිස්සාව. හැම පැත්තම පැහැදිලි කරන්න..ජය වේවා..
ReplyDeleteමාත් හදාගෙන කන්න ඕන දැන්.........
ReplyDeleteකමෙන්ට් ටික කියෙව්වමයි දැක්කේ ගැස්රයිටිස් තියන සැහෙන කට්ටියක් ඉන්නවනේ...මමත් එයින් එක්කෙනෙක් තමයි. මේක ඒ ලෙඩේට හොඳයි කියලා අහල තිබුනත් මම වැඩිය ගණන් ගත්තේ නෑ නේ. හෙට ඉඳලා කරලා බලන්න ඕන. බොහොම ස්තුතියි ඔබ මේ කරන සමාජ සත්කාරයට.
ReplyDeleteරතු ලූනු කපල දාන්නෙ රෑ ද?.. මම අහල තියන විදිහට පහුවදා උදේම තමයි රතු ලූනුත් කපල ගන්නෙ!.. රෑ බත් එක්ක ලූනු දාල තිබ්බම අවුලක් වෙන එකක් නැද්ද?..
ReplyDeleteඒ වගේම ඕකට ගන්න වඩා සුදුසු හාල් වර්ග මොනවද?
තම්බපු හාල් ද කැකුළු හාල් ද?... රතු හාල් ද සුදු හාල් ද වඩා සුදුසු?
රතු ලූනු කපල දාන්නෙ රෑ ද?.. මම අහල තියන විදිහට පහුවදා උදේම තමයි රතු ලූනුත් කපල ගන්නෙ!.. රෑ බත් එක්ක ලූනු දාල තිබ්බම අවුලක් වෙන එකක් නැද්ද?..
ReplyDeleteඒ වගේම ඕකට ගන්න වඩා සුදුසු හාල් වර්ග මොනවද?
තම්බපු හාල් ද කැකුළු හාල් ද?... රතු හාල් ද සුදු හාල් ද වඩා සුදුසු?