Monday, November 26, 2012

සුඛාන්ත රතිය සහ සුරතාන්තය!!

මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්…………

නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………...

අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය.

මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන් මෙන් ම වෛද්‍යවරයෙක් ලෙසත් මගේ අත්දැකීම් මෙන් ම නිගමන ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙවැනි ලිපියක් ලිවීමේ දී අමතක නොකළ හැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ ඇමරිකානු ජාතික ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence). ඔබ නරබා ඇති දශක දෙකකට පමණ පෙර මෙරට තිරගත වූ Lady Chatterley's Lover චිත්‍රපටය . නමුත් මේ චිත්‍රපටය Lady Chatterley's Lover නවකතාව තරම් සුන්දර නැහැ. ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක් සිටිනවා. ඒ විජයපාල වික්‍රමසිංහ මහතා. මෙතුමා මේ ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.) ඉතා ගැබුරු වියත් ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මුල් පොත සරලව සුමට ලෙස මෙතුමා සිංහලයට පෙරළා තිබෙනවා. මා සතුව ඇති ඉතාම වටිනා සම්පතක් ලෙස මම මේ ග්‍රන්ථයන් දෙක සලකමි.

මවිසින් මෙහිදී සඳහන් කළ මේ ග්‍රන්ථය තරම් සජීවීව සුරතාන්තය විස්තර කළ අන් තැනක් මෙතෙක් මට සමු වී නැත. එයට ද යම් හේතුවක් තිබෙනවා. මිනිස් සංතානයේ පහළ වන ඉතාම ගැබුරු හැගීමක්, දැනීමක් වචන වලට පෙරලීමේ අපහසුවයි. එවැන්නක් කිරීමට භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙක් විය යුතුයි. එවන් උගතුන් දෙපළක් වන මේ අනුවර්තක සහ නියම කතුතුමාගේ අදහස අනුව සුරතාන්තය යනු මේ යැයි යම් දල අදහසක් ලබා ගැනීමට Lady Chatterley's Lover ග්‍රන්ථය පිටුවහල් වනවා.

දැන් අපි බලමු බුදු දහමට අනුව ලියැවී ඇති දේ පිළිබඳව, ඔබට මතක ඇති මෙයට සමාන ලිපියක් මම ටික කලකට පෙරත් පළ කළා.

ස්ත්‍රී රූපය තරම් පුරුෂයන්ගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් නැත. එසේම කාන්තාවගේ සිත ද ඇද බැඳ ගන්නා ප්‍රධානම රූපය නම් පිරිමි රූපයයි. තවද මෙය ශබ්ද, ගන්ධ, රස, සපර්ශ ආදී සියල්ලට ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද එසේමයි. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1960, පිටුව 2 - 5) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මේ විශේෂ ලබැඳියාව හුදෙක්ම ලිංගිකත්වය නිසාම පැන නැඟුණකි. ලිංගිකත්වයට පුද්ගලයා තුළ සහජයෙන්ම ඇතිවන මේ ලබැඳියාව හෙවත් තෘෂ්ණාව හේතුවෙන් භවයට ඇති ආශාව ද, ඇලීම ද, ඇති වේ. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ ම එන නකුල මාතා නකුල පීතා කථාවෙහි දී එම යුවළ ඊළඟ භවයේ දී ද එක් වීම ප්‍රර්ථනා කරයි. මේ ඇත්තෙන්ම ලිංගික බැඳීමයි.

අංගුත්තර නිකාය 05, ඉත්ථිබන්ධන සහ පුරුෂ බන්ධන නමින් සූත්‍රයන් දෙකක් සඳහන් වේ. මෙම සූත්‍ර දෙකෙහි අදහස වන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් බැඳෙන ආකාරයයි. බුදුන් වහන්සේට අනුව අට ආකරයකින් ස්ත්‍රිය සහ පුරුෂයා එකිනෙකාට බැඳේ. එම ආකාර අට නම්,
1. රූපයෙන් ස්ත්‍රිය සහ පුරුෂයා බැඳේ.
2. හසිතයෙන් හෙවත් සිනායෙන් මේ දෙදෙනා බැඳේ.
3. වචනයෙන් හෙවත් කථාවෙන් මේ දෙදෙනා බැඳේ.
4. ගීතයෙන් ද, මේ දෙදෙනා බැඳේ.
5. රොදනයෙන් හෙවත් ඇඬුමෙන් ද, මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
6. ආකල්පයෙන් හෙවත් අඳින පොරවන සළු පිළියෙන් ද මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
7. වනභඬගයෙන් හෙවත් වන මල් පළ ආදී තුටු පහටු වන දෙයින් ද මේ දෙදෙනා බැඳේ.
මේ සියල්ලටම වඩා තරව ස්ත්‍රි පුරුෂ බන්ධනය ඇති වන්නේ නම් පහසින්මය. එය අටවන අවස්ථාවයි.

කාමාස්වාදය යනු කවරේද?
මෙම මාතෘකාව බුද්ධ වචනය තුල බොහෝ වාරයක් භාවිතය. ඉන් කීපයක් මෙහි ඔබ වෙනුවෙන් දක්වමි.

(1) මනාප්‍රිය රූපදී ත්‍රෛභූමක වස්තුකාමය කැමතිවන ඒ සත්වහට ඉදින් ඒ වස්තුකාමය සමෘද්ධ වේ නම් හෙවත් (ලැබේ නම් ) ඒ ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇති වූයේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාදයයි. එනම් මෙහි අර්ථය වන්නේ "යම් මිනිසෙක් හැල් ආදි කෙත්වතු හෝ ගෘහභාවස්තු ආදී වතු අමුණු හෝ ගවයන් අසුන් දස්කම්කරු පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයින් හෝ වෙනත් මනාප්පීය රූපාදී බොහෝ කාම වස්තූන් ක්ලේශකාම වශයෙන් පුන පුනා ප්‍රාර්ථනා කෙරේද මේ ආස්වාදයයි". ( ඛුද්දක නිකාය නෙත්තිපකරණ, දේසනාහාර විභංගය, බු. ජ. ත්‍රි. 1960.)

(2) මජ්ඣිම නිකාය 03, පුණ්ණම සූත්‍රය, බු. ජ. ත්‍රි. 1960, පිටුව 116. සඳහන් වන රූපය නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදය උපදී එවැනිම වේදනා, සඥ්ඥා, සංස්කාර, විඤ්ඤාණයන් නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදයක් උපදී

ඉහත උදාහරණ දෙකෙන් අපට පැහැදිලි වන්නේ භෞතික වූ බඩු භාණ්ඩයන් මෙන්ම, ස්ත්‍රි ඇසුර, ස්පර්ශය, වැනි අත්දැකීම් වලින් ද අපට යම් සුවයක්, වින්දනයක්, ආස්වාදයක් ලැබිය හැකි බවයි.

(3) බුදුන් වහන්සේ විසින් දේශිත මජ්ඣිම නිකායේම එන සුභ සූත්‍රය මෙසේ පස්කම් සැපයෙහි ඇතිවන ප්‍රීතිය යම් පරිදි තෘණ කාෂ්ටෝපාදාන නිසා ගිනි දල්වා ද, ඒ ප්‍රීතිය එවැනියයි වදාරති. එනම් තෘණ කාෂ්ටෝපාදාන යනු සියුම් ඉන්ධනයන්ය. එවැනි දේ නිසා ඇතිවන ගින්න වඩා සෞම්‍යය. එම නිසා පස්කම් සැපය නිසා ඇතිවන ප්‍රීතියද සෞම්‍ය වේ.

බුදු දහමේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ උදාහරණ ඇතත් මේ ලිපිය වඩා කෙටි කර ගැනීමේ උත්සාහය නිසා මේ කරුණු පමණක් ඇතුළත් කරමි. මේ සියල්ලම එක්ව ගෙන සිතා බැලූ කළ අපට බුදු දහම අපගේ ඉහත මාතෘකාව පිළිබඳ දක්වන්නා වූ විග්‍රහය සබන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම උගහට වන්නේ නැත.

පුද්ගලයාට කාමය උපදන වස්තු ප්‍රධාන කොටස් කීපයකි. භෞතික වූ බෝග, වගා, ධන, ධාන්‍ය, ඉඩකඩම් වැනි දෑ ද, අභෞතික වූ ඇසට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, දිවට ප්‍රිය රස, නාසය ප්‍රිය ගන්ධ, කයට ප්‍රිය ස්පර්ශය ද, මනසට ප්‍රිය සිතුවිලි ද වශයෙන් ය. මේවා ඇති විට පුද්ගලයා සොම්නසට පත් වේ, ආස්වාදයට පත් වේ. සතුටට පත් වේ.

මේ අනුව සිතූ කළ පුද්ගලයාගේ ලිංගික තෘප්තිය හුදෙක්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, යන මේ ඉන්ද්‍රිය ප්‍රීණනය මුල් කර ගත්තක් බව පැහැදිලි ය. මේවා කාර්‍ය්‍යක්ෂම ලෙස පිනවීමට ලිංගික කාර්‍ය්‍යයේ දී සමත් වන පුද්ගලයා හොදින් ලිංගික තෘප්තිය ලබන අතර නොයෙක් හේතු මත ඒ අසමත් වන පුද්ගලයාට ලිංගික තෘප්තිය සම්පූර්ණ නොවේ. ලිංගික ක්‍රියාව නම් කාර්‍ය්‍යයේ දී පසිඳුරන් අවදිව තබා ගැනීම ඉතා අවශ්‍ය කාරණයක් බව අප දැනගත යුතුය. එනම් ඇස, කන, නාසය, මෙන්ම, දිව, සහ ශරීරය ද එක සේ මේ කාර්‍ය්යයේ දී එකාත්මික විය යුතුය. එමෙන්ම මනසින් සූදානම් වීම ද අතිශයින්ම වැදගත්ය. මනසේ සහභාගීත්වයක් නොමැතිව පසිඳුරන් පමණක් පිනවීමට යාම මේ කාර්‍ය්‍යය අසමත් කිරීමට හේතු වේ. එම නිසා අවදි මනසින්, අවදි පංචේන්ද්‍රියන්ගෙන් යුතු අය මේ දිනයි.

ලිංගිකත්වයේ ඉතාම වටිනා නීතිය නම් තමන්ගේ සැපය මෙන්ම අනෙකගේ සැපය පිළිබඳව ද, සැලකීමක් කිරීමයි. අප වැණි රටවල ඉතාම අඩු අවධානයකට ලක් වන අංශයක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය. හුදෙක් දෙදෙනෙක් සහභාගී වන මෙවැනි කාර්‍ය්‍යයක් කෙලෙසකවත් ආත්මාර්ථකාමී එක් පුද්ගලයෙකුගේ හුදු සැපය සදහාම වෙන් විය යුතු නොවේ. මෙහිදී තම සහකරු හෝ සහකාරියගේ සැපය පිළිබඳව ද යම් අවධානයක් යොමු කළ යුතුමය. තම ඉන්ද්‍රි‍යයන්ගේ අවදි බව මෙන්ම අනෙක් පාර්ශ්වයේ ඉන්ද්‍රියයන්ගේ අවදිබව පිළිබඳ සැලකීම ඉතා වැදගත්ය. එවිටයි නිසි ලිංගික ක්ෂාන්තිය දෙදෙනාටම ලබාගත හැක්කේ. මනා සිහියෙන් හුදු අදාළ කාර්‍ය්‍යයම පිළිබඳ සිහියෙන් පසිඳුරන් පහම පිනවීමට යොමු වීම දෙදෙනාටම අවසාන සුඛාන්තය ලැබීමේ එකම මඟයි.

අප බොහෝ විට මේ කාර්‍ය්‍යයේ දී ඇස්, නහය, කන අමතක කරයි. නමුත් ඒ ද ඉතා වැදගත් සංවේදනයන් ලබා දෙන ඉන්ද්‍රියයන්ය.

සහකරුගේ හෝ සහකාරියගේ පියවි රූපය හොදින් දැකීම ම උත්තේජනයේ ආරම්භය ලබා දෙයි. එය සවිශක්තිමත් උත්තේජනයක් වන්නේ එකකුගේ සිරුර අනෙකාට රසඳුනක් වුවොත් පමණය. කන ද ඉතාම වටිනා ලිංගික අවයවයකි. කනට ඇසෙන ශබ්ද (සුසුම්, මුණුමුනුවන්, කෙදිරීම්) එකිනෙකා නඟන ශබ්ද ඔවුනොවුන්ගේ රතියේ ඇති ගැබුර වැඩි කරයි. නාසය ද එසේමය, එකිනෙකාගේ ගන්ධය යනු ඉතා වටිනා ලිංගික උත්තේජනයකි. එය රති ක්‍රීඩාවේ දී ඉතාම වැදගත් අංගයක් බව දන්නෝ කීයෙන් කීයක් ද? නවීන විද්‍යාවේ දී සොයාගෙන ඇති ෆෙරොමෝන යනු මේ ගන්ධය ඇති කරන ලිංගික උත්තේජනයට වැදගත් වන සාධකයකි. ලිංගික ක්‍රීඩාවේ දී හැම විටම එහෙන් මෙහෙන් කෙරෙන සිප වැළද ගැනීම් ක්‍රමවත්ව එකිනෙකාගේ රසය උරා බීම දක්වා දියුණු කර ගැනීමට හැකි නම්, ස්පර්ශය එකිනෙකාගේ ශරීරවල සුඛස්පර්ශය නියමාකාරයෙන් ලැබිය හැකි ආකාරයට දියුණු කර ගැනීමට ඔබ දක්ෂ වුවොත් සුරතාන්තය එතරම් අපහසු ඉලක්කයක් කියා මට නම් නොසිතේ.

මෙම ලිපිය මා සිතුවාට වඩා දිග්ගැසුණත් මෙය එකම ලිපියක් ලෙස ලිවීම මැනවැයි මට සිතේ. එම නිසා තවත් කුඩා කොටස් කීපයක් මෙයට එක් කරනවාට ඔබ විරුද්ධ නැතැයි සිතමි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සම්බන්ධව ලියැවී ඇත්තේ කුමක් දැයි අපි සොයා බලමු. පළමුවෙන් මම නිතර කියවන මගේ හස්තසාර ග්‍රන්ථ කීපයෙන් එකක්වන චරක සංහිතා වේ එන තොරතුරු මෙසේ දක්වමි.

චරක සංහිතාව, ආර්. බුද්ධාස, (සිංහල අනුවාදය ), චිකිත්සිතාස්ථානය, සංයෝගශරමූලීය වාජීකරණපාද අධ්‍යායය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1960, පිටුව 455.

ආත්මවත් පුද්ගලයා නිතර වාජීකරණ ඖෂධ භාවිතා කළ යුතු බවත්, චරක මුණිවරයාම පවසා තිබෙන අතර මෙහි දී වාජීකරනයන් ලෙස ධර්ම, අර්ථ, ප්‍රීති, යශස යන මේවා සඳහන් කර තිබේ.

ස්ත්‍රියගේ රූපා දි එක එක ඉන්ද්‍රියාර්ථය පවා අතිශයින්ම ප්‍රීත්‍යෝත්පාදක බව ද, එසේ වූ කළ රූප, රස, ගන්ධ, ස්පර්ශ, ශබ්ද, යන සියල්ලේම එකතුවෙන් සෑදී ඇති ස්ත්‍රී ඇසුර කෙතරම් වේ දැයි එතුමා මෙහිදී විමසනවා. මෙහිදී ද සඳහන් කරන්නේ කාන්තා ඇසුර හුදෙක් අභ්‍යන්තර ලිංගික එක්වීමකට වඩා මුළු පංචේන්ද්‍රියන්ගෙන්ම විඳිය යුතු කාර්‍ය්‍යයක් බවයි. එවැනි ලිංගිකත්වයකට සුරතාන්තය යනු එතරම් අභියෝගයක් නොවන බවත් මින් හැඟවෙනවා.

චරක සංහිතාව ඉහත අධ්‍යායයේ දී ම වෘෂ්‍යස්ත්‍රිය හෙවත් කාන්තාව වාජීකරණයක් ලෙස දක්වන වැදගත්කම පිළිබඳ බොහෝ විස්තර සඳහන් කර තිබේ.
(1) ප්‍රීතිය ස්ත්‍රීන් කෙරෙහිම පවත්නේය. ධර්මය, අර්ථය, ලක්ෂ්මිය, හා ලෝකය(සසර ) ස්ත්‍රිය කෙරෙහිම පවත්නේය.
(2) ස්ත්‍රියගේ වාජීකරණ ලක්ෂණ. මනා රූ සපුව, යෞවනෝදය, යහපත් ලලනා ලක්ෂණ වලින් යුතු බව, අවනත බව, (ඉතාම වැදගත් කාරණයකි. සමහර කාන්තාවන් ලිංගික හැසිරීමේදී තමාගේ ඒ පිළිබඳ ඇති අනවබෝධය නිසාම අවනත භාවය අඩුය. එවිට සුරතාන්තය කෙසේ ලබන්න ද?)
(3) රති ශාස්ත්‍රයෙහි නිපුණ බව.
යන මේ ලක්ෂණ ඇති කාන්තාව අති ශ්‍රේෂ්ඨ වාජීකරණ ය යැයි දත යුතය.

දැන් චරක සංහිතාවේ ම සදහන් වන ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ගෙන එමි. මින් කාන්තාවකගේ වාජීකරණ ගුණ වැඩි කරගෙන පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනාට ම ප්‍රබල සුරතාන්ත රතියක් ඇති කර ගැනීමේ මඟ හෙළි කර ගත හැකිය.

(1) රූපදී ගුණයෙන් දෙදෙනා සමාන වීම.
(2) යම් ස්ත්‍රියක් ගේ වචනය, ක්‍රියාව, වයස, ආදියෙන් පුරුෂයෙක් ගේ හද පැහැර ගනී ද එවැනි ස්ත්‍රිය නිසා පුරුෂයා ද, එම ස්ත්‍රියද රතිය සුඛාන්තයක්ම කර ගනී.
(3) යම් ස්ත්‍රියක් පුරුෂයෙකුට උත්සවයක් බඳු ද, එම ස්ත්‍රිය ද රති සුඛාන්තය ලබයි.
(4) යම් ස්ත්‍රියක් පුරුෂයාගේ මනස හා සමාන මනසක ආශ්‍රය ස්ථාන ඇති ද එවැනි කාන්තාව ද,
(5) යම් පුරුෂයෙක් හා ස්ත්‍රියක් සමාන සිත් ඇත්තී ද,
(6) ස්ත්‍රිය පුරුෂයාට වසඟ ද,
(7) ස්ත්‍රිය පුරුෂයාට ප්‍රිය දේම කරන්නේ ද,
(8) යම් ස්ත්‍රියක් සකළෙන්ද්‍රියයන්ගේ ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් පුරුෂේන්ද්‍රියයන් බඳින මදුවක් වැනි ද,
(9) යම් ස්ත්‍රියකගේ වෙන්වීමෙන් පුරුෂයා ට රති රහිත වීමෙන් ලෝකය කාන්තාවන්ගෙන් සිස් යැයි හැඟේ ද,
(10) යම් ස්ත්‍රියක් නැති වීමෙන් පුරුෂයාට තම ඉන්ද්‍රියයන් හිස් ලෙස හැඟේ ද,
(11) යම් ස්ත්‍රියක් නිසා පුරුෂයාට, භය, නොඇල්ම, ශෝකය, උද්වේගය හෙවත් නොසන්සුන් කම යන මේ හැඟීම් පහළ නොවේ ද,
(12) යම් ස්ත්‍රියක් ලැබීමෙන් පුරුෂයා ප්‍රේම කතා කියයි ද,
(13) යම් ස්ත්‍රියක් දැක පුරුෂයා අතිශය හර්ෂයට පැමිණේ ද,
(14) නිත්‍ය අතිවේගයාගේ ආනන්දයෙන් අපූර්ව යැයි සිතා යම් කාන්තාවක් වෙත පුරුෂයා නිතර එළබෙන්නේ ද,
(15) යම් කාන්තාවක් හා විසීමෙන් පුරුෂයා ට ඇති වීමක් නොවේ ද,

මේ කාන්තාව පුරුෂයාට වාජීකරණයක් ම වේ.

දැන් මේ ලියවිල්ලේ අවසානයට පැමිනැත්තෙමි. මේ සියල්ලම සලකා බැලීමෙන් හැඟී යන ප්‍රධානම කරුණු කීපය පහතින් සඳහන් කරමි. ඒ අනුව ඔබගේ නිගමනයන්ද මම බලාපොරොත්තු වෙමි.

(1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.
(2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.
(3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.
(4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.
(5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.
(6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.


සුදනෙනි කිම වීරිය නොකරන්නේ?

Tuesday, November 13, 2012

අය වැය සහ දේශීය වෛද්‍යවිද්‍යාව.

ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය කෙරුවාවෙන්. නමුත් 2013 වසරෙදි පොඩි වෙනසක් මෙතුළ මම දකින නිසා ඒ මට වැදගත් වන නිසාත් තමයි අකුරු කරන්නට සිතුවේ.

එනම් මේ වසරෙදි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන සදහන් වී ඇති කරුණුයි. මම එකින් එක ඒ පෙළ ගස්වන්නම්……

සමස්ත අයවැය ගැන කියන්නට මම අපේ මහාචාර්‍ය්‍ය මාතලන් මෙන් ආර්ථික කටයුතු පිළිබඳ වියතෙක් නොවෙමි. එනමුත් 34.2 යෝජනාව පිළිබඳව පමණක් මෙසේ ලියමි.

යෝජනා අංක - 01

ගරු කතානායකතුමනි, වැඩි වෙමින් පවත්නා බෝනොවෙන රෝග නිවාරණය හා වැඩිහිටි සත්කාර සේවාවන් පවත්වා ගැණීමට දේශීය වෛද්‍ය පහසුකම් පුළුල් කරනවා.

මේ යෝජනාව 34.2 සමස්ත යෝජනාවේ හරය ලෙස සැලකිය හැකියි. එනම් බෝ නොවෙන රෝග රටේ වැඩි වැඩියෙන් පැතිරෙමින් පවතින බව රජය පිළිගැනීම සහ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඒ අඩු කිරීමට යම් ශාක්‍යතාවක් දරන බවත් මේ යෝජනාවෙන් රජය පිළිගෙන තිබෙනවා. එසේම ඒ හැකියාව වැඩිකළ යුතු බවද ඒ සදහා රජය සූදානම් බවද මින් ගම්‍ය වනවා. ඒ නිසා මෙවර 2013 වසරේදී එම කටයුත්ත ඉටු කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විවිධ නිලතල දරන්නන් සූදානම් වියයුතු බවත් මින් හැඟවෙනවා.

එයිට අමතර කොටසකුත් 34.2,අංක - 01 යෝජනාවේම තිබෙනවා. එනම් වැඩිහිටි සත්කාර සේවයයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව මේ සඳහා විශාල හැකියාවක් දරනවා. නමුත් අවාසනාවට ඒ පිළිබඳ යම් හඳුනා ගැනීමක් මෙතෙක් සිදු වී නැහැ. එම නිසා මාගේ බලවත් ප්‍රසාදය එම කරුණ කෙරෙහි දක්වනවා. අමතරව මම මෙසේද යෝජනාව සංශෝධනයකට ලක් කිරීමට කැමතියි. එනම් රටේ පැවතුණු මහා 30 අවුරුදු යුද සමයේ අංග විකලතාවට පත් වූ සහ වෙනත් ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් යම් ආයූර්වේදීය වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මේ වැඩිහිටි සත්කාර සේවය යටතේම ආරම්භ කිරීම සුදුසු බව මට පෙනෙනවා.

යෝජනා අංක - 02

එමෙන්ම පාරම්පාරික දේශීය ඖෂධ මෙන්ම වෛද්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ පාරම්පාරික වෛද්‍යවරුන් අයූර්වේද දෙපාර්තමේන්තුව හා ආයූර්වේද රෝහල් පද්ධතියට සම්බන්ධ කරමින් දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීමට ඉදිරි වසර 3 තුල ප්‍රමුඛත්වය දෙනු ලබනවා.

යෝජනා අංක - 02 යටතේ එන යෝජනාව ඉතාම කල්පනාවෙන් විග්‍රහ කළයුතු යෝජනාවකි. එනම් මෙහි පැතිකඩයන් කීපයක් පවතිනවා. අපි ඒ වෙන වෙනම ගෙන සලකා බලමු.

(1) පාරම්පරික දේශීය ඖෂධ සංරක්ෂණය කිරීම.
ඉතාම හොද යෝජනාවක්. මට මතකයි 1992 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආයූර්වේද දෙපාර්තමේන්තුව මඟින්, පැරණි ආයූර්වේද වට්ටොරු ග්‍රන්ථාරූඪ කිරීමේ ව්‍යාපෘතියක් පැවතුණා. එහි දී එකතු වූ දැනුම "තල්පතේ පිළියම්" නමින් ග්‍රන්ථ රාශියක් ලෙස එළි දැක්වුණා. මේ ව්‍යාපෘතිය වි. ජ. මු. ලොකු බණ්ඩාරයන්ගේ සමයේ වූවක් බව ද සටහන් කරමි.

එවැන්නක් නැවත ඇරබිය නොහැකිද? එසේ කරනවා නම් නවීන තාක්ෂණය යටතේ විශාල දැනුමක් ක්ෂේත්‍රයට එක්කර ගත හැකි බව මට නම් බොහෝ විශ්වාසයි.

(2) පාරම්පාරික වෛද්‍ය ක්‍රමය රැක ගැනීම.
කළ යුත්තේ එම දැනුම විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අවශෝෂණය කර ගැනීමේ ක්‍රමයක් ඇති කර ගැනීමයි. පාරම්පාරික වෛද්‍ය ක්‍රමය බොහෝ වටිනා වුවත් එන්න එන්නම එය පිරිහෙමින් පවතිනවා. එම වෛද්‍ය පීතෘවරුන්ගේ දරුවන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙමින් සිටිනවා. අනෙක නවීන තාක්ෂණය උපයෝගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වන විට ක්‍රමයෙන් හිස ඔසවමින් පවතිනවා. එම නිසා එම වෛද්‍ය දැනුම විශ්වවිද්‍යාල වෙත අවශෝෂණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් මේ යටතේ ඇරබීම සුදුසු යැයි මට නම් සිතෙනවා. ඒ සදහා එම වෛද්‍ය පීතෘවරුන් වෙත මුදල් හෝ වෙනත් යම් පහසුකම් ඔවුන්ට ඇවැසි ලෙස ප්‍රධානය කළ හැකි ක්‍රමයක් ඇති කිරීම වඩාත් සුදුසු යැයි මට සිතෙනවා.

(3) පාරම්පරික වෛද්‍යවරුන් දැනටත් සීමිත සංඛ්‍යාවක් ආයූර්වේද රෝහල් වල රාජකාරීවල යෙදෙනවා. එම ක්‍රමය හොද දෙයක් වුවත් මෙලෙස යම් නියාමනයක් නැතිව ඇති කරන ක්‍රමයක් ආයූර්වේදයේ හිත සුව පිණිස හේතු නොවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ මම ඉහත දී යෝජනා කළ පරිදි පාරම්පරික දැනුම එම වෛද්‍ය පීතෘවරුන් වෙත සාධාරණ වූ ප්‍රතිදානයන් සපයමින් ලබා ගැනීමයි.

(4) මේ යටතේ ගම්‍යවන තවත් කරුණක් තමයි ඉදිරි වසර තුනක් කාලයක් තුළ රජය ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේ යම් විශාල දියුණුවක් බලාපොරොත්තු වන වග. එසේ නම් ඔවුන් ඒ සදහා මේ යෝජනාව යටතේ තීන්දු කර ඇත්තේ පාරම්පාරික දැනුම ආයූර්වේද පද්ධතියට එක් කර ගැනීම තුළින් එය වේගවත් කිරීමේ උපක්‍රමයයි. මට හැඟෙන අයුරු මෙය ඉතා හොද අදහසක්, වැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගොඩනඟන්නට යන බවයි.

ඇයි මම එසේ කියන්නේ?

දැනටමත් පාරම්පාරික වෛද්‍යවරුන් යම් යම් සුවිශේෂී හැකියාවන් ඇති අය තම දැනුම විශ්වවිද්‍යාල වල සහ රජයේ රෝහල් වල සේවය කිරීම තුළින් ශිෂ්‍යයන් වෙත ලබා දෙමින් සිටිනවා. ඒ ක්‍රමයේ නොයෙක් ගැටලු තිබෙනවා. එම වෛද්‍ය වරුන්ට තම සේවයට නිසි අයුරු සැලකීම් සිදු වන්නේ නැති වග මම හොදින්ම දන්නවා. මේ යෝජනාව අනුව කළ යුත්තේ ඒ සේවාව ඔවුන්ගෙන ඔවුන්ට නිසි ගෞරවයෙන් ලබාගෙන, ලබාදෙන දැනුමට සරිලන ප්‍රතිලාභයක් ඔවුන් වෙත නැවත ලැබෙන අයුරින්, එසේ වුවොත් මෙය ඉතාම වැදගත් යෝජනාවක්.

යෝජනා අංක - 03

එබැවින් වෛද්‍ය සංරක්ෂණ යෝජනා ක්‍රමයක් මඟින් සුප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් එක් රැස් කර ශ්‍රී ලංකාවට ආවේණික දේශීය වෙදකම දියුණු කිරීමට යෝජනා කරනවා.

ඉහත අංක 2 යෝජනාවම නැවත වෙනත් අයුරකින් පැවැසීමක් මෙහිදී ද සිදු වනවා. එහිම සාරාංශගත අදහස නැවත මෙසේ පළකර තීබන බව පෙනෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති සැබෑ අර්ථය කුමක්දැයි මට දැනට නම් සිතා ගැනීමට අපහසුයි. විශ්වවිද්‍යාල තුනක සිසුන් දහසකට වැඩි ගණනක් වසරකට තම සේවය රටට ලබා දීමට සුදුසුකම් ලබනවා. ඒ අය අතරින් බොහෝමයකට රැකියා නැති තත්ත්වයක්ද තබාගෙන අයවැය ලේඛනයේ ඒ කිසිත් පිළිබඳ සඳහනක් නොමැතිව තිබියදී නැවත නැවත පාරම්පාරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය ගැනම පුනරුච්චාරණය කිරීම අයවැයකට සුදුසු දැයි මට නම් පැහැදිලි නැහැ.

අය වැය රජයේ ආදායම් වියදම් විස්තර සහ එන වසරේ තම රටේ ආර්ථිකය පවත්වා ගැනීමේ ප්‍රතිපත්ති ඇතුළත් කරන ලේඛනය විනා රැකියා සුලභ කරන ලේඛනයක් නොවේ යන්න මම පිළිගනිමි. නමුත් පාරම්පාරික වෛද්‍යවරුනට රැකියා ලබා දීමට විරුද්ධ නොවන අතර එය ලබා ගැනීමේ වාසිද ඇති බවත්, නමුත් එය කළ යුත්තේ නිසි නියාමනයකින් බවත් පැහැදිලිවම මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

මෙහිදී සුප්‍රසිද්ධ යන වදනින් හැඟවෙන වෛද්‍යවරු එතරම් දක්ෂයින් නොවීමටත් හැකියි. නමුත් අප යෝජනා කරන්නේ විනාශ වී යාමට ප්‍රථම සමහර දේශීය වෛද්‍යක්‍රම ආරක්ෂා කර ගත යුතු බවයි. ඒ සදහා වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී විශ්වවිද්‍යාල තුළ ඇති කිරීමෙන් මේ ගැටලුව පහසුවෙන් රටට වැඩදායක ලෙස විසඳගැනීමට හැකි බව නම් මට විශ්වාසයි.

යෝජනා අංක - 04

එමෙන්ම බෝ නොවෙන රෝග සම්බන්ධව බටහිර වෛද්‍ය වරුන්ගේද සහභාගීත්වයෙන් දේශීය වෙදකම් පිළිබඳ පර්යේෂණ දියුණු කිරීමට 2013 දී රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඉතාම හොද යෝජනාවක් සහ මම කැමතිම යෝජනාව මෙයයි. ආයූර්වේදයේ උන්නතිය රැදී ඇත්තේත් මෙතුළයි. නමුත් මට මතක හැටියට 2010 හෝ 2009 පමණ මේ යෝජනාව අයවැය ලේඛනයක් තුළ අන්තර්ගත වූවා. එවර මිලියන 100 ප්‍රමාණයක් මේ සදහා වෙන්වූවා. අලුත් මිලියන 300 ගැනීමට ප්‍රථම පරණ මිලියන 100 වූ දේ ගැනත් සොයා බැලිය යුතුයි. ඒ නිසි අයුරු ප්‍රයෝජනවත් ව්‍යාපෘතිවල යෙදවූවාද? නැතිනම් නැති නාස්ති වී ගියාද? ඉන් ඵල නෙළුවෝ කවුද? මේවා ගැනත් යම් අවබෝධයක් ඇතුවයි මෙවර ලැබෙන මුදල සදහා ව්‍යාපෘති සකස් කළ යුත්තේ.

මේ යෝජනාවෙන් කියා ඇති පරිදි දැනටත් අප පර්යේෂණ වල යෙදෙනවා. නමුත් අපේ අමාත්‍යාංශයවත්, දෙපාර්තමේන්තුවවත් ඒ නොදන්නා බව මම දනිමි. (නොදන්නා සේ සිටින බව.) යම් ආකාරයකින් මිලියන 300 න් මිලියන 5 පර්යේෂණ සදහා වියදම කරන්නට කැමැත්තක් ඇත්නම් ඒ අභියෝගය භාර ගැනීමට මම කැමැත්තෙමි. රසායන විද්‍යාව, උදිභිද විද්‍යාව, බටහිර වෙදකම යන අංශ වලින් පී. එච්. ඩී. උපාධි ලබාගත් පුද්ගලයන් හා සමග ලෝකයේ වෙනත් රටක විශ්වවිද්‍යාලයක් ද, අපේ ආයූර්වේද පර්යේෂණ ආයතනය ද, සම්බන්ධ කරගෙන ආයූර්වේද පර්යේෂණයක් සිදු කර ඒ පිළිබඳ ප්‍රතිඵල රටට දීමට මම කැමැත්තෙමි. සියලු පුද්ගලයන් සහ වෙනත් රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගැනීමේ හැකියාවද මට ඇත. වියදම දැරීමට කැමති නම් ඒ අභියෝගය මම භාර ගනිමි. ( අපේ ආයූර්වේද පර්යේෂණායතනයේ පහසුකම් සැපයීමත් ඒ අධීක්ෂණයත් රජය භාර ගන්නවානම් පමණක් මෙය සිදු කරන්නට හැකිබවට මම කොන්දේසියක් ද ඉදිරිපත් කරමි.)

යෝජනා අංක - 05

තත්ත්වයෙන් බාල බටහිර මෙන්ම ආයූර්වේද ඖෂධ වරග රට තුලට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ත්‍රෛභාෂා සටහන් සහිතව තත්ත්ව පාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

ඉතාම හොද අදහසක්. ප්‍රමිතිකරණය අපේ වැනි තුන්වන ලෝකයේ රටවලට ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් අපි ඒ ගැන යම්කිසි සැලකීමක් නැති වීම අපි අපහසුවෙන් ලබා ගන්නා ජාතික ධනය විනාශ වී යාමට හේතු වනවා. එම නිසා මේ පිළිබඳ ආයූර්වේද පර්යේෂණද ආයූර්වේදය තුළ වහාම සිදු විය යුතුයි. දින තුන්සිය හැටපහම වසාගෙන සිටින ඇතුළත ඇත්තේ කිමෙක්දැයිවත් නොදන්නා ප්‍රමිතිකරණ අංශයකින් නම් මෙය බලාපොරොත්තු වීමට වඩා ලෙහෙසියෙන්ම ඉබ්බන්ගෙන් පිහාටු ගත හැකි බවද අවසාන වශයෙන් මතක් කරමි.

ඒ වගත් මෙසේමයි!!!

Thursday, October 25, 2012

ඩිම්භ කෝෂවල අඩංගුවන සජීවී සහ ක‍්‍රියාකාරී ඩිම්භ සංඛ්‍යාව සරුභාවය සදහා බලපාන ආකාරය සහ ඒ පිළිබඳව ඇති ආයූර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම.

මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ.

මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ විවාහයන්ට. නමුත් මේ බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනා මේ සීමාවට පැමිණ නැතත් ඉක්මනින් එතැනට පැමිණෙන බව දන්නා නිසා ඔබට වැදගත් වෙයි මෙය.

මම කීපවිටකම කතා කළ මාතෘකාවක් තමයි මඳසරුභාවය.

මා ඒ පිළිබඳව ලිපි පෙළක්ම ලියා ඇති.

අපි දන්නවා දැන් දැන් ලංකාවෙත් මඳසරුභාවය ඉතා විශාල වශයෙන් පැතිරෙමින් පවතිනවා. මේ නිසා දුක්වෙන යුවළවල් බොහෝමයි. මේ අය වියදම් කරන මුදලට සරිලන සේවයක් මේ අයට ලැබෙනවද?

මට තිබෙන එක් ප්‍රශ්නයක් මේක. අපි වගේ රටවල් බොහොම අකමැතියි යම් රටාවකට හුරු වුනහම ඉන් මිදෙන්න. මෙහිදී අපි අලුත් දැනුම සොයා යන්නේ නැහැ.

කෙසේ හෝ මා ඉතා මෑතකදී ලබාගත් මේ දැනුම ඔබට ලබා දෙන්නේ මින් ඔබට, ඔබේ හිතවතුනට ලැබෙන සේවය අපමණ නිසයි.

1 හැඳින්වීම.
කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප‍්‍රධාන කාර්ය්‍ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලූ ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප‍්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප‍්‍රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප‍්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක‍්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක‍්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.

මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක‍්‍රියාකාරීත්වය නවතී.
මෙම ක‍්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප‍්‍රති මුලේරියන් Anti-Müllerian hormone හෝමෝනයේ අඩු වීමයි.

2 ප‍්‍රති මුලේරියල් AMH හෝමෝනය යනු කුමක්ද?
මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප‍්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප‍්‍රති මුලේරියන් හෝමෝන ප‍්‍රමාණය ඇයගේ සක‍්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.

3 සජීවී ක‍්‍රියාකාරී ඩිම්භ සෛල අඩු වීමට ගොදුරු විය හැක්කේ කුමන ආකාරයේ කාන්තාවන්ද?
මෙවැනි අය බොහෝ විට,
1. ආර්ථවහරණය කලින් සිදු වීමේ පවුල් ඉතිහාසයක් දරයි.
2. ඩිම්භ කෝෂ වල යම් යම් ශල්‍යකර්ම සිදු කල කාන්තාවන්.
3. එන්ඩොමේට්ට‍්‍රියෝසිස් නමැති රෝගය ඉතාම දරුණු ලෙස ඇති කාන්තාවන්.
4. විකිරණ ප‍්‍රතිකාර වලට ලක් කිරීමකට භාජනය වූ කාන්තාවන්.
නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.
5. අවුරුදු 38 අඩු කාන්තාවන් අතරින් මේ අවදානමට ලෙහෙසියෙන්ම ලක් විය හැක්කේ සමාජ, ආර්ථික සහ පෞද්ගලික හේතු මත දරු උපත් පමා කළ කාන්තාවන් මේ උවදුරට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැකියි.
6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප‍්‍රතිකාර ක‍්‍රම වලට යොමු වූ කාන්තාවන්
7. අවුරුදු 40 වඩා වයස් ගත වූ කාන්තාවන්.
8. වයස අවුරුදු 40 වඩා වයස් වූ නමුත් දරු උපත් බලාපොරොත්තුවෙන් ප‍්‍රතිකාර ලබන කාන්තාවන්. ( ඩිම්භ මෝචනය කෘතිමව උත්තේජනය කරනු ලබන කාන්තාවන්.)

4. මෙවැනි රොගීන් බොහෝ විට ඇති වන්නේ හේතු කීපයක් නිසයි.
1. විවාහ වීමට කාලය ගත වීම.
2. විවාහ වී එක්වරම දරුඵල අපේක්ෂාවෙන් කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රම භාවිතා කිරීම.
3. පුරුෂ මඳසරුභාවය ඇති විට ඒ සඳහා ප්‍රතිකාර නොකර කාන්තාවන්ට කරන උත්තේජන ප්‍රතිකාර මගින් දරු සම්පත් ඇති කර ගැනීමට තැත් කිරීම.
4. නොයෙක් හේතු මත නළදරු උපත් වැනි ක්‍රමවලට අඩු වයසින් භාජනය වී කාන්තා හෝමෝන සාන්ද්‍රනය කෘත්‍රිමව වෙනස් කිරීම.


5. ප‍්‍රති මුලේරියන් හෝමොන තිබිය යුතු සාමාන්‍ය අගයන් වන්නේ,
1. සාමාන්‍ය අගය නැනෝග‍්‍රෑම් පර් මිලි ලීටර් 0.7 සිට 3.5 දක්වාය.
2. 0.3 සිට අගය අඩු විමේදී ඩිම්භ වල සඵලතාවය නැති වේ.
3. 0.3 - 0.7 දක්වා අගය වන්නේ සඵලතාවයේ අවම මිම්මයි.
4. අගය 3.5 සිට 5 දක්වා සඵලතාවයේ ඉහළ අගයයි.
5. අගය 5ට වඩා වැඩි වීමේදී එය අවදානම ඉහළ අගයක් වේ. එනමුත් පොලිසිස්ටික් අවස්ථාවේදී මේ ඉහල අගය ඇති වීම යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි අවස්ථාවකි.

6. මේ තත්ත්වය සදහා ආයූර්වේද ප‍්‍රතිකාර තිබේද?
පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප‍්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA (Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක‍්‍රමානුකූල ආයූර්වේද ප‍්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.


යම් කාන්තාවකගේ ඔසප් චක‍්‍රය ඉතාමත් අක‍්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක‍්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් කරනු ලබන ප‍්‍රතිකාර වලට සුදුසු අයයි.

Tuesday, October 16, 2012

හොද මී පැණි හඳුනා ගැනීම.

පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව.

අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා මේ අයට යම් දැනුමක් ලබා ගත හැකි ලෙස හොද මී පැණි සොයා ගන්නා ආකාරය පිළිබඳ ලියන්න.

මුලින්ම මට වුණු සිද්ධි දෙකක් කියන්නම්. ඔබ දන්නවද දන්නේ නැහැ. හසලක පැත්තෙ තිබෙන ඉතාම පිටිසර ප්‍රදේශයක් තමයි බලවර්ධන ඔය කියන්නේ.

1999 කාලෙදි මම මහනුවර තමයි රැකියාව කළේ. එවකට මගේ තනතුර වූයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආයූර්වේද නිෂ්පාන. මට තිබූ විශාලම ප්‍රශ්නයක් තමයි මේ හොද මී පැණි සොයා ගැනීම. අපි බොහෝ කාලයක සිටම මී පැණි ලබා ගන්නේ මේ බලවර්ධන ඔය සිටින ඉස්කෝලෙ මහත්තයා නමින් හැදින් වූ අයෙක්ගෙන්. එතුමාගේ මී පැණි වලට ගහන්න මී පැණි මම අද වනතෙක්ම දැකලා නැහැ.

අපේ ආයතනයේ සභාපති තුමා මට මේ පුද්ගලයවම හදුන්වා දුන්නා මී පැණි ගැනීම සදහා. ඒ ගමන් හරිම විනෝදජනකයි. කෙසේ හෝ මම මාසයකට වරක් යා යුතුයි මේ මී පැණි ගනුදෙනුව සදහා. මී පැණි කිලෝ දහස් ගණනක් ආවාට ගියාට මිලදී ගෙන යම් නාස්තියක් වුවොත් මම ගස්. ඒ නිසා මේ වැඩේට මමම යනවා. දිනක් මම බලවර්ධන ඔය යනවිට ඉස්කෝලෙ මහත්තයාගේ කඩේ ඉදිරියේ වැදි පෙනුමැත්තෙක් කණුවකට තබා බැද තිබෙනවා. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කොළඹම සිටි මට මේක මහ ප්‍රශ්නයක්.

ඉස්කෝලෙ මහතයගෙන් මේ ගැන අහපු මට ලැබුණු උත්තරේ තමයි මේ.

" අපේ මහත්තයා මූ වැද්දෙක් නෙමේ මූ සිංහලයෙක්. මුලු වැදිරැහැම දන්න මාව රට්ටන්න මූට බැහැ. මේ මිනිහ මී පැණි ගෙනාවා වඳ පිටින්. මම බලාපුවහම ඔක්කොම වඳ පරණ වද කලින් මිරිකල පැණි අහක් කළ ඒවා. මූ කොහෙන් හරි පැණි නැති වඳ හොයන් සීනී වතුරේ වඳ පොඟවලා ගෙනත් මාව රට්ටන්න"

මෙහෙම කියලා දුන්න අර මිනිහට පයින් පාරක්. එතකොට මේක කෑගහනවා මරන්න හදනව වගේ. මට දැන් මාරම ජොළි වැඩේට.

ඔන්න මී පැණි එක කතාවක්. තව එකක් මම කලින් කියා ඇති අර සීනි දියකළ ජලය ටැංකි වලට පුරවා මැස්සන් ලවා ට්‍රාන්ස්පෝට් කළ කතාව. එය මතක ඇතැයි සිතනවා.

ඔන්න ඔහොමයි අපේ මී පැණිවල කොලිටිය.

නමුත් ඔබේ පැනයට මා පිළිතුරු සැපයිය යුතුයි. ඒ නිසා මා දන්නා සාම්ප්‍රදායික ක්‍රම ගැන අපි කතා කරමු.

මේ ලිපිය ලියන්න මම කතා කළා, වර්තමානයේ ආයුර්වේද විද්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාව, සහ ඉන්දියාව දෙරටේම ආයූර්වේද උගතෙක්, බුද්ධිමතෙක් ලෙස ප්‍රසිද්ධ වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමාට. මෙතුමා මගේ ගුරුවරයෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක්.

එතුමාත් සමගත් කතා කළ පසුවයි මේ ලිපිය ම'විසින් ලියනු ලබන්නේ.

(1) ක්‍රමය
මී පැණි ගින්නට ඇල්ලූ විට පිළිස්සෙන ද්‍රව්‍යයක්. හොද මී පැණිවල ජලය නැහැ. එනිසා එය ගින්නට ඇල්ලූ විට දැල්විය යුතුයි. නමුත් මට ඇති ප්‍රශ්නය පලතුරු වලට කාබයිට් දැමීමට තරම් කුරිරු සමාජය ගින්න දැල්විය හැකි යමක් කලවන් මී පැණිත් සමග එකතු නොකරයිද???

(2) ක්‍රමය
ඊළඟ ක්‍රමය වන්නේ, මී පැණිත් ජලයට එක් කිරීම. මී පැණි බිංදු කීපයක් පිරිසිදු ජලය අඩංගු වීදුරුවකට දැමූ විට එම පැණි බිංදු කීපය වීදුරුවේ අඩියට කිඳා බැසිය යුතුයි. මෙහිදීත් මිනිසාට හැකියාවක් තිබෙනවා යම් වංචාකාරී ක්‍රමයකට මේ පරීක්ෂණයෙන් බේරීමට.

(3) ක්‍රමය
මෙයත් වංචාකාරීන්ට සකස් කළ හැකියි. එනම් සාමාන්‍යයෙන් මී පැණි අවුන්ස 24 බෝතලයක් එනම් මිලි ලීරර් 750 ප්‍රමාණයේ බෝතලයක අඩංගු මී පැණිවල බර 1කිලෝ ග්‍රෑම් විය යුතුයි.

(4) ක්‍රමය
තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක කරන්න තරම් අපි පොහොසත්ද ? හැකි නම් කරලා බලන්න. මී පැණි බල්ලන් නොකයි. මී පැණි ස්වල්පයක් බල්ලන්ට දුන් විට නොකනවා නම් ඒ පිරිසිදු මී පැණි වේ. බල්ලන්ට මී පැණි කවන්න ?????

මීට අමතරව විද්‍යාත්මකව මී පැණිවල විශිෂ්ට ගුරුත්වය මැනීම, මී පැණිවල අඩංගු රසායන ද්‍රව්‍යවල සංයුතිය මැනීම වැනි ක්‍රමද මේ සදහා උපයෝගී කරගත හැකියි.

මේ කිසිදු ක්‍රමයක් නොමැතිව පළපුරුද්ද, දැකපුරුද්ධ, සහ අතහුරුව ඇති අයට මී පැණි හඳුනා ගැනීම බෙහෙවින් පහසු වැඩකි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යංශය මේ ගැන යම් අවධානයක් යොමු කිරීම වටී. යම් නිර්ණායකයක් ඇති වනවා නම් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුනටද පහසුවකි.

සෑම මිනිසෙකුටම තමන් වියදම් කරන මුදලට සරිලන සේවයක් හෝ භාණ්ඩයක් ලැබීම සදහා අයිතියක් ඇත. ඒ ඉටුකරදීම රජයක වගකීමකි, යුතුකමකි.

Friday, October 12, 2012

සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි.

මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න.

ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ ඉන් කෙනෙක්. ඔබට ස්තුතියි දේශකයා. ඔබ කලණ මිතුරෙක්....

"හිතවත් මහවෙදනෙනි, ඔබගේ ගැඹුරු ලිපි එනතුරු වෙද ගෙදර පාළුවට නොයවන්න. ඔබගේ ශාස්ත්‍රය ලිපි වෙනම ටැබකට ගොනු කර උඩින්ම කියා ඇති පරිදි ඔබගේ පාරම්බෑම් ‍මෝඩකම් පුරසාරම් වලින්ද වෙදගෙදර ‍පුරවන්න. එවිට බුලත් විටක් හපන්නට‍ හෝ නට්ටිය එනු ඇත. ඔබ කියන්නේ පුරමසාරම් වැඩි පුර තියෙන බවක් නිසා ඒවා වැඩි පුර යොදන්න. අප ඒ සියළු දේ බැලීමට සුදානම්. ඔබ අත්කර ගෙන ඇති තත්වය වර්ධනය කර ගැනීමට මාගේ අවංක අදහස ප්‍රකාශ කළෙමි. සිතු දෙයක් කිරීම ඔබ සතුය. අවාසනාවට මාද පෝස්ට් 20 ක් පමණ ලියා ඇතත් තවම කියවන ප්‍රමාණය අඩුය. එසේ හෙයින් ඔබව කියවන අය අඩු කර නොගන්නේ ‍නම් හොද බව හගිමි. මෙම ‍කමෙන්කටුව පලකිරීම අවශ්‍ය නොවේ."

ඔබ දැන් දන්නවනේ මගේ රැකියාවේ විස්තර එතකොට මගේ වෙන වෙන කටයුතු පිළිබඳව. ඒ නිසයි මේ පමාව. නැතිනම් හපන්කම්, පුරසාරම්, සහ මෝඩකම් වලින් මගේ කෝෂ්ඨාගාරය පිරිල තිබෙන්නේ. ඉන් කොටසක්වත් ඔබ හමුවට ගෙන ඒමම මට මහත් සතුටක්.

අපි බලමු දැන් මී පැණි ගැන.....
ඔබ කියවා ඇති විද්‍යාචක්‍රවර්තීහුගේ බුත්සරණ කාව්‍යය. එය ඇරබෙන්නේ මෙසේයි.
"සුවයෙහි මිහිරි දන්නා දුක් හි දැඩිකම් දන්නා"
එහිම තවත් තැනෙක,
"නව බග සඳක් මෙන් මිහිරි වන්නා කැමති.....සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි"
මේ ආදී ලෙසින් සරල වූත් ඉතාමත් සුගම පද මෙහි පබඳෑ ඇත.

බුදුන් සරණ යාමෙන් සත්පුරුෂයනට ආධ්‍යාත්මික මිහිරකුත්, බැහැරි සිතන, දකින, අයට තමන් මිහිරි වන නියායෙකුත් එම පද වලින් පැහැදිලි කෙරේ.
එනම් ඇස, කන, නහය, දිව, ශරීරය යන මේ පසිඳුරන් සතප්පන, පිනවන, සනසන, සියල් දෑ මිහිරිය.
මිහිරට නොකැමැත්තෙක් සොයා ගැනීම ම උගහටය.

මලින් බර වසන්තය මී පැණි වලින්ද ආඪ්‍යය. එනිසා වසන්තය මංගල්‍යය කාලයකි. මහා කවි කාලිදාසයෝ සෘතු සංහාරයෙහි වසන්ත සෘතුව මෙසේ වර්ණනා කෙරෙති.
"ප්‍රඵුල්ල චූතාඬ්කුර තීක්ෂණ සායකො ද්විරේඵමාලා විලසධනුර්ගුණඃ
මනාංසි භේත්තුං සුරතප්‍රසඬ්ගිනාම් වසන්තයෝධඃ සමූපාගතඃ ප්‍රියේ!

තවත් තැනෙක,

ද්‍රමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං ස්ත්‍රියඃ සකාමඃ පචනඃ සුගන්ධිඃ
සුඛාඃ ප්‍රදේෂා දිවසාශ්ච ර්‍යාඃ සර්වං ප්‍රියේ! චාරුතරං වසන්තේ"

"සොඳුර! සුපිපි අඹමල් නැමැති ඊ ඇති මී මැසි පෙළ නැමැති බබළන දුනුදිය ඇති, වසන්තයෝ තෙමේ රති කෙළියෙහි ඇලුනවුන්ගේ සිත් බිඳින්නට සපැමිණි යේ ය.

සොඳුර! වසන්ත කාලයෙහි සැම දෙයම අතිශයින් මනහර ය. වෘක්ෂයෝ සුපුෂ්පිතයහ. ජලාශයන් පියුමින් යුක්ත ය. කාන්තාවෝ රති කෙළියෙහි ලොල් යහ. සුළඟ මල්සුවඳින් අමෝදිත ය. මෙසේ වසන්තයේ සියලුම දේ මනහර යහ.


මිනිසා පමණක් නොව සියලු සත්වයෝ මිහිරට බොහෝ කැමතිය. මිහිරි සෑම දැයටම මී පැණි උපමා යැ. ගී සිංදු කනට මී පැණි දමනා සේ සමහරුනට මිහිරිය. තවකෙක්ට බුදු බණ එපමණකටම මිහිරිය. පිළිස්සුණු කයට මී පැණි තැවරීම ම සැපකි. බිඳක් ඇස ලෑමෙන් ඇසේ පෙනීම තවත් පෑදේ. මිපැණි ඉඳුරන් සනසයි. මතුද නොව ජරා මරණ දෙකද ඈත් කරයි. එබැවින් මී පැණි සැබවින්ම අමෘතයකි.

මී පැණි වනාහී මී මැස්සා නැමැති කුඩා පතඬ්ගයෙක් විසින් මල්වලින් එකතු කර ගන්නා යුෂයෙන් නිපදවන අර්ධ ඝන ස්‍රාවයකි. මිනිසා මව් කුස පිළිසිඳ ගත් දින සිට අවසන් හුස්ම හෙළනා තෙක් දිවි ගමනේ නොයෙක් අවස්ථාවලදී මී පැණි ඔහුට උපකාරී වේ.

මිනිස් කලලයේ හදවතෙහි රිද්මය ආරක්ෂා කර ගැනීමට ඉතාමත් විශ්වාසදායී ඖෂධයකි.

මී පැණිවල රසානික සංයුතිය මෙතනින් බලා ගන්න පුළුවන්.

මෙතනිනුත් පුළුවන්.

ඔන්න මේකත් බලලමු ඉමුකො.

තව විස්තර ඕනෙනම් මේකත් බලන්න පුළුවන්.

අපේ බ්ලොග් කාරිණියන් අතර සිටින පළපුරුදුම මනා හැකියාවක් ඇති අංක එකේ බ්ලොග් කාරිනියක් වන සොදුරු සිත මගෙන් කළ ඉලීමක් තමයි මේ ඉටු කරන්නේ.

හොදින් වියලාගත් තදින් වැසිය හැකි පිරිසිදු ජෑම් බෝතලයක් ගන්න. එහි 1/3 පමණ ප්‍රමාණයක් මී පැණියෙන් පුරවා ගන්න. එයට පිරිසිදු කරගත්, පොතු ඉවත් කළ සුදු ලූණු ගෙඩි බික් ගලවා දමන්න. භාජනයෙන් මී පැණි සහ සුදු ලූණු සියල්ලම මුළු පරිමාවෙන් 2/3 විය යුත්යි. ඉතිරි ප්‍රමාණය හිස්ව තබන්න.

දැන් මේ භාජනය හොදින් වසා දින කීපයක් තබන්න. මී පැණිවල ඝන තත්ත්වය අඩු වී එය දියාරු වූ පසු දිනකට එක් සුදු ලූණු බික බැගින් දිනපතාම උදේට හිස්බඩ ආහාරයට ගන්න. මෙය දිනපතා කිරීමෙන්,

1. ශරීරය කෙට්ටු කර ගැනීමට හැකියි.
2. හදවතේ බලය වැඩි වේ.
3. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැක.
4. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.
5. මලබද්ධයෙන් තොරව දිනපතා උදේ ශරීරකෘත්‍යයට විශාල පහසුවක් ඇති කරයි.
6. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම දියුණු කරයි.
7. උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් එන අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් හිතකරයි.
8. ජීවාණු වලින් ආරක්ෂා කරයි.
9. චිර ජීවනය ලබා දෙයි.

අත්දුටුවයි…... සත්තයි…….

___සතුට ඇති කරයි_____!!!!!