Sunday, July 31, 2011

වැට දඬු බැඳ අටු කොටු පුරවමු!

මුලින්ම කියන්න ඔනෙ මම මේ දෙවල් ලියන්නේ අපි හෙට ඉඳලා මේවා කලොත් එන අවුරුද්දේ කිරි ඉතිරෙනවා කියන හැගීමෙන් නෙමේ. මම කියන්නේ මේ දෙවල් අපේ විද්‍යාව. අපි මේවා නවීන විද්‍යාවට අනුව හැඩ ගස්සගමු. අඩු ගානේ තව අවුරුදු 10 - 20 අතර කාලෙකදි අපේ දරුවෝ ලෝකයේ දෙපයින් නැඟී සිටියි එතකොට. අපි කාටවත් ණය නැති, බර නැති කෙලින් රටක් වෙයි. ඔය මොන ජගතටවත් අපි බය නැතිව කෙලින් මුහුන දෙයි. කෙටි කාලීනව යෝජනා හදාගෙන දිගුකාලීනව අපේම වුනු විද්‍යාවක් නවීන විද්‍යාවයි අපේ පාරම්පාරික දැණුමයි එකතුකරලා හදා ගමු කියන එකයි මගේ අදහස.

අපි දේශීය දැණුම කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියන කාරණය ඉතාම බරපතලව පැන නඟිනවා. බොහෝ විට අපිට හිතෙන්නේ මේ ආදී කාලීන මිනිසා නොදියුණු කාලේ එදිනෙදා තමන්ගේ ජීවිත ගැට ගහගන්න යොදා ගත්ත දැණුම කියන එක. එහෙමත් නැත්නම් අවිද්‍යාත්මක අකාර්ය්‍යක්ෂම අතීත දැණුම කියන එක. එහෙම නේද ඒත් මේවා ගැන අපි විශාල වශයෙන් අවබෝධ කරගෙන නැහැ. අපිට හිතෙන්නේ අපි දැන ඉන්න සමාජයේ තිබෙන නවීන විද්‍යාව තමයි ලෝකෙ තියන ඉහල දැණුම කියන එක. හැබැයි ඒක අර්ධ සත්‍යයක් විතරයි.

මගේ දැක්ම අනුව නම්, මට හිතෙන්නේ අපි මේ කථා කරන්නේ පද්ධති දෙකක් ගැන. එකිනෙකට වෙනස් සමාජ තලයන් දෙකක, වෙනස් කාලවල, වෙනස් අවශ්‍යතා මත ඇති වුනු, වෙනස් විදියට ස්වභාව ධර්මය අවබෝධ කර ගත්ත, වෙනස්ම පරිසර තත්වවලට මුහුන දෙන, මිනිසුන් කොටස් දෙකක් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න අවශ්‍ය දැණුම භාවිතයට ගන්න පෙලඹුනු ආකාරයන් තමයි අපි මේ සංසන්දනය කරන්න යන්නේ. නමුත් මේ නවීන විද්‍යා ලෝකය තවම ගෙවන්නේ තමන්ගේ ජීවිතයේ පලවෙනි වසර දහස. අපි මේ දෙශීය දැණුම කියන විද්‍යාවන් මේ ගෙවන්නේ තම ජීවිතයේ මොන අවධියද කියන්න ජගතෙක් මේ ලෝකෙ නැහැ.

ඒ නිසා පලමුවෙන්ම කියන්න ඕනෙ දේශීය දැණුම නවීන දැණුම එක්ක සංසන්දනය කරන්න එපා. ඒක හරිම නිෂ්ප්‍රයෝජන වැඩක්. අපි බලන්න ඕනෙ මේ දැණුමෙන් මිනිස් සමාජයට, මේ ලෝකයට යම් යහපතක් වෙනවද කියලා විතරයි. අපි මේ දැණුම පද්ධති දෙකම අපේ ප්‍රයෝජනයට ගන්න අවශ්‍යයි. එතකොට තමයි මිනිස් සමාජයට එන අභියෝග වලට (අඩු ගානේ ශ්‍රී ලාංකික අපිටවත්) පිලිතුරක් සොයාගෙන යන්න පුළුවන් වෙන්නේ.

දැන අපි බලමු දේශීය දැණුම කොහොමද ගොවිතැනට යොදා ගත්තේ කියන කාරණය.

පුරානයේ ගොවිබිම ඉදිවූයේ හැම විටම වනාන්තරයක් ආශ්‍රයෙන්මයි. නමුත් ඒ නිසා ගොවිතැනට වන සතුන්ගෙන් නොයෙක් බාධක පැණ නැගුණි. එපමනක්ම නොව යම් යම් රෝග, පලිබෝධ හානි, වලින්ද ගොවියාගේ අස්වැනනට හානි සිදු විය. මේ නිසා ඔහු හැම විටම මේවාට සුදුසු පිලියම් යෙදීය. ඒ පිලියම් පරිසර හිතකාමී විය.

1. කල් යල් බලා ගොවිතැන කිරීම.
ගොවි බිම සකස් කිරීමේ සිට අස්වැන්න ගෙට ගැනීම දක්වා සියළුම දේ නියමානුකූල කාල සටහනකට අනුව, නිසි කලට වේලාවට සිදු කරනු ලැබීය. එනම්, එවිට කාලගුන විපර්යාස වලින් සිදුවන අනතුරු, කෘමි උවදුරු, ලෙඩ රෝග, වැනි දේ අවම කර ගැනීමේ හැකියාව ලැබිනි. පසේ සාරවත් භාවය, වර්ෂාව යන මූලික සාධක දෙක ඉතා වැදගත් නිසා මසේ කල් යල් බලා කරන ගොවිතැන ඉතා ප්‍රවේසම්කාරී විය.

උදාහරන. අධික ලෙස ජලය අවශ්‍යවන මඩ වී ගොවිතැන වර්ෂා කාලය හා සම්බන්ධ කර ඇත. ඒ අනුව රටේ වර්ෂා රටාව අනුව බලා යල මහ ගොතැන කන්න දෙකක් හදුන්වා දී ඇත. ජලය අඩුවෙන් භාවිතාවන තල, ඉදල් ඉරිගු වැනි බෝග ජලය අඩු කාලයට සීමාකර තිබිනි. අහසේ වලාකුළු රටාව, කුරුල්ලන්, වැනි සතුන්ගේ හැසිරීම රටාව අනුව කාලගුණ අනාවැකි කීම ගැමි ගොවියාට එකල ඉතා සුළු කටයුත්තක් විය. නමුත් අද තාක්ෂණයත් සමඟ අපි ලබා ඇති දියුණුව නිසා මේ කල් යල් බලා වගා කිරීම එදාට වඩා අදට පහසුය. එවිට ස්වභාවික රටාවට හානියක් නොකර ඉතා ඉහල අස්වැන්නක් ලබා ගත හැකිය.
බොහෝ විට පමා වී වැපුරූ කුබුරු වලට කූඩිත්තන්ගේන් වන හානිය වැඩි බව ගොවි මහතුන්ගේ මතය. නමුත් මේ දැණුම අපි ප්‍රයෝජනයට ගැනීමට පර්යේෂණ කර නැති බැවින් අපි ඒම දැණුමට සිනා ව්මින් ඊලඟ කන්නයත් විනාශ කර ගනියි. දැන් කාලය පැමිණ ඇත, මෙවැනි පැරණි ක්‍රම අත්හදා බලා ප්‍රයෝජන ඇතොත් ඒ අනුගමනය කිරීමද නැතහොත් අතහැර දැමීමද වියදම් යන වැඩක්ද?

නවීන ක්‍රම හා මෙවැනි ක්‍රම අතර මිශ්‍ර ක්‍රමයක් අපට ගැලපේ යැයි මගේ කල්පනාවයි.

2. වගා ආරක්ෂණ ක්‍රම භාවිතය.
එදා හෙලදිව ගොවියා තම ගොවි බිමෙහි සිදුවන නොයෙක් වෙනස් වීම පාලනය කරනු වස් විවිධ ආරක්ෂන ක්‍රම යොදා ගත්හ. මෙවැනි ක්‍රමෝපායන් කීපයක් මෙසේය.
(1) කෙම් ක්‍රම. ආකාර තුනකි.
1. යාන්ත්‍රික ක්‍රම.
2. උපක්‍රමික ක්‍රම
3. අන්තරීක්ෂ සහ අධ්‍යාත්මික බලය යොදා සිදු කරන ක්‍රම.
(2) කරණ භාවිතය.
ඉතා පැරණි ක්‍රමයකි. ප්‍රධාන ආකාර දෙකකි.
1 සිංහ කරණ
2 දිවි කරන
මේවා භාවිතයෙන් වැට බැදීම, තවාන් දැමීම, පැල සිටුවීම, වැඩ ඇල්ලීම ආදිය සිදු කිරීමෙන් වගාව ආරක්ෂා කරගත් හැකිය යන්න මින් අදහස් වේ. මගේ කල්පනාව නම් මෙවැනි ක්‍රම බැලූ බැල්මට අවිද්‍යාත්මක වුවත් නවීන පරීක්ෂණ ක්‍රම වේදයන් අනුව මේවා ගැන නැවතත් සොයා බැලිමට කාලය පැමිණ ඇති බවයි. ඒ මන්ද යත් අපි අවුරුදු දහස් ගනනක අතීතයක් තිස්සේ මේ ක්‍රම මඟින් අපේ රටේ කෝටි ගනනක ජනතාවට කුසට බත සපයා ඇති නිසයි. නමුත් විද්‍යාව දියුණු මේ යුගයේ එය අපට දැන් දැන් මහා අමාරු කාර්ය්‍යයක් බවට පත් වෙමින් ඇති නිසාත්ය.

3. මිශ්‍ර බෝග වගාව.
එකවර බෝග කීපයක් වගා බිම තුල සිටුවීම. මින් අමතර වාසි බොහොමයක් අත් වේ. කෘමි උවදුර අවම වේ. රෝග වලක්වා ගැනීමේ හැකියාවද උපරිමය. මින් පසේ සරුබව දීර්ඝ කාලයකට ආරක්ෂා වීමද සිදු වේ. මේ ක්‍රමයට පලතුරු, එළවළු, පළාවර්ග, අල, වැනි දෑ සිටුවිය හැක. මෙහිදී වගා බිමේ පසට ගැලපෙන, එම පලාතේ දේෂගුනයට, සහ එම බෝග අතර තරඟකාරීත්වය අවම වන ලෙස බෝග තෝරා ගැනීමට ගොවියා වග බලාගනු ලැබීය.

මෙම ක්‍රමය අදටද ඉතා ගැලපෙන අතර හේන් ගොවියා ඉතාමත් සාර්ථකව යොදාගනු ලබයි. නමුත් අපිට සිදු වී ඇති සන්තෑසිය වන්නේ මෙවැනි දේ ගැන සොයා බැලීමට අප ජනතාවගේ මුදලින් උගන්නා අපේ දරුවන්ට අදාල ක්ෂේත්‍රයේ රැකියා නොමැති කමයි. මම පෞද්ගලිකව දන්නා කරුණක් නම් මෙවැනි පර්යේෂණ වලට යෙදවීමට සිටින තරුණ කෘෂි උපාධිධාරීන් විශාල ගනනක් එක්කෝ අදාල ක්ෂේත්‍රයේ නොවන ක්ෂේත්‍රවල රැකියා කරණ අතර ඉතිරි කොටසට රැකියා නොමැති බවයි. තවත් සුළුතරයක් විදේශ රටවලට ගොස් සිටිනා බවයි. තරුණ ශ්‍රමය විදෙස් ගත වීම මගේ දෘෂ්ටියෙන් නම මම අනුමත කරමි. හේතුව ඉන් අපට විදෙස් පුහුණුව සමඟ විදේශ විනිමයද ලැබෙන බැවිනි. තව දුරටත් උපාධිධාරීන් පිට රට යවන ක්‍රම ඇති වෙනවා නම් හොඳ බව මගේ කල්පනාවයි.

4. කාබනික වැටි බැදීම.
ගොවිතැන ආරම්භයේ සිටම අස්වැන්න නෙලා ගන්නා තෙක් බලපාන ප්‍රධානම සාධකයක් වන්නේ පසයි. පසේ ස්වභාවය වැඩි අස්වැන්න ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපායි. එනම් සාරවත් පසක් අස්වැන්න ප්‍රමාණය වැඩි අතර පස නිසරු නම් අස්වැන්නද අඩු වෙයි. එකම බිමක දිගු කාලීනව වගා කිරීමෙන් එම බිමෙහි සාරවත් භාවය ක්‍රමයෙන් වියැකී යයි. ඒ සඳහා යොදා ගනු ලැබූ ඉතාම හොඳ පිලිතුරක් ලෙස වගා බිමෙහි කාබනික වැටි භාවිතය සැලකිය හැක.

බෑවුම් සහිත පොලවේ කරන වගා වලදී පාංශුඛාදනය ඉතාමත් බැරෑරුම් ප්‍රශනයක් වේ. මේ සඳහා ඉතාමත් හොඳ පිලිතුරක් මේ කාබනික වැටි බැදීම ලබා දෙයි. එනම් වගා බිමේ නිපදවෙන කාබනික අතිරික්ත ද්‍රව්‍යයන් මේ වැටි බැදීමට යොදා ගනී. කොම්පෝස්ට් සෑදීමට යොදා ගත නොහැකි අපද්‍රව්‍ය මෙසේ වැටි ආකාරයෙන් වගා බිමේ තැන්පත් කිරීමෙන්, එම කාබනික වැටි දිරාපත් වීමෙන් පසට කාබනික පොහොර, ඛනිජ ද්‍රව්‍යයන් ආදිය අඛන්ඩව ලබා දෙමින් පස සාරවත් කරයි.

5. පුරන් කිරීම.
දිගටම එකම බිමක වගා කිරීමෙන් පසට වන හානිය වලකාලීම මෙහි අරමුණය. එවිට යම් කාලයක් පසට විවේකයක් ලබාදීම මින් සිදු වේ. වගාව නිසා පසේ පෝෂක කොටස් නිරන්තරයෙන් පසෙන් ඉවත් වේ. තවද පසේ භෞතික, රසායනික, මෙන්ම ජෛව සාධකවල සමබරතාවද මින් විනාශ වේ. එසේම නිරන්තර වගාව නිසා කෘමි ව්‍යාප්තියද වැඩිවේ. මේ සියල්ලට පිලියම ලෙස එදා ගොවියා යොදා ගත්තේ යම් කාලයක් පසට විවේක දීම හෙවත් පුරන් කිරීමේ ක්‍රමයයි. එසේම මෙම පුරන් සමයෙහි වගා බිමේ රනිල ශාක සිටුවීමද කරනු ලබයි.

6. කොම්පෝස්ට් භාවිතය.
වර්ථමානයේ කරනු ලබන රසායනික පොහොර භාවිතය අතීත කාලයේදී නොකල නිසා පසේ සාරවත් භාවය රැක ගත්තේ කෙසේද?
මෙවැනි ප්‍රශ්න අපිට ඇති වූවාට ගොවියා ඉතාමත් බුද්ධිමත් ලෙස මේ ගැටළුවට පිලිතුරු සපයාගෙන ඇත. එනම් පසේ ජීවීභාවය ආරක්ෂා කරගනිමින් පස සාරවත් කිරීමේ ක්‍රමවේදයක් වන කොම්පෝස්ට් භාවිතයයි. රසායනික පොහොර භාවිතයෙන් පසේ සාරවත් භාවය තාවකාලිකව ඇති වුවත් පසේ ජීවී භාවය නැති කිරීමට හේතු වෙයි. නමුත් කොම්පෝස්ට් නිසා පස නිතරම එයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සාරවත් කිරීමට අමතරව, එහි ජීවී භාවය පවත්වා ගැනීමටද හේතු වී ඇත.
මෙහිදී පසට ඉතා වැදගත් මෙහෙයක්,
1 දිරායන ශාක කොටස්,
2 දිරායන සත්ව කොටස්
3 ක්ෂුද්‍ර ජීවීන් නිසා සිදු වේ. එනම් පසට පෝෂණය ලැබීම සහ පසට පෝෂණය ඇති කර ගැනීමට උදව් දීම යන කාරනාවන්ද සිදු වේ.

7. බෝග මාරුව.
එකම බෝගය එකම බිමේ සෑහෙන කලක් වගා කිරීමෙන් එම බිමෙහි පසට ඉතා විශාල පෝෂක හානියක් සිදු වේ. මේ නිසා එයට පිලිතුරක් ලෙස ගොවියා සකසා ගත් ක්‍රමය වන්නේ මෙම බෝග මාරුවයි. මේ අනුව නොයෙක් අල වර්ග, රනිල බෝග, ආදිය වරින් වර වගා කිරීම සිදු කරන අතර එමගින් පසේ සාරවත් භාවය රඳා ගැනීමට විශාල පිටු බලයක් ලැබේ.
බෝග මාරුව නිසා පසේ තිරසාර පැවැත්ම මනා ලෙස රැකේ. උදාහරනයක් ලෙස ගත් විට,තක්කාලි, මිරිස්, දුම්කොල, ආදිය එක දිගටම වගා කල බිමක ඉහත ක්‍රම අනුගමනය කරමින් රනිල බෝග වගා කිරීමක් නොකලොත් එම පසේ නැවත වගා කිරීම දුෂ්කර වන අතර එම බෝග හිටුමැරීමේ රෝගයට ගොදුරු වේ.

දැන් අපි වගාවන් සඳහා මූලික කරුණු ගනනාවක්ම කථා කලා.

ඔබට පෙනෙනවා මෙම ක්‍රම ස්වභාවික තත්වයන්ට එරෙහි නොවූ එම ස්වභාවිකත්වයම අනුගමනය කරමින් සාදාගත් ක්‍රම බව.

නමුත් මට ඇති ගැටළුව මේවා ඇයි අපිට භාවිතා කල නොහැකි? අපිට කෘෂිකර්ම උපාධි දෙන විශ්ව විද්‍යාල ගනනාවක්ම තිබෙනවා. රැකියාවට මිනිසුන් තනනවාට වඩා මෙවැනි ජාතික ප්‍රශන ගැන යම් හැදෑරීමක් කිරීමට අපි පුරුදු වෙනවා නම්, මම හිතන්නේ පැරණි ගොවියාගේ මේ ක්‍රම වැඩි දියුණු කරලා අපේ රටේ මිනිසුන්ගේ බඩ ගින්න නිවන්න අපිට පුළුවන් වෙන දිනය වැඩි ඈතක නෙමේ.

ඒත් කවද අපි පටන් ගන්නේ?????

අපි ආයිත් හිතමු.

මේ කථාව නැවතත් කියනවා ලඟදීම ඒත් හෙට නෙමෙයි.
ජය!!!!

Thursday, July 28, 2011

අපිට වැරදුනු හැටි හෙවත් ඈත මෑත කෘෂි ඉතිහාසය.

වැඩ ටිකක් වැඩි වූ නිසා අද මට විවේකය අඩු වුනා කෘෂි කර්මය පිලිබඳ ලිපිය ලියන්න. ඒත් මොනතරම් වැඩ තිබුනත් අද අපේ මාතලන් ගොයියාගේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ලිපිය සමඟ ඉතාමත් කැමැත්තෙන් එක් වුනා. ඊලඟට සොදුරු සුව අසපුවට සිදු වූ අකරතැබ්බයත් ගැන සවස තමයි දැන ගත්තේ. එයත් මගේ සිතට වදයක් වුනා. ඉතාම වටිනා බ්ලොග් අඩවියක් කෙසේ හෝ එම ප්‍රශ්නයත් දැන් අවසන්.

අද ඉඳන් මම ආයිත් රෑට පාඩම් කරනවා. අනේ මේ වල පයයි ගොඩ පයයි, තාම වැඩ තියනවා. ඒ අතරම මේකත් ලියන්න හිතුවා. එතකොට හෙට වැඩ ගොඩක් කරන්න වෙලාව ඉතිරි වෙනවා.

අපි මුලින්ම බලමු කෘෂි රසායනික කියන එකේ අදහස," මිනිසා විසින් නිපදවන ලද,
(1) වල් පැලෑටි විනාශ කරන රසායනිකයන්,
(2) කෘත්‍රිම පොහොර,
(3) වගාවට හානි කරන කෘමීන් විනාශ කිරීමට යොදා ගන්නා රසායනිකයනුත් යන මෙම රසායනික කෘත්‍රිම සංයෝගයන් (පලිබෝධ නාශක.) කෘෂි රසායනිකයන් වේ.

නවීන විද්‍යාවේ බොහෝ ජග්‍රහන හිමි කරගත් 1960 දශකයේ ලෝකය පුරා පැතුරුනු හරිත විප්ලව සංකල්පයට අනුව ප්‍රධානම වෙනස්කම් කීපයක් කෘෂි කර්මාන්තයේ ඇති විය.
1. රසානික පොහොර භාවිතය මඟින් අස්වැන්න වැඩි කිරීමට හැකි වීම සහ පොලවේ නිසරු බව නැති කර ගැනීමෙන් ඕනෑම තැනක් වගා බිමක් කර ගැනීමට හැකියාව ලැබීම නිසා වගාවට අවශ්‍යය බිම් ඉඩ වැඩියෙන් ලැබීම.
2. නොයෙක් කෘත්‍රිම ක්‍රම මඟින් (ජාන විද්‍යාව වැනි දියුණු ක්‍රම මඟින්.) වැඩි අස්වනු ලැබෙන, රෝග වලට ඔරොත්තු දෙන වඩා කාර්යක්ෂම ශාඛ දර්ශක වගාවට හඳුන්වා දීම.
3. ගොවි බිම් වෙත මිනිසා පෙරදී දැක්වූ සැලකිල්ල එපමනටම අවශ්‍ය නොවීම. එම නිසා ඒ ඒ අවස්ථාවලදී අදාල රසායනික වර්ගය වගා බිමට ලබා දීම පමණක් සෑහිනි.

නමුත් 60 දශකය ගෙවී 70 දශකය ලෝකයේ විද්‍යාත්මක දියුණුවේ ප්‍රායෝගික යුගය බවට පත් වීමත් සමඟ ඉහත කෘෂි රසායනවල මිල ක්‍රමයෙන් ඉහල යාමට පටන් ගති.
(1) 80 දශකය වෙත්දී, ගොවි බිම වැඩි ප්‍රමානයක් කෘත්‍රිම පොහොර භාවිතයෙන් තොරව භාවිතා කල නොහැකි තරම් රසායනික පොහොර භාවිතයට හුරු වී තිබීම විශාල ප්‍රශ්නයක් වීම.
(2) පලිබෝධ නාශක වලින් ලැබෙන ප්‍රයෝජන සීමා වීම යන නව ප්‍රශ්න ඇති විය. නව පලිබෝධනාශක හැම විටම අවශ්‍ය වීම.
(3) වඩාත් පොහොර යෙදීමත්, වසරින් වසර මේ යොදන ප්‍රමානය වැඩි කිරීමට සිදු වීම.
(4) කන්නයෙන් කන්නය වෙනස් පලිබෝධ නාශක භාවිතයට ගැනීමට සිදු වීමෙන් ගොවි තැනට යෙදිය යුතු ප්‍රාග් ධනය ඉතා වැඩි ප්‍රතිශතයකින් ඉහල යාම යන නව ප්‍රශ්ණ වලටත් කෘෂි ක්ෂ්‍රේත්‍රයට මුහුන දීමට සිදු වීම.

වඩාත් ලාභ ලබා ගැනීමේ අරමුණින් එක පලිබෝධ නාශකයක් ගැලපෙන්නේ එක් පලිබෝධකයෙකුට හෝ කිප දෙනෙකුට යන සංකල්පයෙන් මෙම රසායනිකයන් නිපදවන සමාගම් ක්‍රියා කිරීම නිසා ප්‍රාග්ධන ප්‍රශ්නය උග්‍ර ගැටළුවක් බවට පත් වීම. ඒ අතරම අධි අස්වැන්න ලබාදෙන ශාඛ දර්ශවලට මේ කෘත්‍රිම රසායනිකවල සහාය නොමැතිව වර්ධනය දුෂකර වීම යන පැහැදිලි බාධකයන් 70 අවසාන භාගය සහ 80 දශකය පුරාම මිනිසාට ඇති වූ ඉමහත් තර්ජනයක් විය.

එනම් අධි අස්වනු ලබාදෙන ශාඛ දර්ශක රසායනික සංයෝගවල සහායෙන් තොරව ලෙඩ රෝග වලින්, සහ කෘමීන්ගෙන් මෙන්ම පොහොර භාවිතයෙන් තොරව වර්ධනය වීම, අස්වැන්න ලබා දීම දුෂ්කර වීම මෙහිදී සිදු විය.
මෙවැනි හේතු නිසා වගාවන් සඳහා යන අමතර වියදම බොහෝ සෙයි උග්‍ර වීමෙන් දුප්පත් ගොවි ජනයාට තව දුරටත් වගාව කර ගැනීමට නොහැකි තත්වයක් උදා විය. දැන් අපි සිටින්නේ එවැනි ප්‍රශ්ණවල උපරිම තත්වයක් ඇති යුගයකය.

ආසනික කථා සත්‍ය හෝ අසත්‍ය වුවත් වගාව තව දුරටත් දුප්පත් ජනයාට කල හැකි මට්ටමක නොතිබෙන බව නම් බොහෝ පැහැදිලිය. එම නිසා මෙම ලිපි මාලාවෙන් මම අදහස් කරන්නේ අපේ පැරන්නන් තම වගාවන් කල ආකාරය කෙසේ දැයි යන මගේ දුප්පත් දැණුම බෙදා දීමටයි.

ඔබ අසා තිබෙනවාද කුඹුර කියන වචනය ඇති වූ සැටි. මේක 100% ඇත්තද කියන්න මම දන්නේ නැහැ. ඒත් මේක තමයි ජනශ්‍රැතිය.
ඔබ අහලා තියනවානේ අපේ මහා රාවණා අධි රාජ්‍යයා, මෙතුමාගේ මල්ලී තමයි කුම්භකර්ණ කියන්නේ. මේ කුම්භකර්ණ මාස හයක් එක දිගට නිදියනවලු. ඔහු ඇහැරෙන්නේ මාස හයකින් පමණලු. ඉතිං මේ අතරෙ ඇහැරෙන්න නම් රාවණා විශේෂයෙන්ම කිව්වොත් විතරලු. ඔය රාම රාවණා යුද්ධෙ අතරෙදි ඒ වගේ අවස්ථාවක් හරිම ලස්සනට විස්තර කරනවා රාමායනය නිකම් ඉන්න වෙලාවක කියවලා බලන්න.

(කුම්භකරණ මාස හයක් අයියා ලඟ රාජ්‍ය සේවයේත් මාස හයක් ඈත පිටිසර ගොවිතැනේත් ඉන්න නිසා තමයි මම හිතන්නේ ඔහු මාස හයක් නිදියනවා කියන්නේ. ඒ අයියා ලඟ නැති කාලය නිදියන හෙවත් රාජ්‍ය සේවයේ නොමැති කාලය ලෙස මම දකිනවා. )

කොහොම හරි මේ කුම්භකර්ණට ඒ නම වැටෙන්නේ ඔහු උපතින්ම කන දෙකට පැලී තිබූ නිසාලු. කුඹු (කැඩුණු/ බිඳුණූ) + කන් = කුඹුකන් = කුම්භකර්ණ ලෙස තමයි මේක හැදිලා තියන්නේ.
මේ කුම්භකර්ණ ජීවත්වෙලා තියන්නේ රාවණා රජතුමා සිටි ලංකා පුරයට බොහෝ ඈතින් අපේ නැගෙනහිර පලාතට අයත් වන කුබුක්කන් ඔයබඳ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා ලෙසයි.
ඒ පලාතේ තිබූ ප්‍රධානම ජල මාර්ගයට ඔහුගේ නම තමයි දමා ඇත්තේ "කුඹුක්කන් ඔය" ලෙස.

මොහුගේ තිබෙනවා විශේෂත්වයක් ඒ තමයි කෘෂිකර්මයට තදින් පෙම් බැදීම. ඒ නිසා ඔහු ඉතාමත් ක්‍රමානූකූලව වගා බිම සකස් කරන විදිය ලෝකයට ඉගැන්නුවා කියල තමයි ජන කථාවල සඳහන් වෙලා තියන්නේ. ඒ අනුව තමයි අපි අදත් කුඹුර සකස් කරන්නේ. ඒ නිසාලු කුඹුර කියන නම වැටුනේ. මේ කියන කුම්භකර්ණගේ තිබෙනවා විශේෂත්වයක්, ඔහු තමයි අපේ රාම රාවණා යුද්ධයේ සංකේතය වුනු සීතාගේ පියා. ඒ නිසා තමයි ඇය පොලවෙන් උපන් කුමරියක් ලෙස හැදින්වෙන්නේ. පොලවට පෙම්බැඳි මිනිසාගේ දියණිය කියන අර්ථය තමයි ඉන් ගම්‍ය වෙන්නේ. දැන් අපේනවා නේද රාවණා කාගෙවත් කුමරියක් පැහැර ගත්තේ නැහැ. තම ඥාති දියණියට වූ අසාධාරණයට එකට එක කලා පමණයි කියා. ඒ කථාව පස්සේ…………...

දැනට සලකන්නේ ලෝකයේ වී ගොවිතැන ආරම්භවෙලා තවම අවුරුදු 12000 - 10000 අතර කාලයක් තමයි ගතවෙලා තිබෙන්නේ කියායි. ඒ චීනය කොරියාව පකිස්ථානය වැනි රටවල පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව. නමුත් කළණිය විශ්ව විද්‍යාලේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කල පරීක්ෂණයකට අනුව නුවර එලිය සානුවේ දැනට අවු 20000 පෙර අපේ වී බීජ හදුනාගෙන තිබෙනවා. මේ අනුව ඔබට පැහැදිලි වෙන්නවා ඇති අපි මේ අවු 40 - 50 විතර කාලයක් තිස්සේ අපේ අවුරුදු 20000 විතර කාලයක් ක්‍රමයෙන් දියුණු වුනු වී වගාව විනාශ කර ගත්තා කියන එක. මම අහලා තියනවා මේ වෙනකොට ඉතා දියුණු රටවල ඒ කියන්නේ ඇමරිකාව වගේ රටවල අපි වගේ රටවල් අතීතයේ ප්‍රයෝජනයට ගත් වී නිදර්ශක එකතු කරලා තියාගෙන සිටිනවා කියලා. හැබැයි මේකෙ තිබෙන ව්‍යාපාරික අරමුණ කොහොම වුවත්, මෙහෙම හරි මේ දෙවල් ප්‍රවේසම් වුනු එක ගැන නම් මම සතුටු වෙනවා.


අපි එහෙනම් පොඩි විවේකයක් අරගෙන තව දිනකින් කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. ඒ කියන්නේ අපේ කෘෂිකාර්මික පාරම්පාරික දේශීය දැණුම ගැන. මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි නැතිව අපේ කථාව අංග සම්පූර්න නැහැයි මම සිතනවා. එහෙනම් හෙට හරි අනිද්දා හරි කෙලින්ම කථාව........

Tuesday, July 26, 2011

"අපේ කෘෂිකර්මයේදී භාවිතා කල දේශීය දැණුම"

ජනගහනය වැඩි වීම ලෝකයට දරාගත හැකිද? "පූර්විකාව"

මේ අදහස මට කියවන්න ලැබුනේ මහාචාර්යය ගුනපාල ධර්මසිරි මැතිතුමා විසින් ලියන ලද "The Nature of Medicine" ග්‍රන්තයෙන්. මෙතුමා මම කලක් ලගින්ම ආශ්‍රය කල ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්. දැන් මෙතුමාව සම්බන්ධ කර ගන්න හරිම අමාරුයි. ඉතාම අප්‍රකටව ජීවත් වෙනවා. විශාල සේවයක් කල උතුම් මිනිසෙක් ලෙස මම සලකනවා. පුළුවන් නම හොයාගෙන කියවන්න වටින පොතක් එහිම සිංහල පරිවර්ථනයකුත් තියනවා. "වෛද්‍ය විද්‍යාවේ ස්වභාවය" කියලා. හැබැයි මේ දෙක එකම පොත නෙමේ. සමහර විශාල වෙනස්කම් තියනවා.

මෙතුමා කියනවා ජනගහනය වැඩිවීම පිලිබඳ අදහස එක්තරා ආකාරයක පිපුරුම් වාදයකට සමානයිලු. එනම් මිනිසා ජනගහනය වැඩි වීම ගැන කියන කථාව එකම මිත්‍යාවක්ලු. මේ පොතේ කියන මේ කාරනය ගැන අපි හිතුවම අපිටත් හිතන්න වෙන්නේ ඒක ඇත්ත තමයි කියලා නේද? අපි බැලුවොත් ලංකාවේ අනුරාධපුර කාලේ ගැන මම අහලා තියනවා රුහුණු රාජ්‍යයේ ගෙදරක වහලකින් කුකුලෙක් ගොඩ වුනොත්, එම සතාට වහලෙන් වහලෙට පනිමින් අනුරාධපුර අගනුවරින් බිමට බසින්න පුළුවන් තරම් ගෙවල් තිබුනලු. සාමාන්‍යයෙන් සලකනවා ජනගහනය කෝටි හතරක ප්‍රමානයක්වත් ඉන්න ඇති කියලා. ඒත් මේ මුළු අවුරු දහස් ගනනක ඉතිහාසය පුරාම විශාල නියඟ කාල කීපයක් හැර අපේ රටේ මහා විශාල සාගත ඇවිත් නැති තරම්. කවදත් මිනිස්සු බඩගින්නේ හිටියේ නැති බවට සාක්ෂි ඕන තරම් තිබෙනවා.

මේ පොතේ 178 (English Edition page 139) පිටුවේ තිබෙනවා මෙහෙම කොටසක්. අපේ ලෝකය ඉතා අඩු ජනගහනයකින් පිරී පවත්නේය. මේ මුළු ලෝකය සියළු සම්පතින් පිරී පවත්නේය. අප විසින් ප්‍රයෝජනයට ගෙන අවසන් කල නොහැකි තරමට සශ්‍රීකය. මේ කාරනය ඔබට නැවතත් පැහැදිලිව කියවන්න පුළුවන් මේ පොතෙන්. France Lappe and Collins with Cary Fowler, FOOD FIRST, BEYOND THE MYTH OF SCARCITY.
එසේනම් ඇයි ලෝකයේ මෙතරම් ජනගහනයක් කුසගින්නේ පෙලෙන්නේ?
මාචාර්යය ගුනපාල මැතිතුමා කියනවා,
(1) අපි මේ සම්පත්වලින් 3/4ම පාවිච්චි කරන්නේ යුද්ධ කරමින් ලෝකය විනාශ කරන්න.
(2) ඉතිරියෙන්ද වැඩි හරියක්ම නාස්තිකාර සහ අර්ථ ශූන්‍ය ලෙස කෙරෙන ආත්ම තෘප්ති කිරීම සඳගා වැය කෙරෙයි. ( සමහර ගෙදරක ඇති කරන බල්ලෙක් වෙනුවෙන් වැය කරන මුදල තවත් ගෙදරක දිනක වැයයි.)
(3)ලෝකයේ ඇති ධාන්‍ය ප්‍රමාණයෙන් 2/3 ම යෙදවෙන්නේ සත්වාහාර වෙනුවෙනුයි. එම සතුන් ඉන්පසු මස්, කිරි, බිත්තර නිපදවති. එමගින් මිනිසුන්ට ප්‍රෝටීන් සහ මේද බහුල ආහාර වේලක් සපයති. මේ නිසා ඇතිවන අධි පෝෂණ තත්වයන් නිසා වන සෞක්‍ය ගැටළු විසදීමට මොන තරම් වියදමක් අපිට දරන්නට සිදුවේද?
(4)තවදුරටත් ගත්තොත් අපි ආහාර දාමයේ අඩු ශක්ති ප්‍රභයන් නිපදවීමට ඉහල ශක්ති ප්‍රභවයන් නාස්ති කරමින් මේ කරන්නේ විකාරයක් නොවේද?
(5) මේ අකාර්ය්‍යක්ෂම පරිවර්ථන ක්‍රියාවලිය නිසා වන හානිය නිසා කී දෙනෙකුට තම ආහාර වේල අහිමි වන්නේද?

ක්‍රිස්ටෝපර් හැලෝවල් මෙසේ පවසයි, ලෝක ආහාර අහේනියට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආහාර නොමැතිකමට වඩා තිබෙන ආහාර ප්‍රමාණය නියම ආකාරයට බෙදී නොයාමයි. 1955 සිට 1995 දක්වා ලෝක ජනගහනය 105% වැඩි වී, බිලියන 5.7 ආසන්න වුවද, ලෝකයේ ධාන්‍ය අස්වැන්න 124% වර්ධනය විය. එනම් වර්ධනය වන ජනකායට සෑහෙන තරමටත් වඩා ආහාර නිෂ්පාදනය කිරීමට සමත් වුවද, අස්වැන්න නිසි පරිධි බෙදී නොයාම නිසා ඉන් නියම ප්‍රයෝජනයක් නොගැනුනි. Christopher Flavin "Culture of Permanence".
Time special issue on "Our Precious Planet". November 1997. p 82

අපි මේ කරුණු ගැන මෙහෙම කථා කලේ ඇයි? අපිට පේනවා, ආහාර දාමයේ ඉතා ඉහල ශක්ති ප්‍රභව වන ශාක ආහාර වැඩියෙන් නිපදීමෙන්, අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීමෙන් අපේ ආහාර අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරා ගන්න පුළුවන්. ඒ සඳහා දාමයේ අඩු ශක්ති ප්‍රභව වන මස් මාංශ වෙතම යන්න අවශ්‍යය වෙන්නේ නැහැ. එහෙනම් අපි අපේ වගේ රටවල විශේෂයෙන්ම කෘෂිකර්මය ගැන ඉතාමත් විද්‍යාතමකව බලලා අපේ රටේ තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු කලොත් අපිට වරදින්නේ නැහැ. කවදත් ලංකා මාතාව තම දරුවන් කුසගින්නේ තිබ්බේ නැහැ.

නමුත් අපි ඉහත කථා කල කරුණු අඩු වැඩි වශයෙන් අපිටත් තියනවා. අපි අපේ රටේ කෘෂිකර්මය ගැන දක්වන අවධානය සෑහෙනවද? නැතත් අපි මොන වගේ උපක්‍රමද මේ සඳහා යොදන්න ඕනෙ. අපි එක පාරටම අපේ අතීතයට හැරුනොත් කෝටි ගනනක ජනතාවක් රැක්කේ මේ පොලව නේද? මෙන්න මේ කාරනේදි අපි බලන්න ඕනෙ එහෙමනම් මොනවද ඒ උපක්‍රම කියන එක. අන්න ඒ උපක්‍රම තමයි මම මේ ලිපි පෙලින් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
කොටින්ම "අපේ කෘෂිකර්මයේදී භාවිතා කල දේශීය දැණුම" ගැන.

අපි ඉදිරි දින කීපයක් මේ ගැන කථා කරමු.

Sunday, July 24, 2011

ඔබගේ ස්වභාවය තේරුම් ගන්න.

මම කවදත් බොහෝ ආශාකල දෙයක් තමයි බුදුරජානන් වහන්සේගේ දේශනයේ යම් ඉගෙනීමක් ලබන එක. මගේ අධික කාර්ය බහුලත්වය නිසා නැතිවන මානසික සමබර බව නැවත ලබා ගන්නේ මේ විෂයට තිබෙන කැමැත්ත නිසා. ඒ අවස්ථාවල මගේ පහසුවට සාදා ගන්නා සටහන් මෙහෙම වෙලාවෙන් වෙලාව ඉඩ තිබෙන හැටියට ඔබට ලබා දෙන්න මම කැමතියි. කාට හෝ ප්‍රයෝජනයක් ලැබෙතැයි සිතනවා. මේ සටහන් වල යම් දෝෂයක් ඇතොත් මට දන්වන්න. අපි ඒවා නිවැරදි කරමු.

බුදු සමයෙහි පුද්ගල චරිත විභාගය
පුද්ගල පෞර්ෂත්ව විශ්ලේෂණයෙහි ප්‍රධාන තේමාව ලෙස චරිත විභාගය සැලකිය හැකිය. ආධ්‍යාත්ම ශික්ෂණය අරමුණු කොටගත් බුදු සමය චිත්ත සමාධි භාවනා විෂයෙහි පුද්ගල චරිත විභාගය අවධාරණය කොට තිබේ.
 
අංගුත්තර නිකායෙහි සරාග පුද්ගල සූත්‍රය
මුල් බුදු සමය තුලම එබඳු චරිත විශ්ලේෂණයක් පැවති බව අංගුත්තර නිකායෙහි සරාග පුද්ගල සූත්‍රයෙන් පැහදිලි වේ. බුදුන් වහන්සේ විසින් පුද්ගලයන් 04 දෙනෙකු ලෝකයෙහි විද්‍යාමාන බව පැවසූහ. එනම්
1. සරාගෝ - රාග සහිත පුද්ගලයා
2. සදෝෂෝ - දෝෂ සහිත පුද්ගලයා
3. සමෝහෝ - මෝහ සහිත පුද්ගලයා
4. සමානෝ - මානය සහිත පුද්ගලයා
(අංගුත්තර නිකාය 2 කොටසෙහි 134 පිටුව)
එසේම මෙම පුද්ගලයන් රාගයෙන් උපන් බවද, ද්වේශයෙන් උපන් බවද, මෝහයෙන් උපන් බවද, එබැවින් දුක් සහිත වූයේ මතු මෙහිද දුක වඩන කර්ම සිදු කරන බවද දැක්වූහ.
 
පාලි අට්ඨ කථා මාර්ගය
මුල් බුදු සමයෙහි විග්‍රහ වන පුද්ගල වර්ගීකරනයන් පදනම් කරගෙන චරිත විග්‍රහ කරනු ලබන්නේ පාලි අට්ඨ කථා මාර්ගයේය. එහෙත් අධ්‍යාත්ම ශික්ෂණයට භාවනා අරමුණක් ලබා ගැනීම සඳහා ආචාර්යවරයකු වෙත (කම්මට්ඨාචාර්ය වරයෙකු ) භාවනා යෝගී තැනැත්තෙකු පැමිණි කල්හි ඔහුට සුදුසු කමටහනක් ලබාදීම ආචාර්ය වරයාගේ වගකීම වේ. එහිදී යෝගාවචරයා සඳහා සුදුසු කමටහනක් ලබාදීම සැලකිය යුතු කරුණකි. ආචාර්ය වරයා පලමුව යෝගාවචරයා නිරීක්ෂණයට ලක් කරනු ලැබේ. එම නිරීකෂණය කිරීමේදී කරුනු කීපයක් පදනම් කර ගනී.
1. ඉරියව් පැවැත්වීම - ඉරියාපථෝ
2. ඔහු විසින් කරනු ලබන කටයුතු - කිච්ච
3. ඔහු විසින් ගනු ලබන ආහාරය.
4. පෙනෙන බාහිර ලක්ෂණ
5. ගති පැවතුම් - ධම්ම පවත්තිනෝ
යන කරුණු ඇසුරින් භාවනාලාභියාගේ චර්යාවන් නිරීක්ෂණය කරයි. ආචාර්යවරයාගේ සියුම් නිරීක්ෂණයට අනුව යෝගාවචරයා කිනම් චරිත ස්වභාවයකින් යුක්තදැයි හදුනා ගනී.
විශුද්දි මග්ගයෙහි කම්මට්ඨාණ ගහණ නිද්දේසය
බුදු සමයෙහි චරිත විශ්ලේෂණය විශුද්දි මග්ගයෙහි කම්මට්ඨාණ ගහණ නිද්දේසය තුල විශේෂයෙන්

විස්තර වේ. ඒ අනුව පුද්ගල චරිත ප්‍රභේද තුනක් හදුනාගත හැකිය.

1. ක්‍රමය
(1). රාග චරිත
(2). දෝෂ චරිත
(3). මෝහ චරිත
(4). සද්ධා චරිත
(5). බුද්ධි චරිත
(6). විතක්ක චරිත

2. ක්‍රමය
(1). රාග දෝෂ චරිත
(2). රාග මෝහ චරිත
(3). රාග දෝෂ මෝහ චරිත
(4). දෝෂ මෝහ චරිත
(5). සද්ධා බුද්ධි චරිත
(6). සද්ධා විතක්ක චරිත
(7). සද්ධා බුද්ධි විතක්ක චරිත
(8). බුද්ධි විතක්ක චරිත

3. ක්‍රමය
(1). තන්හා චරිත
(2). මාන චරිත
(3). දිට්ටි චරිත

වශයෙන් තවත් ප්‍රභේදයකි. මෙහි තන්හා යනු රාගයමයි. එබැවින් මානයද රාගය හා සමග යෙදේ.එබැවින් රාග චරිතයම මෙහි කියනු ලැබේ. දිට්ටි යනු මෝහය පදනම් කොටගෙන ඇත්තකි. එබැවින් දිට්ටි චරිත යනු මෝහ චරිතම සලකනු ලැබේ. මෙම ප්‍රභෙද කථනයේදී බුද්ධඝෝෂ ආචාර්ය වරයා ප්‍රකෘති මූල ස්වභාවයන් පදනම් කොට සංක්ෂේපයෙන් චරිත ප්‍රබේද 6ක් පමනක් විශ්ලේෂණය කොට තිබේ.
 
මූලික සූත්‍ර දේශනා සහ පුරාණ ආචාර්යවරුන්ගේ අදහස් අනුව චරිත විනිශ්චය.
මෙම විග්‍රහයට අනුව චරිත විනිශ්ච කුසල මූල හා අකුසල මූල සංකල්පය ලෙස හදුන්වයි. මූලික බුද්ධ

දේශනාව තුල සාමාන්‍ය පෘථක්ජන පුද්ගලයාට බලපාන ක්ලේෂ මූලයන් තුනකි.
1. ලෝභ
2. ද්වේශ
3. මෝහ

මෙම අකුසල තත්වයන්ට ප්‍රතිවිරුද්ධව කුසල මූලයන්ද 3කි.
1. අලෝභ
2. අදෝෂ
3. අමෝහ
මෙහි දැක්වෙන ලෝභ, ද්වේශ, මෝහ තත්වයන් වචනවල වෙනස්කම් හැර ඉහත දැක්වූ රාග චරිත, ද්වේශ චරිත, මෝහ චරිත වලට අතිශයින්ම සමානය. එහෙත් සුභ පක්ෂයෙහි දක්වන ලද
1. සද්ධා චරිත
2. බුද්ධි චරිත
3. විතක්ක චරිත
වෙනුවට,
1. අලෝභ
2. අදෝෂ
3. අමෝහ
යන කොටස් 3 දක්වා තිබේ.

ජීවත් වීම සඳහා අවශ්‍යවන මානසික තත්වයන් ලෙස සලකන විට කැමති දේ ලබා ගැනීමට පුද්ගලයා තුල පවතින මෙහෙය වීම ලෝභයද, අකමැති දේ ඉවත් කිරීමට ඔහු තුල ඇති ප්‍රවනතාව දෝෂ වශයෙනුත්, සැලකිය හැකිය. කෙතරම් උත්සාහ කලත් යමෙකුට කැමති සියල්ල ලබා ගැනීමට නොහැකි වීමත්, අකමැති සියල්ල ඉවත් කිරීමට නොහැකි වීමත් නිසා නිරන්තරව මනස තුල පවතින විපිලිසරභාවය නැතහොත් අවුල මෝහය වශයෙනුත් හදුන්වා තිබේ. වෙනත් ආකාරයකින් සඳහන් කරතොත් නිරන්තරව විපරීනාමයට බඳුන් වන ලෝකය තුල මිනිසා කැමති දේ කෙරෙහි ඇලීම ලෝභ වශයෙනුත්, අකමැතිදේට විරුද්ධ වීම දෝෂ වශයෙනුත්, හදුන්වනු ලැබේ. ලෝකයේ නිරන්තරව වෙනස් වන සුළු ස්වභවය නිසා ඔහුගේ ප්‍රතික්‍රියාවට අභිමත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ. අටලෝ දහමට අනුව කැමති දේ නොව අකමැති දේට මුහුන දීමට නිතර සිදු වේ. මේ නිසා ඔහුගේ මනස නිතරම අවුලෙන් යුක්ත වේ. එය මෝහයයි. ඒ නිසා ලෝභ, ද්වේෂ, මෝහ අකුසල පක්ෂයෙහි ලා සැලකේ. එහෙත් එහි ප්‍රති විරුද්ධ තත්වයන් නිසා (අලෝභ, අදෝෂ, අමෝහ ) මානසික අවුල සංසිදේ. එබැවින් අලෝභ, අදෝෂ, අමෝහ කුසල පක්ෂයෙහිලා සැලකේ. මෙහි ලෝභ, ද්වේෂ, මෝහ සම්පූර්නයෙන් ඉවත් කිරීම අර්හත් තත්වය සේ සැලකේ. එහෙත් සාමාන්‍යයෙන් ජනයා ලෝභ, ද්වේෂ, මෝහ හා අලෝභ, අද්වේෂ, අමෝහ තත්වයන් අඩු වැඩි වශයෙන් පවතී. මෙම තත්වය පදනම් කොටගෙන මෙම කරුණු 6 අධිකව පවතින තත්වයට අනුව චරිත වර්ගීකරන කරයි.........
 
මෙම චරිත වර්ග විනිශ්චයට අනුව ලෝභ චරිත ආදී වශයෙන් තීරනය වන්නේ පුද්ගලයාගේ උප්පත්ති අවස්තාවේදීමය. යමෙකුගේ උපත සිදුවීමට බලපානජනක කර්මය ලෝභාදී කරුණු 6 අතර පවතින උස් පහත් කම් අනුව තීරනය වේ.
උදාහරන වශයෙන්,
1. යම් කර්මයක් සිදු කරන අවස්තාවේ ලෝභය බලවත්ව අලෝභය දුර්වලව පවතී නම් දුර්වල අලෝභයට බලවත් ලෝභය ඉක්මවා ගමන් කල නොහැක. එබැවින් ඔහුගේ උපත ලොභ මූලිකව ඊට අයත් ලක්ෂණ වලින් යුක්තව සිදු වේ. මේ සමගම එම කර්මය සිදු කරන අවස්තාවේ අද්වේෂය බලවත් වූ විට ප්‍රඥාවත් පුද්ගලයකු බවට පත් වේ. එහෙත් ලෝභය බලවත් වූ නිසා සැපතට කැමති පුද්ගලයෙක් ලෙස ඔහු ක්‍රියා කරයි. අප සමාජයෙහි බොහෝ දැන උගත් කරුණා ගුනය ඇති ඇතැම් අය අධිකාම සුඛාස්වාදය කෙරෙහි යොමු වී සිටිනු දැකිය හැකිය.

2. ඇතැම් අවස්තා වලදී කර්ම සිදු කරත්දී ලෝභ ද්වේෂ බලවත් වී අලෝභ අද්වේෂ දුර්වල වී අමෝහය බලවත්ව යෙදේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අශා බහුල අමෝහ බහුල ප්‍රඥාවත් පුද්ගලයෙකු බිහිවීමයි. අප සමාජයේ ඇතැම් උගතුන් ධනය, බලය, වැනිදෑ කෙරෙහි ගිජු ලෙස හබා යනු පෙනේ. එසේම ඔවුන් ක්‍රෝධ පලිගැනීම් නැති තත්වයෙන් යුක්තය.

3. අධික ලෝභය සහිත අඤ්ඤාණ එහෙත් නොකිපෙන පුද්ගලයන් බිහි වීමට ලෝභ අද්වේෂ මෝහ බලවත් වූ කර්මයන් හේතු වේ.

4. ලෝභ ද්වේෂ මෝහ බලවත් වූ අලෝභාදිය බලවත් වූ අලෝභාදිය දුර්වල වූ කර්මයන් නිසා ලෝභ ද්වේෂ සහිත අඤ්ඤාණ පුද්ගලයන් බිහි වේ.

5. අලෝභ ද්වේෂ මෝහ බලවත් වීමෙන් කෙලෙස් අඩු ද්වේෂ සහිත, මුලාව සහිත එහෙත් දිව්‍යමය අරමුනකින් පවා නොසැලෙන පුද්ගලයකු බිහි වේ.

මේ අයුරින් ඉහත දක්වන ලද ලෝභාදී කරුනු 6 අන්‍යයෝන්‍ය වශයෙන් විශමව පැවතීම මුල් කොට ගෙන විවිධ චරිත බිහිවන බව මෙයින් පැහැදිලි වේ. මෙහි සදහන් වන පුද්ගල ජනක කර්මය අනිකක් නොව පුද්ගල චර්යාවයි. බුඩු සමය අපේක්ෂා කරන්නේ ලෝභ ද්වේෂ මෝහ දුර්වල වූ අලෝභ අද්වේෂ අමෝහ බලවත් වූ කර්ම සිදු කිරීමට පුද්ගලයා මෙහෙයවා, ඒ තුලින් දැඩි ආශා රහිත ද්වේෂ සහගත නොවන ප්‍රඥ්ඥාවත් චරිත බිහි කරලීමයි. ඉහත මුලින් දක් වන ලද චරිත විග්‍රහයෙහි,
1. බුද්ධි චරිත යනු ප්‍රඤ්ඤා චරිතයයි.
2. අලෝභ අද්වේෂ මූලික කර්මයෙන් ප්‍රභාවය වන්නේ ශ්‍රද්ධා චරිතයයි.
3. අමෝහය බුද්ධි චරිතයට පදනම වේ.
4. කාම විතර්ක ආදිය බහුල කර්මයන් නිසා විතක්ක චරිතය බිහිවේ.
මේ අනුව විවිධ චරිත බිහි වීමට ලෝභාදිය හේතුවන ආකාරය පැහැදිලි වේ.
( මජ්ජිම නිකාය - මූල පරියාය සූත්‍රය )
 
 ආචාරුත් මත හා මානසික ලක්ෂණ
රාග චරිත
මායා බව, කපටි බව, මානය, පවිටුන්ට කැමැත්ත, විශාල ප්‍රමානයක් කැමති වීම, තෘප්තිමත් නොවීම, චපල බව, ආදී මානසික ලක්ෂණ දැකිය හැක.

ද්වේෂ චරිත
ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, ඊෂ‍යාව, මසුරුකම, ආදී මනෝ මූලික ලක්ෂණ දැකිය හැක.

මෝහ චරිත
සිතෙහි හා කයෙහි මැලි බව, උද්ධච්ඡකම, කුකුස, සැකය, යමක් දැඩි ලෙස ගැනීම, එසේ ගන්නා යමකින් ඉවත් කිරීමට නොහැකි බව, ආදී ලක්ෂණ මෝහ චරිතයට දැකිය හැක.

සද්ධා චරිත
පරිත්‍යාගශීලීබව, උතුමන් දැකීමේ කැමැත්ත, ධර්ම ශ්‍රවනය, සතුට බහුල වීම, කපටි නොවීම, යහපත් දේ කෙරෙහි ප්‍රසාධය, යන ලක්ෂණ විද්‍යාමාන වේ.

බුද්ධි චරිත
කීකරු බව, යහපත් සිතුවිලි, ප්‍රමානයට ආහාර ගැනීම, මනා සිහිය හා නුවණ ඇති බව, නිදි වැරීම හෙවත් පුබුදු බව, සංවේග ඉපදිය යුතු තැන සංවේදී වීම, මානසික ඒකාග්‍රතාවය, යන ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.

විතක්ක චරිත
කථා බහුල වීම, සමූහයට ඇලීම, කුසලයට නො ඇලීම, සිත තැන්පත් නොවීම, අධිකව සිතීම, අධිකව වෙහෙසීම, පිලිවෙලකින් යුතුව කටයුතු කිරීම, යන ලක්ෂණයන්ගෙන් යුක්තව ක්‍රියා කරයි.
මේවා මෙම චරිතයන්ට හිමි ආචාරුත් මත හා මානසික ලක්ෂණයන්ය.

Friday, July 22, 2011

පූති මුත්ත භෛසජ්ජ

මම අද කියන්න යන්නේ ඉතාම ආන්දෝලනාත්මක කථාවක්. මම හිතනවා බ්ලොග් අවකාශේ ඉන්න ජ්‍යේෂ්ටම අය මේ ගැන අහලා ඇති. ඒත් කාගෙත් පහසුව තකා මම මේ ලිපියේ ඒ අවශ්‍ය තැන්වල මූලාශ්‍රයන් සඳහන් කරන්නම්.

දෙවනි කාරණේ මම මේ කියන දේ වැදගත් වෙන්නේ අපේ දැණුමට විතරයි. එහෙම නැතුව හෙට ඉදලා මේක කරන්න කියලා නෙමේ මම මේ කියන්නේ. මෙහෙම ක්‍රමත් තිබුනා. මේ මේ අය ඒවා අනුමත කරලා තියනවා කියන එක සමාජයට ඒත්තු ගන්වන්න විතරයි. මොකද මේ මාතෘකාවෙන් තම ආචාර්‍ය උපාධිය කල ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. එතුමන්ගේ අවසරයක් ලබා නොගත් නිසා මම නම දමන්නේ නැහැ. නමුත් එහෙම අය ඉන්නවා.

අනිත් කාරනේ ත්‍රිපිටකය, බයිබලය ඉදලා නූතන වෛද්‍ය විද්‍යා වෙනතෙක් මේ මාතෘකාව ගැන පොත් පලවෙලා තියනවා. මම මේ පොත් වලින් වැඩි ප්‍රමාණයක් (අර ස්වාමීන් වහන්සේගේ උපාධි නිබන්ධනයත් ඇතුළුව.) කියවලා තියනවා. ඒ නිසා මම මේ ගැන ලියන්න නිසැකවම සුදුසුයි කියා මම හිතනවා.
හොඳයි දැන් අපි බලමු මේ මාතෘකාව ගැන,

1. පූති කියන්නේ සැරව, කුණු, අපුල කියන එක.
2. මුත්ත කියන්නේ මුත්‍රා කියන එක.
3. භෛසජ්ජ කියන්නේ බෙහෙත්, ඖෂධ කියන එක.
එතකොට පූති මුත්ත භෛසජ්ජ කියන්නේ අපිරිසිදු මුත්‍රා සහිත බෙහෙත නැත්නම් ඖෂධය.

දැන් බලමු මුත්‍රා ඖෂධයක් නම් මොන මුත්‍රාද කියලා,
1. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන්ගේ මතය නම් මිනිස් මුත්‍රා කියන එක. එනම් ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා කියන එක.
2. හැබැයි ආයුර්වේදෙ මතය නම් ගෝ මුත්‍රා හෙවත් රතු වැස්සියකගෙන් ලබාගත් මුත්‍රා මෙලෙස ඖෂධ සඳහා සුදුසු බවයි.
3. අපේ මහා යතිවර රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ තම විනය කර්ම පොතේ 50 වන පිටුවේ ගෝ මුත්‍ර බව සඳහන් කරලා තියනවා.
4. බුද්ධ බේත නම් කෘතිය 2006 වර්ෂයේදී සම්පාදනය කල උ. ධම්මජීව ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා බව.

මේ මාතෘකාව ගැන ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ පොත්,
(1) Wonders of Uropathy. Urine Therapy as a Universal Cure - By G.K. Thakkar - 1996
(2) The Golden Fountain. The Complete Guide to Urine Therapy. By Van Der Kroon - 1994
(3) The Water of Life. By J. W. Armstrong 1944
(4) The Healing Power of Urine Therapy. By Ingeborg Aiinmann 1993

බුදුරජානන් වහන්සේ ත්‍රිපිටකයේ මහා වග්ග පාලියේ (බුද්ධ ජයන්ති )
පූති මුත්ත භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයෝ. අතිරෙක ලාභෝ සප්පී නවනීතං තෙලං මධු පාණිතං. (ම. ව. 1/238)

මේ පාඨයට අර්ථයක් දෙන මහා යතිවර රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේ,
පැවිද්ද, අරළු ගෝමුත්‍රයෙහිලා සම්පාදනය කරන පුතිමුත්‍ර භෛසජ්ජයෙන් පවතින්නේය. පූති මුත්ත භෛසජ්ජයෙන් දිවි පැවැත්ම ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කල යුතුය. පෙරකල කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය තල තෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභයන්ය.

බුරුම රටේ මේ පූතිමුත්ත භෛසජ්ජය "ඵෙයා සේ" යනුවෙන් හදුන්වයි. එනම් අර්ථයෙන් බුද්ධ බේත යන්නයි.

ශුද්ධ වූ බයිබලයද මේ ගැන කථා කරයි. "Drink water from thy own cistern. Flowing water from your own well. proverb 5-15) එනම් නුඹ නුඹේම ශරීරයේ ජලය පානය කරන්න. යනුවෙන් මේ ගැන සදහනක් දැකගත හැකිය.

පූතිමුත්ත භෛසජ්ජය සාදාගන්නා පිළිවෙල,
ලොකු මැටි මුට්ටියකට අර්ළු ගෙඩි තලා ගෙඩිය පිටින්ම දමා, ඊට රතු එළදෙනකගේ හෝ ස්ව මුත්‍ර පෙරා, මුටිටියට එකතු කරයි.එම භාජනය පිරුනු පසු, තවත් මැටි භාජනයකින් වසා මැටි වලින් භාජන දෙක සවි කර, මැටි බැද, පසේ වලළලා, සති දෙකකින් ගෙන දියවූ අරළු වෙන්කර ගනී. ඇට ඉවත් කර පහලම මන්ඩි වැනි කොටස වෙනමද, දියර කොටස වෙනමද වෙන්කර ගන්නවා. උදේ හවස නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ ගුලි සාදා වළදා, පීරිසි කෝප්පයකින් භාගයක් පමන දියර පානය කරනවා. නොයෙක් රටවල මේ සාදාගන්නා පිලිවෙල යම් වෙනස්කම් පැවතුනත් ක්‍රමය සරලව ඕකයි.

මුත්‍රා ඖෂධයක් ලෙස යොදාගත හැකි අවස්ථා.
1. ඇස් රෝග
මුත්‍රා එවලේම ලබාගත් බිංදු කීපයක් ඇසේ දැවිල්ල, වේදනාව, නගන, ඇති විට ඇස සේදීම සඳහා යොදාගත හැක. සමහර පොත්වල ජලය බිංදු කීපයක් මිශු කිරීමටද උපදෙස් දී ඇත.

2. කණේ රෝග.
පැරණි මුත්‍රා කනේ දැවිල්ල, කැසිල්ල, වේදනාව, සියුම්ව කණෙන් ආගන්තුක ශබ්ද ඇසීම වැනි අවස්ථාවල යොදා ගනී.

3. නාස රෝග.
මෙහිදී නාසයේ මස් දළු ඇති වීම, පීනස, කෝඨර ප්‍රදාහය. නාසය සිරවීම වැනි අවස්ථාවලදී යොදා ගනී. මුත්‍රා ස්වල්පයක් උනු ජලය බිංදු කීපයක් මිශු කර නාසයෙන් උරමින් කටින් පිට කරන්න. සාමාන්‍යය සෙම් ප්‍රතිශ්‍යාව සදහටම දුරු වේ යැයි පවසයි.

4. දිව ආශ්‍රිත රෝග.
රස නොදැනීම, දත් කැක්කුම, පණු ගෙඩි, උගුරේ ආබාධ ඇති විට විනාඩි විස්සක් පමන පෙර පරිදි උනු ජලය මිශුකල මුත්‍රා කටේ තබාගෙන සිටීමෙන් සහනයක් දැනේයැයි පවසයි.

5. ශාරීරික රෝග.
ශාරීරික ශක්තිය, තාර්ණ්‍යය, රැක ගැනීම. සුළු සුළු ඇගේ අමාරු සඳහාත්, උදයේම පිටවන ඉතාම සාර මුත්‍රයේ මැද කොටස, එනම් මුලින් පිටවන කොටසත් අවසානයේ පිටවන කොටසත් අතර මැද කොටස යොදා ගනී. මේ මුත්‍රා පානය ආහාර වේලකට පැයකටවත් කලින් කල යුතුය.

6. හිසේ රෝග.
තට්ටය පැදීම, ඉස්-හොරි, හිස රදය, වැනි අවස්ථාවන් වලදී හිස පිරිමැදීමට භාවිතා කරයි. විනාඩි තිහක් පමණ එසේම තිබෙන්නට හරින්න. හොඳ නින්දක් ලබාගත හැක. හිසට සබන්, ෂැම්පු වර්ග මේ වෙලාවේදී භාවිතා නොකල යුතුයි.

7. කණ්හ රෝග - කම්මුල්ගාය.
ඉතා දරුණු ප්‍රථිඵල පිරිමින්ට අත්කරදෙන (මඳසරු වීම.) මෙම රෝගයේදී මුත්‍රා සහ ජලය 1:2 අනුපාතයට මිශ්‍ර කර කණ්මූලය දිනපතා සෝදන්න.

8. ඇඳුම රෝගය.
මුත්‍ර පානය සුදුසු බව කියයි.

පූතිමුත්‍ර භෛසජ්ජය ප්‍රයෝජනයට ගන්නා නොයෙක් ක්‍රම.
1. පානය.
ඉහත කියන ලදි.
2. ආලේපය
හිසට, ඇගපත රුදාවට, කැසීමට, ඉදිමුමට, වේදනාවට.
3. පත්තු ලෙස.
කැඩුම් බිදුම් අවස්තාවලදී නොයෙක් කැලෑ කොල සමඟ කොටා පත්තු ලෙස බැදීම.
4. වස්ති.
නොයෙක් උදර රෝග වලදී, මල බද්ධයට, වස විස කැවීම වලදී, උණුසුම ජලය සමඟ මිශ්‍රකර.
5. මුත්‍ර ද්‍රාවනයේ බැසීම.
ගුදගත රෝග, යෝනි රෝග අවස්ථාවලදී ඉතා ගුණදායක බව කියයි.
6. මුඛ රෝග වලදී ගණ්ඩූෂ කිරීම නැතහොත් කටේ පුරවාගෙන සිටීම.

මුත්‍රා පාන අවස්ථාවේදී ආහාර ගතයුතු පිලිවෙල.
1. වෙනත් කිසිම බේතක් ගැනීමෙන් වැලකිය යුතුය.
2. වඩාත් හොඳ වන්නේ එළවළු ආහාරයට ගැනීමයි.
3. මේ අවස්ථාවේදී රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ඉතාමත් අකැපය.
4. පළතුරු, ධාන්‍ය, මීපැණි, ඉතා හොඳයි.
5. මත්පැන්, කෝපි, දුම්බීම, අධික ලුණු රස, මස්, කිරි ආහාර, ආම්ලික දේ අගුණයි.

මේ සියළු විස්තර තවත් හොදින් ඔබට දැන ගැනීමට නම් ඉහත පොත් සමඟ රාජකීය පණ්ඩිත මඩබාවිට විජයසෝම හිමියන් 1977දී ලියන ලදි, භාරත රෝග නිවාරණ විධි නම් පොතත් කියවන්න. අවාසනාවට මටද තවමත් මේ පොත සොයා ගැනීමට නොහැකි වුනා. පින්වත් ඔබ ලඟ ඇත්නම් මට දන්වන්න. කීයක් ගියත් ෆොටෝ කොපි කරගමි.(පොතට හානියක් නොවන ලෙස.)

පූතිමුත්‍ර භෛසජ්ජය ගැන මගේ මතය.
1. දැනට මේ ක්‍රමය ලෝකයට ගැලපේදැයි මට නම් සැකයි. හේතුව අපි කාලයත් සමඟ අපේ රුචි අරුචිකම් වෙනස් කර ගන්නා බැවින් වර්ථමාන සමාජය මෙය පිලිකුල් දෙයක් ලෙස සැලකීම. උදාහරන අද අපි ඉතාමත් නරක වචන ලෙස සලකනු ලබන ඇතැම් වචන අනුරාධපුර යුගයේදී ඉතාමත් බහුලව භාවිතා වූ වචන වීම.
2. මේ ක්‍රමය ගැලපෙන්නේ ඉතාමත් සංසුන් මනසකින් වැඩකල හැකි කය වෙහෙසා වැඩ කරන අයට වීම. දැන් එවැනි අය ඉතාමත් දුලභ වීම.
3. මත්පැන් දුම් වැටි භාවිතය බහුල වීම.
4. පරිසරය දූෂණයට ලක් වී තිබීම.
5. අපි නොයෙක් රසායනික ද්‍රව්‍ය නිතර ආහාරයට ගැනීම. මේ නිසා ඇතැම් රසායනිකයන් මුත්‍රා මඟින් බැහැර වන බැවින් මේ ක්‍රමයේදී ඒවා නැවත ශරීරගත වීමට හැකි වීම.


මෙවැනි හේතු නිසා පූතිමුත්‍ර භෛසජ්ජය අදට නොගැලපේ යැයි මම සිතමි.