Saturday, November 30, 2013

සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා

සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා: සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ...

Thursday, August 1, 2013

අද අද එයි මරු පිංකර ගන්නෙ

ඔබ කවුරුත් දන්නා පරිදි මම දේහපාලනය උගත්තෙක් මි. දේශපාලනය මට ආගන්තුක ය. ඒ පිළිබඳ ඇසූ දුටු කියවූ දෑ හැර අන් යමක් මම නොදනිමි. නමුත් මගේ බුද්ධි මානයට පිටින් වුවත් යමක හොද නරක මිනුම් කිරීමට සරි බුද්ධිය ක් මට ඇතැයි මම දනිමි. දශක කීපයක් ලැබූ ජීවන පරිචය ම ඊට ප්‍රමාණවත් ය.

දැනට මෙසිරිලක වාසස්ථානය කොටැති මම නොයෙක් විට ලැබූ විදෙස් අත්දැකීම් ද සමග මුසු කොට මෙසේ ලියා තබමි.

අප කුඩා කළ, මට දැනුම් තේරුම් ඇති වයසේ දී මෙරට දේහ පාලනය පිළිබඳ සෙවුමට පත් කොට සිටි රජයේ බලධාරියා වූයේ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා යි. ඒ එම තනතුර ට සුදුස්සෙක් පත් වූ අවසාන වතාව යැයි මට සිතේ. මන්ද එතනින් පසු දේහපාලනයත් දේශපාලනයත් දෙකම එක වලේ ම වැටෙන්න ට වූ බැවිනි.

මගේ ප්‍රියතම දේශපාලකයා වන ජේ. ආර්. ජයවර්ධනයන් ගේ මැති මඬුල්ලේ සිටි අතපත්තු මැතිඳුන් එම තනතුර ට එක් කළේ සෙසු පටු ප්‍රභාවක් ද නොවේ. ඊට ඇති හොදම නිදසුන නම් එතුමන් එම තනතුර හැර දමා ලෝක දේහපාලන සංවිධානයේ බලගතු තනතුරක ට පත් කිරීම යි. එවන් පුරුෂයන් අද කොහිද? ඉඳ හිට හීන් කෙදිරීම් හැර එක සීරුවට අහල ගම් හතකට එක විට අඬහැරයක් පාන්නට තරම් එකෙක් අද වෙසෙත් ද?

ඒ එසේ තිබෙන්නට හැර මම මේ හාන් හෑල්ල ලිවීමට සිත් වූ කාරණය ඔබට මෙසේ කියමි.
ඊයේ මගේ අසල් වැසියෙක් මා හා කියූ කතාව මෙසේයි. ඔහු අද දින උසාවිය ට කැඳවා ඇති ලු. ඉතාම අහිංසක පුද්ගලයෙක් වන මා අසල් වැසියා එතරම් වරදක් කෙදිනකවත් නොකරන වග නම් මම දනිමි. නමුත් මා වැරදිය. ඔහු මහ පොළව නුසූලන අපරාධය කාරයෙකි. දිනපතා උදේ සවස කුරුල්ලන්ට කෑම සහ බීමට ජලය දීමට තරම් වූ නොසන්ඩාලයෙකි. එපමණක් නොවේ තම ගෙවත්තේ රම්ප ගහක් වැවීමට තරම් අපරාධකරුවෙ කි.

මෙතෙක් කලක් ඉතාම රහසිගත ව කර ඇති මේ අපරාධය පසුගිය දිනක පොලොස් බලධාරින් ගේ උකුසු ඇස ට හසු වී ඇත. ඔවුන ට ඇත්තේ උකුසු ඇස් ය. පෙනෙන්නේ මේවා ය.

නමුත් රේමන්ඩ් පාර, පාගොඩ පාර, පූර්වාරාම පාර (ටික දිනක සිට අලුතින් කාණු බඳිමින් සිටිති.) ඇතුළු සියලු නගරය ට සම්බන්ධ වන කිසිම අතුරු පාරක කාණුව ක් සුද්ධ නොකරන බව මම දනිමි. මේවා සුද්ද කිරීම මගින් නගරයේ ඩෙංගු පාලනය කිරීම ඉතාම පහසුවෙන් කළ හැකිය. එනමුත් සමහර කාණු ඇත්තේ කොයිබක ද කියා නගර සභාව ත් නොදනී. උදාහරණ රේමන්ඩ් පාර කාණු ඇත්තේ පුද්ගලික ඉඩම් හරහය. ඒ කාණු දැන් වැහී ගොස්ය. මදුරු ආකරය.

නමුත් ඒවා එසේ වුවත් නගර නයුවන් නඩු අසා හිරේ දැමූ විට නගරයට කවර පිහිටක් ද? එම නිසා මේ නගරවල ඩෙංගු මර්ධනය කෙසේ වෙතත් රජයට ආදායමක් ගත හැකි වීම ම සිතට ප්‍රීතියක් නූපදවයි ද? අප එවන් දේශප්‍රේමීන් වෙමු. හිරේ වැටී, ඩෙංගු හැදී මියෙම්වා අපේ නගර නයුවන් සහ අපේ සසිරිබර මෙසිරිලක රටේ නයුවන් තිස්තුන් කෝටියකුත් තවත් ටිකක් වන දෙවියෝ ම බලත්වා. පඟර නැට්ටන් වන නගර වැස්සන් මැස්ස වැනි බෝවෙ ත්. ඒ අතරින් කීප දෙනෙක් මළාට බිය විය යුතු නොවේ. බෝ කිරීම සදහා ද බලකායක් සහ සේනාවක් ඇති බැවින් වෙසෙසින් ම හිතට ප්‍රීතියක් නොපැමිණේ ද?

එසේම ගම්පහ වැලිවේරියේ වැස්සන් ද මේ නටන්නේ පිස්සුවකි. ඔය එකෙක් දෙන්නෙක් මළාට දෙකෝටියක් වැස්සන් සිටින රටකට බරපතල හානියක් සිදුවේද? ඕවා දේශදෝහීන්ගේ පිස්සු කථාය. යම් විදියකින් එසේ වැස්සන් හමාර වුවොත් ප්‍රශ්නත් හමාර බව නොපෙනේ ද? ඒ නැතත් බලකාය සහ සේනාව බෝ කරණ වැඩේ භාර ගෙනැති බැවින් තුටින් නිදන්න. මදුරුවන් තමන්ගේ පෝෂණය සරි කර ගියාවේ.

අවසාන වශයෙන් මෙසේ කියමි.

අද අද එයි මරු පිංකර ගන්නෙ - කුමට ද හෙට මරු නේති යි සිතන්නේ…


ඒ වගත් මෙසේම යි.

Thursday, July 4, 2013

සම්පයියක් සේ වැඩූ මිරිස් වැටියක් තනන ආකාරය, හෙවත් ආයුර්වේද වෙදසරණිය.

මට විවිධ ආරේ මිතුරන් සිටී. ඒ අතර ඉතාම පහළ ම රැකියා කරන කම්කරුවන් මෙන්ම ඉහළ පෙළේ රැකියා කරන වුන් ද, මා වෙනුවෙන් පණ දීමට වචනයෙන් සැදී පැහැදී සිටින්නාක් මෙන් පෙන්වන්නන් ද, සැබෑවටම එසේ කිරීමට ඉදිරිපත් වන්නන් ද, මිතුරු වෙසින් සිටිති. මේ සියල්ලන්ට ම වෙනස් වූ මිතුරන් පිරිසක් ද දැන් මට සිටිති. එනම් මෙතෙක් මා දැක නැති මාගේ සයිබර මිතුරන් ය. මේ අය අතරින් අභීත, දුලිප්, ප්‍රදීප්, රාමා, මාරයා, නලිනි,…,…,….,.. වැනි කීප දෙනෙක් හැර මා දැක ඇත්තේ තවත් ඉතාම ස්වල්පයකි. නමුත් මේ දුටු නුදුටු සියල්ලන් මා දැක කතා බහ කරැති මගේ මිතුරන් මෙන්ම ආත්මීය මිතුරන් ලෙස මම සලකමි.

එවන් මිතුරන් කීපදෙනෙක් දැන් ටික දිනක සිට මට පොඩි පොඩි ඇඟැවීම් කරමින් සිටිති. මේ අය අතර රාමා, සහ දේශකයා, මෙන්ම සිරා ද සිටිති. දින දෙකකට පෙර දේශකයා ට දින කීපයකින් බ්ලොග් පෝස්ටුවක් දමමි යි මවිසින් දුන් පොරොන්දුව මට අමතක විය. ප්‍රතිඵල හැරෙන තැපෑලෙන් පැමිණ තිබේ. මේ ලියන්නේ ඒ නිසාය.

වරක් කීවාක් මෙන් "ඔබ වැනි මිතුරන් සදා වාසනාවන්."

මේ ලිපිය සයිබර අවකාශයේ සිටින මගේ සියලු මිතුරන්ගේ මිතුරුකම වෙනුවෙනි.
**************************************************************

අපේ අසහාය ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ පරිච්ඡේද ගණනාක් ම වෙන්කර ඇත්තේ දුටුගැමුණු මහරජ වෙනුවෙන් බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි. මහාවංශකරුට දුටුගැමුණුට වඩා වීරයෙක් තවත් නැත. මට නම් එසේ නොවේ. මට දුටුගැමුණු තවත් එක් රජෙක් පමණි. නමුත් මේ කතාව පැවසීමට දුටුගැමුණු මහරජු අපට ඉතා වැදගති.

දුටුගැමුණු මහ රජු යුද්ධය අවසානයේ තම දිග් විජය සැමරීමට මහා ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා ලු. එහි එක් අංගයක් වූ ජල ක්‍රීඩාවට සම්බන්ධ වීමට ගැමුණු මහරජු ද සූදානම් විය. තිසා වැව අද්දර ජල ක්‍රීඩා බිමට පැමිණිම සදහා රජු තම සධාතුක ජය කුන්තය ආරක්ෂා සහිතව එක් තැනක සෘජුව සිටුවා තැබීය. ක්‍රීඩාවෙන් පසු කුන්තය ගැනීමට උත්සාහ කළත් එය එම බිමට යාවී ඇති බව දැක එය ජය බිමකැයි සලකා එහි දාගැබක් බැඳවී යැයි මහාවංස කතා කරු කියයි.

එම දාගැබ "මිරිසවැටිය" යැයි නම් වීය.

අපේ අද කතාවට පාදක වන්නේ මේ "මිරිසවැටි" යන නාමය ලැබීමට හේතු වූ සිද්ධියට සම්බන්ධ කරුණකි. එනම් මහ රජු තමන්ගේ රාජ භෝජනය හැමටම පළමු සංඝ රත්නයට වෙන්කර පූජා කරයි. ඉන්පසු තම පරිභෝජනය ලබා ගනියි. මෙය යි මහරජුගේ සිරිත. නමුත් දිනක් අහම්බෙන් මහරජු වැරදීමකින් යම් "මිරිස් වැටියක්" සංඝයාට වෙන් කිරීම ට ප්‍රථම තම පරිභෝජනය ට ගත් හෙතුවෙන් ඉන් ඇති වූ සිත් තැවුලට පිළියමක් ලෙස මේ මහා වෛත්‍ය රාජයා "මිරිසවැටිය" යැයි නම් කෙරුවේ ලු.

අද අපේ ප්‍රස්තුතය ලෙස මෙම "මිරිසවැටිය" යන නාමය යොදා ගැනීමට මම අදහස් කළෙමි.

කුමක් ද මේ අති දීර්ඝ කාලයක් පැවතීම ට සමත් දාගැබක් බැඳවීම ට තරම් හේතු වූ මිරිස්වැටිය? මෙය ඇත්තෙන්ම ප්‍රශ්නයක්? බොහෝ අය මෙය දකින්නෙ මිරිස් හොද්දක් ලෙසයි. නමුත් මා එය වෙනස් විදියකට දකින අතර ඔබටත් මිරිස්වැටියක් සාදා ගන්නා අන්දම පැහැදිලි කිරීමට මේ අවස්ථාවක් කරගමි.

මේ පිළිබඳව මහාවංස කතාකරු මෙසේ පවසයි "පෙර බත් කාලයෙහි සංඝයාට නො තබා අනුභව කරන ලද එකම මිරිස් වැටියක් දුටුවේය"

එලෙසම සද්ධර්මාලංකාරය මෙසේ ද පවසයි ".... සිහි මඳ ව දන් නො දී මළමිරිස් පැස්සක් සඳහන් කොට...."

සිංහල ථූපවංසය, බද්දේගම විමලවංශ සංස්කරණය, 1958, පිටුව 100 හි මෙසේ සඳහන් වේ. "ස්වාමීනී, සඳහන් නැතිව සංඝයා වහන්සේට නො දී මළමිරිස් පැස්සක් කෑමි"

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ඊ. ඩබ්. අදිකාරම් මහතා මෙසේ පවසයි, ".....සංඝයාට කොටසක් නො දී මිරිස් ආහාරයක් ගත් වරදට දඩුවම් වශයෙන්...."

මිරිස් වැටිය පිළිබඳ මෙහි දී ප්‍රධාන අදහස් දෙකක් විද්‍යාමාන මේ.

1. මිරිස් ආහාරයක්.
2. මිරිස් පැස්සක් නැතිනම් මිරිස් වැටියක්.

මේ අනුව මූලික නිගමනයක ට බැසීම අසීරු නොවේ.

1. මෙය මිරිස් යෙදූ ආහාරයකි.
2. මෙය පැසක් ලෙස වැළදිය හැකි, නැතිනම් වැටියක් ආකාර ආහාරයකි.

මේ ආකාරයට තවත් නිරවුල් කරගත යුතු කරුණු දෙකක් ඇත.

1. කුමක් ද පැසක් යනු?
2. වැටියක් යනු කුමක් ද?

මේ කරුණු දෙකට පිළිතුරු සෙවීම පසෙකින් තබා තව කෙටි දුරක් සොයා බැලීමෙන් පසු නැවත මෙතැනට එමු.

මාරයා ඇතුළු සයිබරයේ උයන පිහන නඩේට මෙන්න ඔතුවක්. මම අද ඔබට රාජ භෝජනයකට මඟ කියමි. සකසාගෙන රස බලන්න. නුගේගොඩින් යනවා නම් අපිත් ආසයි මිරිස්වැටියකට……...

මේ කවි පංතිය කියවා බලන්න. (මූලාශ්‍ර, පුංචි බණ්ඩාර සන්නස්ගල, මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය, පිටුව 50.)

වම්බටු ලෙසට මස් අඹා පිසින කල
අමු මුං පොතු හැර සිනිඳු ව වැටූ කල
මෙ ලෙසම ඇඹූ මස් සරිව ඇඹරූ කල
අසමොදගම් දී අමු වයිතී ගත් කල

ලුණුත් කසාලා වරදිය කකියමින
බටුගෙඩි එහි සිටුවාලා එබුණු තැන
තිබු මස උඳු කැරලි කොට ඉරා තබමින
උම්බල මස් දැමූ පත් කඩ අඹව මින

කොතබුරු මිරිසිඟුරු අබ අසමොදග ම
කසා සැලුණු ලුනැඹුල් වටා ඇම
මස් මෙහිලා අනා ගෙන සැලී කැවුණ ම
වට පැසි මිරිස්වට මේ ඈ යෙදූ නම

මෙම පැඳි තුන අඩංගු වන්නෙ ආචාර්ය පුංචි බණ්ඩා සන්නස්ගල සූරීන් ඉතා වෙහෙස මහන්සියෙන් විමර්ශනය කොට රචනා කර ඇති මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය නම් ග්‍රන්ථයෙනි. මෙම ග්‍රන්ථයට අනුව පැදි තුනෙ අර්ථය අපට විමසා බැලිය හැක. එනම් මින් අපට ලබාගත හැකි නිගමනය නම් මෙය ඉතා ඈත කාලයක සිට රජගෙදර භාවිතයට ගත් වට්ටෝරුවක් බවයි.

මෙහිදී මෙම ආහාරය සකසා ගැනීම පිළිබඳ උපදෙස් ම වෙත ලබා දුන්නේ මගේ මිතුරෙක් මෙන්ම ගුරුවරයෙක් ද වන මා හිතවත් වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමා යි.

මෙහි දී පළමුවෙන් ම මස් හොදින් මෘදු වීමට අමු මුරුංගා පොතු දමා, වම්බටු ගෙඩි පමණ සකසා ගත යුතුයි. එනම් අමු මස් මුරුංගා පොතු සමග ඇබරීමෙන් පසු කුඩා ගුලි සකසා ගත යුතුයි. එහිදී අසමොදගම් සහ වයිතී හෙවත් වර්ණකාරක ද, ලුණු, කහ, ඇතුළු මිරිස්, කොත්තමල්ලි, අබ, ඉගුරු ආදිය ද, ලුණු ඇබුල් ද තුන පහ දමා සකසාගත යුතුයි. සියල්ල සම්පූර්ණ වූ පසු එය ගැබුරු තෙලින් රන් වන් වන සේ බැඳ සකසා ගත යුතුයි. මෙහි උම්බල මස්, නැති නම් මළමිරිස් යනුවෙන් හඳුන්වන්නේ අමු මස් තෙලින් බැඳ ගැනීමෙන් පසු අවස්ථාවයි.

දැන් අපි මෙහි සදහන් වට පැසි මිරිස්වට යන කොටස විමසා බලමු. මිරිස්වට යන්න පාලියට නැගීමේදී "මරිචවට්ටි" ලෙස ලිවිය හැක. නැවත එය සිංහලට පෙරලීමේ දී මිරිසවැටිය යන නම භාවිතයට එන්නට ඇතැයි සැලකීමට අපට මෙහි සාධක ඇත. දැන් මිරිස් ආහාරයක් හෝ මිරිස් වැටියක් යන්න නිසා මිරිසවැටිය යන නාමය ආ ආකාරය ඉතා පැහැදිලි ඇතැයි සිතමි.

ඊළඟ ප්‍රශ්නෙ වට පැසි යන්නයි. වට පැසි යන්න භාවිතාවේ දී ම සිතට පැමිණෙන අදහස වන්නේ යම්, පැසක් / කූඩයක් / මල්ලක් / පැස්සක් / පසුම්බියක් / සම්පයියක් / පැහියක්, වැනි යමක් භාවිතයෙන් සාදන දෙයක් යන්න යි. මෙහිදී එසේ නම් මෙම මිරිස් වැටිය යනු පසුම්බියක් වැනි යමක් තුළ සාදනු ලබන්නක් බව අපට මේ අනුව අවබෝධ වනවා. සිලින්ඩරාකාර කොපුවැනි ආකාරයේ යමකට පසුම්බිය යන්න භාවිතය ට ගත හැකියි නේද? එවිට සම්පයිය යනු කොපු ආකාර වට පැස්සක් නොවේ ද? දැන් මේ කවි පංතියේ අවසාන කවියේ අවසාන පදයට අනුව වට පැසි මිරිස්වට යනු සම්පයියක් තුළ බහාලූ මිරිස් ආහාරයක් හෙවත් සම්පයියක් ආකාරයෙන් තැනූ මිරිස් ආහාරය යි. මෙසේ වන්නේ තෙලින් බැද ගැනීමෙන් පසු පිටත මස් හොදින් බැදී කොපුවක ආකාරයෙන් සකස්වන නිසාය.

සිංහල ථූපවංසය ත්, සද්ධර්මාලංකාරය ත්, මෙම කරුණ පිළිබඳ යම් විමසීමක් කර ඇත. එහිදී ග්‍රන්ථ දෙකම මළමිරිස් පැස්සක් යන වචන භාවිතා කරයි. මෙසේ වන්නෙ ඇයි? අපි ඉහත වට පැසි මිරිස්වට යන්න විමර්ශනයට ලක් කළෙමු. එහිදී සම්පයියක ලූ මිරිස් ආහාරය ලෙස මේ වට පැසි මිරිස්වට යන්න විග්‍රහ කළෙමු. දැන් මෙය කුමනාකාරයේ ආහාරය ද යන්න පිළිබඳ යම් වැටහීමක් ඔබට ඇතැයි සිතමි.

නවීනයේ අපේ නිවෙස්වල මාළු මිරිස් පුරවා සාදන ආහාරය ඔබ සියල්ල භුක්ති විඳ ඇතැයි මම සිතමි. මෙයත් ඒ ආකාරයේ ආහාරයක් ලෙස නොපෙනේ ද? අනෙක රජතුමා සාංගීක කිරීමට පෙර භුක්ති වින්දා නම් එය එසේ හුදෙකලාව භුක්ති විඳිය හැකි යමක් විය යුතුයි නේ ද?

මෙහි දී මට නම් සිහිය ට නැගෙන්නෙ නවීන සොසේජස් (Sausages) / Meat Balls වැනි ආහාරයක් ලෙස මෙය භාවිතය ට ගන්න ට ඇතැයි යන්න යි.

දැන් සියලු සැක දුරු කර සම්පයියක ආකාරයෙන් සකස් කර ගත් මිරිස් වැටියක් සාදා භුක්ති විඳීමට කිම ද බාධා?
************************************************************************************

ප/ළි.
හිතවතුනි මට මීට කලින් ලියූ මනෝවිද්‍යාත්මක ලිපි පෙළේ අවසාන ලිපිය සම්පූර්ණ කිරීමට තිබේ. නමුත් මම එය දැනට අතහැර දමමි. ඒ මතුවට උපදේශනය පිළිබඳ දීර්ඝ ලිපි පෙළක් ලිවීම ට බලාපොරොත්තු වන බැවිනි. මේ අධික රාජකාරී බහුල බව තව මාස කීපයක් යන තෙක් තිබේවි. ඊට පසු පුරුදු පරිදි ලියමි. ඔබට ජය!!!!