Wednesday, June 13, 2012

සත්ව පරිණාමීය ක්‍රියාවලිය.

මගේ බ්ලොග් සදහා ගත කරන කාලය මේ ටිකේ ටිකක් අඩු වුනා. නමුත් මේ බ්ලොග් ලෙඩේ හැදිලා තියන කෙනෙකුට ආයිත් ඉතිං මේකෙන් ගැලවෙනවය කියන්නේ ......

මේකත් හරියට අබිං කෑව වගේ තමයි. මොනවා හරි කුරුටු ගාන්නමයි හිත. ඒත් මේ දිනවල ඇති වැඩත් එක්කම බොහෝම අඩුයි කාල වේලාව. මගේ සුපුරුදු බ්ලොග් කීපෙකටම කමෙන්ට් නම් දැම්මා.

දැන් කාලෙකට පස්සෙ ඇවිත් වැදගත් දෙයක් කියන්නයි මේ සැරසෙන්නේ. මේ කතාව මම කියන්න හිටියේ දැනට කාලෙකට කලින්. මම ලියපු විශ්වොත්පත්තිය ලිපි මාලාවෙදි. නමුත් ඒක එක පිළිවෙළකට ලියා ගන්න ලැබුණේ නැහැනේ. ඒ ගැන නැවත හිතන්න ඕනෙ ලඟදීම.

හින්දු පුරාණය කියන ග්‍රන්ථය ඔබ කියවා තිබෙනවද? ඒ අතර මහා භාරතයේ එන භගවත් ගීතාව, සහ Fourteen Upanishad (Maxmullar) නම් උපනිෂද් ග්‍රන්ථයේ මේ ගැන යම් යම් තොරතුරු ඔබට බලාගත හැකියි. මේ ග්‍රන්ථ වලින් උපනිෂද් 14, සහ භගවත් ගීතාව මා සතුව තිබෙනවා. හින්දු පුරාණයේ සම්පූර්ණ ග්‍රන්ථයම මට මෙතෙක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔබ අසා තිබෙනවානේ විෂ්ණු දෙවියා ගැන. ඔබ ඒ ගැන කුමක් සිතනවාදැයි මා දන්නේ නැහැ. නමුත් මම නම් සිතන්නේ මෙහෙමයි.

හින්දු දේව පුරාණයේ එන ප්‍රභලම දෙවිවරුන් ත්‍රිමූර්තියක් තිබෙනවා. ඒ..
1. බ්‍රහ්ම
2. විෂ්ණු
3. ශිව

මේ තිදෙනාගේ ක්‍රියාවන්ද එකිනෙකට වෙනස්. එනම්..
1. බ්‍රහ්ම නමින් උපතද,
2. විෂ්ණු නමින් පවත හෙවත් පැවැත්මද,
3. ශිව නමින් විපත හෙවත් අවසානයද දක්වනවා. බුදු දහමේ එන උත්පාද, ඨිති, භංග යන්නෙන්ද මෙයම විස්තර වන බවයි මගේ හැඟීම.

ඒ නිසා මගේ හැඟීම වන්නේ මෙලෙස දේවත්වය ආරෝපණය කර තිබෙන්නේ ස්වභාව ධර්මයේම සංසිද්ධීන් වලට බවයි.

මෙතැනදී මම කතා කරන්නේ මේ බ්‍රහ්ම හෙවත් උපත ගැනවත්, ශිව හෙවත් විපත ගැනවත් නෙමෙයි. විෂ්ණු හෙවත් පැවැත්ම ගැනයි. එනම් දිගුකාලයක් තිස්සේ මේ මනුෂ්‍ය සහ සත්ව සංහතියේ පැවැත්ම ගැන තමයි අපේ කතාව.

ඔබ අසා තිබෙනවද?????

විෂ්ණුගේ දශ අවතාරයක් තිබෙනවාය කියන කියමන. මම ඒ ගැන හිතන විදිහ තමයි මේ බ්ලොග් සටහනෙන් ඔබට කියන්නේ. හැබැයි මේ මම හිතන හැටි. වෙන කෙනෙක්ට තමන් කැමති විදියකටත් හිතන්න ඉඩ තියෙනවා. ඒක තම තමන්ගේ වැඩක්. ප්‍රජාතන්ත්‍රීය අයිතියක්.

මේ විශ්වයේ තිබෙන යම් වස්තුවක් වේද එයට උපතක්, පැවැත්මක්, විපතක් පැවතීම අනිවාර්ය්‍යයි. එතකොට මේ දේව ත්‍රිමූර්තියෙන් දක්වලා තිබෙන්නේ මේ පූජනීය සංකල්පය කියන එකයි මගේ හැඟීම.

සත්ව පරිණාමය කියන්නේ සත්වයා මෙලොව රසායනික හෝ යම් වෙනත් අයුරකින් බිහි වුණාට පස්සේ එනම් උපතට පසු සත්ව සංහතියේ පැවැත්ම කියන කාරණයයි. මේ පැවැත්ම නොයෙක් කාල වලදී නොයෙක් ආකාරයට වෙනස් වෙන්න ඇති. ඒ වෙනස් වීමට අපි පරිණාමය ලෙස නම් කළා. එතකොට මේ පරිණාමික ක්‍රියාවලියට භාජනය වෙන්නේ සත්වයාගේ පැවැත්ම. එනම් විෂ්ණු. විෂ්ණුගේ අවතාර ලෙස හඳුන්වන්නේ මේ පැවැත්මේ ඇතිවන වෙනස කියන එකයි මගේ කල්පනාව.


දැන් අපි බලමු විෂ්ණුගේ දශ අවතාරයන් කියන්නේ මොනවද කියලා?

1. මත්ස්‍ය අවතාරය.
2. කුර්ම අවතාරය.
3. වරාහ අවතාරය.
4. වානර අවතාරය.
5. නර-සිංහ අවතාරය.
6. පරශුරාම අවතාරය.
7. රාම අවතාරය.
8. කෘෂ්ණ අවතාරය.
9. බුද්ධ අවතාරය.
10. කල්කී අවතාරය.

දැන් මේ දහය එකිනෙකින් වෙන වෙනම යම් තරමකට පැහැදිලි කරගමු.

1. මත්ස‍ය අවතාරය. - මෙකෙදි මත්ස්‍ය කියන්නේ මාළුවටනෙ. මනුස්මෘතියේ කියවෙන්නේ (මේ මනුස්මෘතියත් ඉතාම වටිනා පුරාණ ග්‍රන්ථයක්.) බ්‍රහ්ම පළමු කොට ජලය මවා බ්‍රහ්මාණ්ඩය එහි හෙළු බවයි. (මෙහිදී "මවා" යන්නෙන් "මැවීම වාදයක්" ගැන කතා කරනවා නම් අප ඒ ගැන කතා කළ යුතු නැහැ නොවැ. නමුත් ඉතා හොඳින් බැලීමේදී මෙහි එයිට වඩා දෙයක් තිබෙනවා. ඒ නිසා අපි මේ මඟේ දිගටම යමු.)
පළමු අවතාරය වන මත්ස්‍ය අවතාරයෙන් පෙන්වන්නේ ලෝකයේ ජීවය පහළ වූයේ ජලයේ බවයි. එනම් බ්‍රහ්ම හෙවත් උපත ඇති කරන්නා වූ බලවේගය ප්‍රථම ජීව පුංජය ජලයේ පහළ කර ඇත.

2. කුර්ම අවතාරය. - කුර්ම කියන්නේ ඉදිබුවායි. ඉබ්බා කියන්නේ දිය ගොඩ දෙකේම ජීවත් වෙන සතෙක්.
ඉදිබුවා යන ජලය සහ ගොඩබිම වාසය කරන සත්වයාගෙන් නිරූපණය වන්නේ, සත්වයා දැන් යම් ඉහළ අවධියකට පැමිණ ඇති බවයි. එනම් සත්වයා දියේ ජීවත් වන අතරම ගොඩබිම තම ජීවිතයද අරබා ඇත.

3. වරාහ අවතාරය. - වරාහ කියන්නේ සූකරයා නැත්නම් ඌරා. මේ සත්වයා ජීවත් වෙන්නේ මඩ ආශ්‍රිතව.සූකරයාගේ වාසය ගොඩබිම වුවත් යම් තරමකට මඩටද ප්‍රිය සත්වයෙකි. එනම් මේ සත්වයාගෙන් නිරූපණය වන්නේ තවත් ඉහළ සත්ව අවධියක් බව දැන් අපට පැහැදිලි වේ.

4. වානර අවතාරය. - වානරයා කියන්නේ යම් පමණකට දියුණු සතෙක්. දෙපා ඉරියව්වට යම් හුරුකමක් ඇතත්, අංගුලි වර්ධනය එහෙම බොහෝ දුරට දියුණු සතෙක්ට සමානකම් තිබෙන සතෙක්. සත්වයා තිරිසන් යුගයේත් දියුණු අවධියකට පැමිණ තිබේ. ක්ෂීරපායින් ලොව රජ කරයි. මේ තවත් ඉහළට සත්වයා දියුණු වූ අවධියකි.

5. නර- සිංහ කියන්නේ අර්ධ මිනිස් අර්ධ වානර සත්වයන්ට. වානර වෙසින් මිනිස් වෙසට පෙරැළීම ඇරබී තිබේ. අර්ධ මිනිස් වානරයන් පහළ වී ඇත.

6. පරශුරාම අවතාරය. - මෙකෙදි පරශු කියන්නේ පොරවට. රාම කියන්නේ බුද්ධියේ යම් පිබිදීමක් හඟවන පදයක්. කියන්නේ දඩයමක් කර ගැනීමට ප්‍රාතමික ආයුධ භාවිතයට මේ සත්වයා දැන් හුරුයි. දඩයම් යුගය ඇරබීම මින් නිරූපණය වේ.

7. රාම අවතාරය. - මිලේච්ඡත්වයට එරෙහිව සටන් වදින්නෙක් වන්නේ රාමායි. බුද්ධිය හොදින් වර්ධනය වී සමාජ සම්බන්ධතා ගොඩනඟාගෙන සංවිධානත්මක සමාජයක් වෙත ක්‍රමයෙන් පිය නඟන සත්වයා මින් නිරූපණය වේ.

8. කෘෂ්ණ අවතාරය. - බුද්ධියේ උපත කෘෂ්ණාය. මොහු ඉතාමත් බුද්ධිමත් වන අතර, පර්යේෂකයෙක් වේ. තවද ඉතාමත් දක්ෂ සංවිධායකයෙකි. නවීන සමාජයට පෙර තිබූ සදාචාරවත් බුද්ධිමත් සමාජය මින් නිරූපණය වේ.

9. බුද්ධ අවතාරය. - බුද්ධියේ විකසිත අවධියයි. වර්තමානය යි.

10. කල්කී අවතාරය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? බුද්ධ අවතාරය මගින් වර්ථමානය නිරූපනය වනවා නම් කල්කී මගින් නිරූපණය විය යුත්තේ මිනිස් පරිණාමයේ ඊටත් වඩා උසස් අවධියක් නේද? එනම් කාලය සහ අවකාශය ඉක්මවා යන, අර්ථයක් ගම්‍යමාන වන බව ඔබට නොපෙනේද? මිනිස් පිටපත් සෑදීම, වෙනත් ග්‍රහලෝක වෙත ජීවය බෝ කිරීම, පරිඝනක තාක්ෂණයේත්, ඉංජිනේරු තාක්ෂණයේත්, වෛද්‍ය තාක්ෂණයේත් ඉහළම දියුණුව ලබන අනාගත මිනිසා මේ කල්කී අවතාරය නමින් හඳුන්වා ඇත යනු මගේ අදහසයි.

නූතනයේ දියුණුවත් සමඟ පරිණාමීය ක්‍රියාවලිය අර්ථ දක්වා ඇත්තේත් ඉහත පිළිවෙළටම බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි.

මම ඔබට විශේෂ දෙයක් කියන්නම්.

මේ දේවල් මිථ්‍යාවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද අපි මිථ්‍යාවල් කියා ඉවත් කරන බොහෝ දේවල් බටහිර ජාතීන් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් දැනුම ඔවුන්ගේ දියුණුව සදහා යොදා ගත්තා. නමුත් අපි ඔවුන්ටත් බැණ, බැණ, අපේ දේවලුත් විනාශ කරගෙන කොයි යනවාදැයි නොදැන යන මේ ගමනේ අවසානය කුමක්ද?


සදෙව් ලොව නම් සංකල්පයද මෙලෙසම අර්ථ දක්වමු ඉදිරියේදී......

Tuesday, May 8, 2012

උඩරට ගිවිසුම 02, අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ......



















මුලින්ම ඉල්ලා සිටිනවා ඉතා දිගට ලියවී ඇති මේ ලිපිය ඉතා සාවධානව කියවා හොදින් කල්පනා කර බලන්න. ඒ වගේම මම මේ දක්වා ඇති පොත් පතුත් සොයාගෙන කියවන්න. ඔබ සැමගේ සක්‍රීයදායකත්වය මම බලාපොරොත්තු වෙනවා.

ඉතිහාසය කියන්නේ ඇත්තෙන්ම වුණ දෙයක් වුණාට ඒ ගැන අපි හරි හැටි නොදැනීම නිසා නොයෙක් අලකලංචි වෙනවා. හැබැයි අපි මතක තබා ගත යුතුයි, මේ විෂය නිසා වෙන අකරතැබ්බ නිසා අගෞරවයක් වෙන්නේ බොහෝ විට දැනට ජීවත් වෙලා නොයින්න කෙනෙකුට. ඒ නිසා ඉතිහාසය හදාරද්දි ලියලා තියන දේට අමතරව තවත් යමක් ඇත්ද කියන කාරණය හිතේ තබාගෙන හදාරන එක වැදගත්. මොකද අපි නොදන්න බොහෝ දේවල් මේ පරිසරයේ කලින් සිදුවෙලා තියනවා.

අද අපි දුෂ්ටයෙක් කියලා හිතන කෙනෙක් කාලෙකට ඉහත ඉතාම වැදගත් විරුවෙක් වෙන්න ඇති. එතකොට ඉතිහාසය කියන්නේ මේ වගේ අළු දූවිලි පිහදාල විරුවන් විරුවන් කිරීමත් දුෂ්ටයන් ගැන තවත් හදාරන එකත් කියන මේ දෙකම. ( මේ ගැන තිබෙන නිර්වචන වලට අමතරව.)

මමත් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. ඒ විතරක් නෙමෙයි මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ලිපිය හැකි තරම් බෙදාගන්න, කියවන්න, හිතට ගන්න, අපි අපිට හැකි දෙයක් කරලා අපේ ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන්ට අපේ යුතුකම් ඉටු කරමු.

ඒ වගේම අපේ මේ සිංහලේ රාජධානියට වුණු වැරදි අපි නැවත අපිට හැකි විදියට හරිගස්සමු. කවදා හරි පෙන්නා දෙමු අපි මේ තුන් සිංහලේ ජීවත් වන සියලුම ජාතීන් සිංහලේ කියන නමත් එක්ක ජීවිතයෙන්ම බැඳී ඉන්න වග.

මේ අතරම මා ගැනත් යමක් එක් කිරීමට කැමතියි. මගේ දර්ශනය අනුව මම ජාතිවාදියෙක් නෙමෙයි, ආගම් වාදියෙකුත් නෙමෙයි. මේ සිංහලේ පිං බිමේ කැමති ඕනෙම කෙනෙකුට කැමති ආකාරයකින් අනිත් අයට කරදරයක් නෙවෙන විදියට ජීවත් වෙනවට මගේ නම් කිසිම තරහක් නැහැ.

ඒත් අපේ සිංහලේ ඉතිහාසය කියන්නේ මේ හැමෝගෙම ඉතිහාසය. අන්න ඒක කවදාවත් අමතක කරන්න නරකයි.

එහෙනම් දැන් කතාවට.......

ව්‍යාජ කන්ද උඩරට ගිවිසුම.

මෙම ගිවිසුම පිළිබඳව මට සැක තැන්.
1. අත්සන් කළ දිනය.
2. ගිවිසුම ප්‍රකාශයට පත්කළ දිනය.
3. ගැසට් නිවේදනය ප්‍රකාශ වූ දිනය.
4. ඇත්තටම අත්සන් කල දිනයන්.
5. අත්සන්වල වලංගුභාවය.
6. ගිවිසුමේ නියම පිටපත සහ එහි වලංගුභාවය.
7. ඇහැළේපොළ නිලමේතුමා දෝහියෙක්ද? නැත්නම් අසරණ වීද?
8 මොල්ලිගොඩගේ නියම තත්ත්වය කුමක්ද?

අපි මේ එක එකක් ගැන විස්තරාත්මකව බලමු.


කන්ද උඩරට රාජධානිය පිළිබඳ විස්තර මගේ බ්ලොග් සඟයන් වන හසිත ඇතුළු පිරිස ඉදිරියේදී ලබා දෙනු ඇත. මම මෙහිදී මාගේ ව්‍යායාමය වන උඩරට ගිවිසුම පිළිබඳව පමණක් සිත යොමු කරමි.

1/2/3/4 පළමුව ගිවිසුම අත්සන් කළ දිනය.

අත්සන් කළ දිනය ගැන තිබෙන සැක තැන් ටික අපි මුලින්ම බලමු.
1. මේක අත්සන් කළ දිනය විදියට නිල වශයෙන් සදහන් වෙන්නේ 1815 මාර්තු 02 දිනයි.
2. මේ සම්බන්ධ නිල උත්සවය පවත්වා ඇත්තේත් 1815 මාර්තු 02 දිනයි.
3. උඩරට නව නිලධාරීන් තම අභිනව නිල වලට පත් කරන ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේත් මාර්තු තුන්වන දිනයි.
4. එතකොට අත්සන් තැබුවේ 02 දිනනම් එතැන මෙහෙම සැකයක් එනවා. මේ ගිවිසුම අත්සන් තැබුවේ සිංහලෙ සිටි නිලධාරීන් පිරිසමද? එහෙම නැත්නම් අභිනව නිලධාරීන්ද. අභිනව අයට ගැසට් පත්‍රය ප්‍රසිද්ධ වෙනකම් අත්සන් කළ හැකිද? හැබැයි පරණ නිලධාරීන්ට නම් එහෙම අත්සන් කළ හැකියි. අපි හිතමු එහෙම වුණා කියලා ඒ වගේම එම නිල වලටම එම නිලධාරීන් පත්කළා කියලා. එතකොට ඒක හරි. නීත්‍යානුකූලයි.
5. හැබැයි මෙහෙම දේකුත් තියනවා. මිල්ලව දිසාව හෙවත් මිල්ලව කරුණාධාර ඒකනායක මුදියන්සේ අත්සන් කළ බව සඳහන් වෙන්නේ 1815 මාර්තු 05 දිනයි.
6. තවත් වැදගත් දෙයක් තිබෙනවා රජය නිලවශයෙන් සිංහලේ රජය භාරගත් බවත් ගිවිසුමත් පිළිගත් බවට නිල නිවේදනය නිකුත් කර ඇත්තේ 1815 මාර්තුමස 10 වන දිනයි.
7. ඇහැළේපොළ නිලමේ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 1815 මාර්තු මස 18 දිනයි. ඒ එතුමා මාර්තු 11 දින දක්වා අසනීපව සිටීමත්, එතැන් සිට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අසනීපව සිටි බවත් සඳහන් වෙනවා.
මේ සියලුම සාක්ෂි සදහන් වෙන්නේ මේ කුමන්ත්‍රණයේ එක් මහමොලකරුවෙක් වූ ජෝන් ඩොයිලි විසින් රචනා කරන ලද දිනපොත් වලයි.

ඩොයිලිට අනුව ඇහැළේපොළ නිලමේතුමා මෙයට අත්සන යොදා ඇත්තේ ආණ්ඩුකාරයා පෞද්ගලිකව හමුවීමෙන් පසුවයි. එනම් මාර්තු 18 වන දිනයි.


දැන් එනවා මෙහෙම සැකයක්. ඇයි ඇහැළේපොළ නිලමේතුමා මෙතරම් කල් ගත්තේ. මාර්තු 02 පැවැති උත්සවයට එතුමා සහභාගී වූ බව ජෝන් ඩේවි නම් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා වාර්තා කරලා තිබෙනවා. ඒකත් එක් සැක තැනක්. ඒ වාර්තාවේ තිබෙන්නේ, ඇහැළේපොළ නිලමේතුමා මේ උත්සවයට පැමිණියේ එවකට සිටි සිංහලේ ප්‍රධානම නිලධාරියා ලෙස නෙමෙයිලු. එතුමා විශ්‍රාම ගන්න කැමති වුනාලු. මම නම් මේ කියමන පිළිගන්නේ නැහැ. එතුමාගේ ස්වභාවය ඒක නෙමෙයි. එතුමා තම පවුල නැති වීමත්, තම රජය නැති වීමත් එක්ක රට බේරා ගැනීමට යම් දෙයක් කරන්න ඇති. ඒ නිසා එතුමා සිටියේ සුද්දාගේ අත්අඩංගුවේ කියන එකයි මගේ නම් හැඟීම. අපි වෙන ලිපියකි නැවත ඒ ගැන කතා කරමු. දැනට මම මේ සිද්ධිදාමයේ සැක සහිත තැන් කතා කරන්නම්.

(1) මගේ පළවෙනි ප්‍රශ්නය - එකම දිනක පැවති උත්සවයට සහභාගී වූවා නම්, ගිවිසුම සෑදීමට එක් වුනානම් ඇයි එදාම ඇහැළේපොළ තුමා ඒකට එදාම අත්සන් නොකළේ?
(2) මට ඇති ඊළඟ ප්‍රශ්නය - මෙතරම් කලින් ඇයි සුද්දා ගිවිසුම ගැසට් කළේ? කොටින්ම එතකොට සිංහලේ එවකට සිටි ප්‍රධානම නිලධාරියාවත් අත්සන් කර නැහැ. තවත් අයගේ අත්සන් ගන්නත් තිබෙනවා. මේක කුමන්ත්‍රණයක ලක්ෂණයක් නෙමේද?
මට ඇති තුන්වන ප්‍රශ්නය -( නිල නාම වශයෙන් ගත්තත් ඇහැළේපොළ යනු කන්දේ නුවර සිටි ඉතාමත් කීර්තිමත් අයෙකි. කොටින්ම රටේ යුව රජු ලෙස ජනතාව අතර පිළිගැනීමක් මෙතුමාට තිබිණි. එම නිසා මා නම් මෙතුමා රට පාවා දුන් බව මොහොතකටවත් නොසිතමි. එවකට පළමු අදිකාරම් තනතුර දැරීය. ඇහැළේපොළ කුමාරිහාමි ඉතාමත් ලක්ෂණ කාන්තාවක් බැවින් එතුමියට ආසක්ත වූ රජු මෙතුමාව විනාශය කරා මෙයෙය වූවත් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමට සෑදී පැහැදී සිටි බව මේ කථාවන් කියවන මට නම් හැඟේ. මා මහනුවර රාජකාරී කල සමයේ අසා තිබූ කතාවක් නම් කුමාරිහාමිගේ හොල්මන මධ්‍යම රාත්‍රී කාලවල ගුඩ්ෂෙඩ් කිට්ටුවෙන් ගමන් කරනු දැකිය හැකි බවයි. ඉතාම ශෝකාකූල ශෝභන මුහුණක් ඇති කතක් ඉකි බිදිමින් ගමන් කරනු දැක ඇති ව්‍යෝවෘද්ධ මිනිසුන් කීපදෙනෙක්ම මට මුණ ගැසී ඇත. සමහර විට තම පවුලටත් සැමියාටත් වූ අසාධාරණය, කෘර වූ ඉරණම සහ දරුණු අපහාසය නිසා ඇයගේ යම් භූත ස්වරූපයක් මෙසේ ගමන් කරනවා විය හැක.)

(3) ඇහැළේපොළ නිලමේතුමන් විශ්‍රාම යාමට කල්පනා කළා නම් එතුමා පසුව තම අත්සන යෙදුවේ කෙසේද? එතුමාට තව දුරටත් සිංහලේ ඉහළම නිලධාරියා ලෙස ගරුකළේ කෙසේද? සහ ඩේවි කියන අයුරු ගිවිසුම අත්සන් කළ දින එතුමාගේ කතාවට අනුව එතුමා යුවරජු ලෙස ජනතාව පිළිගත්තේ ඇයි? මේ සියල්ලම තිබේවා 1818 කැරැල්ල වෙලේ මෙසේ විශ්‍රාමික නිලධාරියෙක් ද්‍රෝහියෙක් වූයේ කෙසේද? ඩේවි (ජෝන් ඩේව්, ශ්‍රීමත් හම්ෆි ඩේව්ගේ සොයුරා. කීර්තිමත් වෛද්‍යවරයේ. එවකට ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස සැලකිය යුතු වගකීමක් දරමින් සිංහලේ ජීවත් වී තිබෙනවා. ඔහු රචනා කර ඇති An Account of the Interior of Ceylon and of its Inhabitants, with Travels in that Island. (1821) පොත ඉතාම ඉහල පිළිගැනීමක් තිබෙන පොතක්.) කියන අයුරු සියලුම ප්‍රභූන් එතුමාට විශාල ගරුත්වයක් දක්වන බව පෙනුණා නම් ඇයි එතුමා විශ්‍රාම ගිය බවක් සඳහන් වන්නේ? වඩාත් වැදගත්ම දේ එදින කතාවක් කළ නිලමේතුමා අත්සන දැමීමට තරම් නීරෝගී නොවූයේ කෙසේද?

ඔබ දන්නවාඩ්? ඩේවි කියන ආකාරයට එතුමා ගිවිසුම අත්සන් කළ දින මුළු උත්සවයටම සිටගෙන සහභාගී වූවාලු. නමුත් අනෙක් අය සමග එදින අත්සන ගැසීමට තරම් සනීපයක් තිබී නැහැ. පුදුමයි නේද? එතුමා අත්සන තබා ඇත්තේ තවත් දින 16 පසු ආණ්ඩුකාරයා පුද්ගලිකව හමු වී කෙසේ විශ්වාස කරම්ද?

4. මගේ සිව්වැනි ප්‍රශ්නය - අපි දන්නවා ගමේ ගොඩේ උකස් ලියවිල්ලක්වත් අත්සන් නැතුව පිළිගන්නේ නැහැ. එතකොට කිසිම ලියවිල්ලක අදාළ පාර්ශ්ව අත්සන් කර නැතිනම් කවදාවත් එහි අගයක් නැහැ. ඒත් රටවල දෙකක් අතර ඇතිවන ගිවිසුම් කියන්නේ සෙසු පටු දෙයක්ද? මෙතනදී ඒ සරල ප්‍රතිපත්තිය අනුගමනය වී නැහැ නේද? ඇහැළේපොළ සිංහලේ සිටි ජ්‍යේෂ්ඨම නිලධාරියෙක් වුවත් ඔහුගේ අත්සන නැතුව මාර්තු 10 රජයේ නිල නිවේදනය නිකුත් කළේ කොහොමද? අනිත් එක මාර්තු 18 අත්සන් කළ ඇහැළේපොළ නිලමේගේ අත්සන මාර්තු 10 නිකුත් වූ ගිවිසුමේ අත්සන් එක්ක ආවේ මොන ක්‍රමයකින්ද?

මේ කතාව එක එක දිගටම ලිවීමෙන් එහි අගය වැඩි වනවා. ඒ නිසා මම මේක දිගට ලියන්න හිතුවා. මගේ ඉල්ලීම අවසානයටම කියවන ලෙසයි. ඉන් පමණයි අපේ විරුවෙක්ට එල්ල වී ඇති අභූත චෝදනා වලින් එතුමාව ශුද්ධ කිරීමට අපට හැකි වන්නේ.


5 අත්සන්වල වලංගුභාවය.

අපි මෙතෙක් කතා කළේ ගිවිසුම අත්සන් කළ දිනයන් පිළිබඳව. ඒ විතරක් නොවෙයි මෙහි ඇති සැක තැන් තවත් බොහෝයි. ඒ අතරින් තවත් එක් මාතෘකාවක් තමයි අත්සන්වල වලංගුභාවය. මම එහෙම කියන්නේ හේතු ඇතුව. මේ ගැන අපේ රටේ ප්‍රකට විද්වතෙක් සොයා බැලීමක් කර තිබෙනවා. මම එතුමාගේ තොරතුරු මුලින්ම කියන්නම්. මම මෙතුමාව මුණගැසෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉක්මනට අපි මුණ ගැසෙයි. එවිට තවත් තොරතුරු ඔබට ගෙන එන්නම්.

මෙතුමා තමයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්ත මේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලලිත් ගුණවර්ධන මැතිතුමා. මේ අත්සන් ස්කෑන් ඡායාරූපයට ගෙන තිබෙන්නේ එතුමායි. එම නිසා මැතිතුමනි ඔබට ප්‍රණාමය.

1.ඇහැළේපොළ අත්සන
මෙහි මම ඔබට ඉදිරිපත් කරන්නම් ඇහැළේපොළ නිලමේතුමාගේ නියම අත්සන සහ එතුමා තැබුවා යැයි පිළිගන්නා (1815 මාර්තු 18) ගිවිසුමේ සටහන් අත්සන.
මෙම ඡායාරූපය අනුව පෙනෙනවා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් බව.
ගිවිසුමේ සඳහන් අත්සන දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති අතර අනෙක් සන්නසේ ඇති අත්සන සිංහල අකුරින් සටහන් කර තිබෙනවා. මේ අත්සන් දෙකේ යම් නීතියක් තිබෙනවා. ඔබ හොදින් බලන්න. නිලමේතුමාගේ සිංහල සන්නසේ අත්සන වටා ඕවලාකාර රවුමක් ඇඳ තිබෙනවා. ඒ වටා අර්ධ කාවාකාර රවුමක් තිබෙනවා. එහි ඒක් පසෙක ඊතලයක පිටුපස පෙනුමත්, අනෙක් පස ගැටයක් සහිත යම් සළකුණකුත් තිබෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක්. සිංහලේ නිලධාරියෙක් අත්සනක් තැබූ විට මේ සලකුණෙන් තමයි එතුමාගේ නිලය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ. මාර්තු 10 වෙනිදා නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව එතුමා 1811ත් 1819 අතර කාලයේ සබරගමුවේ මහ නිලමේතනතුර දැරූ නිසා එයට මේ සංකේතය ගැලපෙනවා.

මෙහිදී සිංහලේ අත්සන් ගැන තව ටිකක් ඔබට පහදා දෙන්නම්. පළමු සහ දෙවන අදිකාරම් ධූරය දැරූවන් හැම විටම තම නම අත්සන් කර ඒ වටා වෘත්තයක් ඇඳ ඇත. තවත් තනතුරු දැරූවන් ඒ තනතුරුවලට ගැලපෙන ලෙස අර්ධ වෘත්තයක් ඇඳ ඇත. උදාහරණ ලෙස එවකට දිසාවේ තනතුරු දැරූවන් මේ අර්ධ කවාකාර රවුම සහ එහි කෙළවරවල් වල කොකු ආකාර සලකුණත්, අදිකාරම් තනතුරු දරමින්ම දිසාවේ තනතුරු දැරූවන් වෘත්තය වටා අර්ධ වෘත්තයත්, නිකම්ම වෘත්තයක් පමණක් අදිකාරම් තනතුර දැරූවනුත් ලෙස අත්සන් කර ඇත. ( කොඩ්‍රින්ටන් සටහන් )

ලලිත් ගුණවර්ධන මැතිතුමා අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික උගතෙක් බැවින් එතුමා ශ්‍රී ලංකාවේ වර්තමාන නඩුවලදී උඩරට නිලමේවරුන්ගේ අත්සන් හඳුනා ගැනීමේ විෂේශඥ්ඥයෙක් ලෙසද කටයුතු කර ඇති විද්වතෙකි. ඒ නිසා මේ අත්සන් පිළිබඳ එතුමාගේ අදහස් මේ අවස්ථාවේදී ඉතාමත් වටිනා බව කිව යුතුමය.

ඒ අතර තවත් සැකයක් ඇති කරන කාරණයක් නම්, ගිවිසුමේ පිටපත් කීපයක මෙම අත්සන (ඇහැළේපොළ අත්සන.) ආකාර කීපයකට තිබෙනවා. ඒක එහෙම නම් එකම ගිවිසුමකට වෙනස් අත්සන ඇති (එකම පුද්ගලයන්ගේ විවිධ අත්සන් ඇති ) විකාර රූපී ගිවිසුමක් බවට මෙය පත් වනවා නේද?


2 පිළිමතලාවේ නිලමේතුමාගේ අත්සන.
මෙතුමාගේ අත්සනෙත් ඉහත ඇහැළේපොළ අත්සන ලෙසටම දෙමළ භාෂාවෙන් ගිවිසුමේ අත්සන් තබා ඇතත් එතුමාගේද නියම අත්සන වෙනත් සන්නස්වල ඇති ආකාරයට නම් එතුමාගේ නිලය වන හතර කෝරළයේ දිසාව යන තනතුරට ගැලපෙන අතර. ගිවිසුමේ සටහන් වී ඇති අත්සන කිසිසේත්ම එතුමාගේ නියම නිලය හා නියම අත්සන නොවන බව ඔබට ද මේ ඡායා පිටපත් අනුව පැහැදිලි වනු ඇත.

3 මොල්ලිගොඩ අත්සන.
මොහුගේ නිල තත්ත්වය වන්නේ එවකට පළමු වැනි අදිකාරම හා සත් කෝරළයේ දිසාව. මෙහිදී ලලිත් ගුණවර්ධන මැතිතුමාගේ වචනවලින්ම මම ඒ උපුටා දක්වන්නම්. " සබරගමු සන්නස් වෙළුමේ මොල්ලිගොඩගේ නම සඳහන්ව ඇත්තේ මොල්ලිගොඩ රජකරුණා සෙනෙවිරත්න අභයකෝන් හේරත් වාසල මුදියන්සේ ලෙසය. කොඩ්‍රින්ටන් ගොනුවේ මෙම නම යටතේ ඇති මොල්ලිගොඩගේ අත්සනත්, සබරගමුවේ සන්නස් වෙළුමේ අත්සන් ගණනාවක්ද එක සමානය." නමුත් ගිවිසුමේ එක පිටපතක මොල්ලිගොඩගේ එක අත්සනක් හා අනිත් අත්සන් අතර පරස්පරතාවයක් ඇත. මේ ගැන ඉදිරියේදී මම ඔබට සඳහන් කරන්නම්.


4. කණිෂ්ඨ පිළිමතලාවේ හෙවත් මහ පිළිමතලාවේ නිලමේගේ පුත්‍රයාගේ අත්සන.
(1812 දී රාජසිංහ රජුගෙන් හිස් ගැසුම් කෑ පිළිමතලාවේ. මෙතුමා ගැන මට වෙනම කිව යුතු වුවත් එය මෙතැනදී කීමට මම අදහස් කළෙමි. හේතුව ඉතාමත් දක්ෂ නිලධාරියෙක් වුවත් මෙතුමා ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට පත් වන්නේ අනෙක් අයගේ ඊර්ෂ්‍යාව නිසාය. විශේෂයන්ම මොල්ලිගොඩගේ. මෙතුමා වාර කීපයක්ම රාජද්‍රෝහී වැඩවලට අසුවුවත් රජුගෙන් සමාව ලබයි. මා අසා ඇති පරිදි මෙතුමා රාජසිංහ රජුගේ අනියම් පියාය. මෙතුමා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අක්කා සමඟ සිට ලැබෙන දරුවා වන්නේ රාජසිංහයි. දීර්ඝ සැලසුමක් සිතේ තබාගෙන රජකම ඔහුට ලබා දීමට මෙතුමා සමත් වෙයි. එනම් කෙදිනක හෝ ඒ හරහා තමා රජ වී සිංහලේ රජකම නැවත සිංහල අතට ගැනීමටයි. නමුත් එය ඉටු නොවන්නේ මේ ඉව වැටෙන මොල්ලිගොඩ ඇතුළු අනෙක් ප්‍රධානීන්ගේ කුමන්ත්‍රණ නිසාය. මෙතුමාගේ බෑණනුවන් වන්නේ ඇහැළේපොළ මැතිතුමායි. ඉදිරියේදී ඒ ගැන තවත් කතා කරමි.)
මෙතුමාගේ නිලය වන්නේ (කණිෂ්ඨ පිළිමතලාවේ.) සතර කෝරළයේ දිසාපති පදවියයි. මෙතැනදීත් හරි අපූරු දෙයක් තමයි සිදු වී ඇත්තේ. එනම් මෙතුමාගේ නිල නාමය ඉදිරියෙන් තිබිය යුතු අත්සන ගිවිසුමේ ඇත්තේ ඊළඟ පේළියේ පහළින් මෙතුමාගේ අත්සන තිබිය යුතු තැන ඇත්තේ එතුමාගේ පියාගේ සොයුරා වූ සබරගමුව දිසාව වූ පිලිමතලාවගේ අත්සනයි. මෙතුමාගේ අත්සන ඇත්තේ සබරබමුව දිසාව අත්සන් කළ යුතු තැනයි. රටක් පාවාදුන් ගිවිසුමක හැටි. විශ්වාස කළ හැකිද?

5. මොනරවිල හෙවත් කැප්පෙටිපොළ නිලමේතුමාගේ අත්සන.
මෙතුමා ඌවේ දිසාවයි. මෙතුමාගේ සන්නසක ඇති අත්සනත් ගිවිසුමේ අත්සනත් අතර පරස්පරතාවයක් දැකිය හැක. අනෙක මෙතුමා සාමාන්‍යයෙන් අත්සන් කර ඇත්තේ දෙමළෙන් වන අතර ගිවිසුමේ ඇත්තේ සිංහලෙන් ලියන ලද මොනරවිල යන්න පමණි. අනෙක් දෙමළ අත්සනේ ඇති සලකුණු අනුව මෙතුමාගේ නිල තත්ත්වය පැහැදිලිව හඳුනාගත හැකි අතර සිංහල අත්සන නිකම්ම නමක් ලිවීමක් පමණි. ගරු ගාම්භීරව අත්සන් කළයුතු තැනක තම නම පමණක් ලිවීමට තරම් කෙනෙක් විශේෂයෙන් ඉතාම ඉහළ නිලයක් දරන්නෙක් පෙළබෙයිද? තම නිලය නැතුව නිකම්ම නම ලියයිද?

6. රත්වත්තේ නිලමේතුමාගේ අත්සන
ගිවිසුමේ ඇති අත්සනේ ඇති වැදගත් ලක්ෂණයක් නම් සිංහල දෙමළ සහ හඳුනානොගත් යම් යම් සලකුණු මිශු අත්සනක් ලෙස එය සටහන්ව තිබීමයි. මාතලේ දිසාවයි. මෙතුමන්ගේ නියම අත්සන දෙමළ අමිශු අකුරින් යුතු තම නිලය හඟවන සලකුණු වලින් යුතුය. නමුත් ගිවිසුමේ ඇත්තේ පරස්පර විරෝධී අත්සනකි. නැවතත් අසමි. විය හැකිද?

අත්සන් ගැන කීමේදී මෙයට අත්සන් කළ අනෙක් පාර්ශවයෙන් එනම් ඉංග්‍රීසීන්ගේ අත්සන් තුනක් මෙහි ඇත. රොබට් බ්‍රව්න්රිග් ආණ්ඩුකාරයා, රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි සහ ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් ලෙස ජේම්ස් සදර්ලන්ඩ්. මේ තිදෙනාගේ අත්සන් එම කාලයේ ඔවුන්ගේ අනෙකුත් අත්සන් සමඟ හොදින් පෑහේ.

6. ගිවිසුමේ වලංගුභාවය.
ඉතාම වැදගත් මාතෘකාවකි. දැනටත් ඔබ දන්නා පරිදි මෙය නිකම්ම කොළ කෑල්ලකි. රැවටීමකි. නමුත් අප එය තහවුරු කළ යුතුය. ඒ නිසා මේ ගැනත් බලමු. ගිවිසුමේ පිටපත් එකකට වඩා ඇත. එය එසේම විය යුතුය. අඩුම ගණනේ පිටපත් දෙකක්වත් තිබිය යුතුය. දැනට ප්‍රසිද්ධ පිටපත් දෙකක් ඇත. එහෙත් ඒවා සමාන විය යුතුය. කරුණු අතින් මෙන්ම අත්සන් නියමාකාරයෙන් විය යුතුය.

එහෙත් පුදුමයකට මෙන් ඒ සමානතාවය මේ පිටපත් දෙකෙ නැත. කවරක් සිදු වීද?
දැනට ඇති පිටපත් දෙකම මම ඔබට මෙහි ලබා දෙමි. ඔබම බලන්න.
1. මාචාර්‍ය්‍යය විමලානන්ද තෙන්නකෝන් මහතාගේ උඩරට මහ කැරැල්ල ග්‍රන්ථයේ තුන්වන කොටසේ 82 පිටුව බලන්න. එම පිටපතේ සිව්වනුව ඇත්තේ කණිෂ්ඨ පිලිමතලාවගේ අත්සනයි. මෙය දැනට ඇති එක් ගිවිසුම් පිටපතකි. මෙම පිටපතේ කණිෂ්ඨ පිළිමතලාවේ අත්සන නිකම්ම අත්සනකි. නිල සංකේත නැත.
2. නමුත් ජාතික ලේඛනාගාරයේ ඇති 1984 වර්ෂයේදී ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ධූරය දැරූ ආචාර්‍ය්‍ය හරිස්චන්ද්‍ර ද සිල්වා මැතිතුමා විසින් සොයා ගැනුණු පිටපත. මෙහි කණිෂ්ඨ පිළිමතලාවේගේ අත්සන සියලුම නිල සංකේත සහිතව තිබේ.
රටක නිදහස අහිමි කළ ගිවිසුමක් පිටපත් දෙකක් මෙසේ පරස්පර විරෝධී විය හැකිද?

7. 8. ප්‍රශ්න දෙක අපි එකට ගෙන කතා කරමු. එනම් ඇහැළේපොළ නිලමේතුමන් මෙලෙස හැසිරුණේ ඇයි. තම අඹුදරුවන් රාජසිංහගේ කුරිරු හස්තයට හසුකර කෙසේ ඉවසා සිටියාද? අනෙක් අතට මොල්ලිගොඩගේ භූමිකාව කුමක්ද?
මොල්ලිගොඩ යනු සිංහලේ රාජසභාව තුළ ප්‍රබලයෙකි. වැඩිමල් පිළිමතලාවේට සහ ඇහැළේපොළට යටින් සිටි උන්නතිකාමියෙක් වූ මොහු සැමවිටම කටයුතු කළේ ස්වාභිවෘද්ධිය පතාය. වැඩිමල් පිළිමතලාවේගේ රජවීමේ ගමනට බාධකයක් වූ මොහු එතුමාගේ හිස අහිමි වන තැනට කටයුතු යොදයි.

අනෙක් අතට පිළිමතලාවේගේ බෑණනුවන් වූ ඇහැළේපොළ සමග බද්ධ වෛරී ලෙස හැසිරෙයි. එනම් මොහුගේ ගමනට බාධාවක් ලෙස සිටිනා ජ්‍යේෂ්ඨයා වන ඇහැළේපොළ සාධකය හොදින් හෝ නරකින් ඉවත් කිරීම තකා මොහු කූට කුමන්ත්‍රණවල යෙදෙයි. රාජසිංහ රජුට තෑගිදීම සදහා රිදී ඇදක්, රන් කඩුවක්, හා රන් ඔටුන්නක් සාදමින් සිටි ඇහැළේපොළ රජුගෙන් බිඳවීමට සිතා මොල්ලිගොඩ විසින් ඒ පුවත රජුට සැලකරන්නේ රජ වීමට මේවා සාදන බව දන්වමිනි. ඒ බව පිළිගන්නා මෝඩ රජු ඇහැළේපොළ හා වෛර බඳී. අනෙක් අතට ඇහැළේපොළ කුමාරිහාමිගේ රූපයෙන්ද වශීවන රජු ඇය තම වඟයට ගැනීමට බලයි. මේ කිසිවක් ඉටුකර ගත නොහැකි වී ඇය කෙරෙහිද වෛරයෙන් මොල්ලිගොඩගේ ඉගැන්නුම් බස් අසා ඇහැළේපොළ පවුල විනාශ කර දමයි. මේ අපේ සිංහලේ අවසානය සලකුණු කළ සිදු වීමක් වෙයි. මින් කෝපයට පත් ප්‍රභූන් සහ ඇහැළේපොළ රජු ඉවත් කිරීමට සුද්දන් හා එක වෙයි. මොල්ලිගොඩ වැනි පුද්ගලික අභිමතාර්ථ නිසා ජාතිය පාවා දෙන ද්‍රෝහීන් නිසා සුද්දන් මෙරට රජය ලෙහෙසියෙන් පැහැර ගනී.
විමලානන්ද තෙන්නකෝන් මහතාගේ ග්‍රන්ථයේ තුන්වන කොටසෙහි 383 පිටුව බලන්න.
අනෙක මේ මොල්ලිගොඩ ඇහැළේපොළ රජ හා මිත්‍රවීමට සිතා එවන ලිපිය පැහැරගෙන ඒ වෙනුවට රජුට බැණවදිමින් ලිපියක් සකසා හොරට අත්සනක් ගසා රජුට ඉදිරිපත් කරයි. මින් කිපෙන රජු තම පුද්ගලික වෛරයද නිසා කුමාරිහාමි ඇතුළු මුළු පවුලම වධයට කැප කරයි.
මෙතැන හොර අත්සන් ගැසීමේ අතීතයක් ඇත්තෙක් ඔබට පෙනෙනවාද?
මා සිතන පිළිවෙළට මේ සියලුම අවුල් ඇති කළ කීපදෙනාගෙන් කෙනෙකි. මොල්ලිගොඩ නිලමේ වරයා.

ලිවීමට බොහෝ දේ ඇතත් මින් නැවතීමට සිතමි. තවත් මගේ උපකල්පන කීපයක්ම ඇත. ඒවා සහ මේ ආශ්‍රිත විශේෂ සිදුවීම කීපයක් තවත් ඇතත් දැනට ඉතා දිගු වී මාගලක් වී ඇති ලිපිය මේ කෙටි අදහසින් නවතමි.

ඔබ දන්නවාද මේ ගිවිසුම අත්සන් කර වර්ෂ තුනක් පමණ ගිය තැන සිංහලේ නිදහස වෙනුවෙන් මේ අත්සන් කළා යැයි කියනා නායකයින්ම දිවි පරදුවට තබා සටන් කර තම දිවි මේ බිම වෙත ජූජා කළ වග.
මොනරවිල කැප්පෙටිපොළ නායකත්වයෙන් සටන් වැදුනද, මිල්ලව නම් දූරදර්ශී අති ගෞරවණීය නායකයා ඉතාම කෙටි කලකින් ඉංග්‍රීසින්ට හසු වී මරණ දඩුවමට නියම වුවත් ඔහුගේ පාණ්ඩිත්‍යයට ගරුකළ සතුරන් ගල්කිස්සේ නිවාස අඩස්සියේ තබා තිබූ බව. ඊට අමතරව කැප්පෙටිපොළ සහ පිළිමතලාවේ සහ අනෙක් සියලුම නායකයන් ප්‍රදේශීය නායකත්වයද සමඟ දිවි අහිමි කරවීම හෝ රටින් පිටුවහල් කිරීමට බඳුන් වූ වග.

මගේ අදහස නම් මේ වන්නට ඇත්තේ නියම ගිවිසුම මේ එකක්වත් නොවන නිසාත් ඒ අපේ නායකයන් අත තිබූ නිසාත් ඉන් උඩරටට ඔවුන්ගේ අයිතියක් නැතිබව හෙළිවන නිසාත්ය.

මේ ලිපිය සම්පූර්ණ වීමට නම් මොල්ලිගොඩගේ ඉරණම ගැනත් යමක් ලිවිය යුතුය. ඔහු 18 කැරැල්ල නිර්දය ලෙස මැඬපැවැත්වීම සදහා ඉංග්‍රීසීන්ට නොයෙක් ලෙස උදව් වුණි. ඒ සදහා ඔහුට ලැබුණු තාන්න මාන්න බොහෝය. නමුත් තම පරපුර ඔහුගෙන්ම අවසන් විය. එනම් ඔහුගේ එකම පුතණුවන් අධික බීමට ඇබ්බැහි වී අකාලයේ ජීවිතයෙන් සමුගත් නිසාය. කෙතරම් දේ කළත් අවසන අනෙක් ප්‍රභූන්ගේ ඉරණමට නොදෙවෙනි ඉරණමක් ඔහුටද අත්විය. ඒ අපේ ජාතියේ මහා ඛේදවාචකය ඉදිරියෙන් ඉදිරියට ගෙන යාමට මහත්ම පිටුබලයක් විය. ඔබත් මාත් අසරණය.

අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ......

මේ ගිවිසුම නිසා අපට කිසිම රටකට නොවූ ලෙස වීරෝදාර නායකයන් ගණනාවක් අහිමි විය.

එහි ප්‍රතිඵල අදත් අප භුක්ති විඳිමින් සිටිනවා නේද???

මේ ගැන ඔබ දන්නා යමක් ඇතොත් එක් කරන මෙන් ඉල්ලා සිටිමි. කෙදිනක හෝ මේ ගැන යම් පියවරක් ගැනීමට මගේ සිතේ අදහසක් ඇත. ඔබගේ ආශීර්වාදය පතමි.

ඇසුරු කළ තැන්.
සිංහලේ සටන්, දයාවංශ ජයකොඩි.
කොඩ්‍රින්ටන් සටහන්.
ඩොයිලිගේ දිනපොත් සටහන්.
උඩරට මහ කැරැල්ල විමලානන්ද තෙන්නකෝන්.
උඩරට ගිවිසුම සම්බන්ධ නුවර එළියේ හේමපාල, මිරැන්ඩෝ ඔබේසේකර, ලලිත් ගුණවර්ධනයන්ගේ ලිපි.
ඇතුළු පුවත් පත් ලිපි විශාල ගණනක් මෙහිදී පරිශීලනය කළා.
දිවයින බදාදා අතිරේකවල සඳහන් කරුණු විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත්තා.
මා මහනුවර රාජකාරී කළ සමයේ එහි මා සමග වැඩකළ මාගේ රියදුරු සෙනෙවිරත්නයන් සහ අපේ ගිණුම් ලිපිකරු ආතාවුද මහතාවද මෙහිදී සිහිපත් කරමි.

(මේ සියලුම ලිපි ලේඛන මා සතුය. )

Wednesday, May 2, 2012

අපේ අතීත ඛේදවාචකයන් සහ කන්ද උඩරට ගිවිසුම - 01

අද මම ඔබට මේ මාසය සදහා ගෙන එන පළමු ලිපිය ගෙන එන්නයි මේ සැරසෙන්නේ. මම සිතනවා වසරක පමණ මගේ බ්ලොග් ඉතිහාසයේ මම ගෙන එන ඉතාම සංවේදී කාරණයයි මේ ලියන්නට සැරසෙන්නේ.

සිංහලේ තම දීර්ඝකාලීන අගනුවර වන අනුරපුරය වසර 1400 පමණත්, ඒ අත අතහැරීමෙන් පසු රජරටම වූ පොළොන්නරුවටත් එතැන සිට නිරිත දිගටත් පසුව ක්‍රමයෙන් බටහිරටත් සංක්‍රමණය වුණා. කෙසේ හෝ මගේ කල්පනාව නම් අපේ අවසාන සිංහලේ රාජධානිය වන්නේ සීතාවක බවයි. කන්දේ නුවර හෙවත් මහනුවර අගනගරයක් ලෙස පිළිගන්නට මගේ සිත ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව නියම රාජවංශිකයන් විසින් කන්දේ නුවර රාජධානිය පාලනය නොකිරීමත්, මුළු රටම ඉන් ආවරණය නොවීමත් කියන කරුණු. ඒ ගැන පසුව වෙනම ලිපියක් අපි ලියමු.

මෙහෙම නොයෙක් විපර්යාසවලට ලක්වුණු අපේ අගනගරය කෙමෙන් කන්දේ නුවරට පැමිණි ආකාරය ඔබ ඉගෙන ඇති කෙසේ හෝ මම මේ කතා කරන්න හදන්නේ ඒ අගනගරයේත් අවසාන සතිකීපය නැත්නම් දින කීපය ගැන බොහෝ දෙනෙක් නොදන්න රහසක් ගැන. මේක පටන් ගන්නේ ක්‍රි.ව. 1705 පමණයි. ඒ සදහා දායක වෙන පුද්ගලයන් අතරින් ජේකම් ගොන්සාල්වේස් කියන රෝමානු කතෝලික පූජකවරයා. මෙතුමා කන්දේ නුවරට බැල්ම දාන්නේ එහි දෙවන විමලධර්මසූරිය කියන නායකයා විසින් පාලනය කළ අවධියේදීයි.

මේ කතාවට ගොන්සාල්වේස් සම්බන්ධ නැති වුවත් ඉතාම කෙටියෙන් ඒ ගැනත් මම කියන්නම්. මෙතුමා ඉතාම සට කපට පුද්ගලයෙක් ලෙස කන්දේ පාලකයාගේ සිත දිනා ගැනීමට සමත් වෙනවා. මේ කාලය වන විට බෞද්ධාගමට ඇති ළැදියාව තම රජකම ආරක්ෂා කර ගැනීමේ ආභරණයක් වන තරමට පහත වැටී තිබෙන්නේ. ඒ නිසා කන්දේ පාලකයන් ආගම සලකන්නේ ජනතාවගේ සිත් දිනා ගැනීමේ ආයුධයක් ලෙස පමණයි. දෙවන විමලධර්මසූරියටත් ඒක එසේමයි. ඔහුගේ ආගමික ළැදියාව ඉතා අඩුයි.

මේ පාලකයාත් වෙනත් පසුව ඇති වූ කන්දේ පාලකයන් මෙන්ම තෑගිබෝග පිරිනැමීමෙන්, විශේෂයෙන්ම විදේශික මත්පැන් වලින් තම බසට නම්මා ගැනීමට මොවුන්ට හැකි විය. ඒ ඇසුර කෙතරම්ද යත්, තම ප්‍රධාන බිසවගෙන් නැතුව වෙනත් බිසවකට ලැබූ දරුවා වූ කුණ්ඩසාලේ කුමරුට අධ්‍යාපනය ලබාදෙන්නත් තෝරාගත්තේ ගොන්සාල්වේස් පියතුමාවයි. වසර 19 ඇවෑමෙන් මියගිය විමලධර්මසූරිය තම අනුප්‍රාප්තිකයා කරන්නේ මේ කුමරුවයි. නමුත් ප්‍රභූන් කිසිවෙක් ඊට කැමති වන්නේ නැහැ. ඒ හෙතුවෙන්ම පාලකයා හා ඇමතියන් අතර සියුම් නුරුස්නා බවකුත් ඇතිවෙනවා. කෙසේ හෝ මෙකල ගොන්සාල්වේස් ඉතා ප්‍රබල පුද්ගලයෙක් වෙනවා. මේ රජතුමාට සියලු දුසිරිත් පුරුදු පුහුණු වන්නේ මේ විදේශික ඇසුර හරහායි. ඉතාම නරක පාලකයෙක් වූ මොහු මෙරට නාමික රාජ්‍ය පාලකත්වයත් විදේශික ද්‍රවිඩයන්ට ලබාදෙනවා. ඒ ප්‍රභූන් හා පැවැති වෛරය නිසා. මෙන්න මේ ගැටලුව විසදීමට අපේ දේශප්‍රේමීන් ගත් නොයෙක් පියවරවල අවසානයේ පරාජය වන්නේ මුළු සිංහලේම විදේශික ඉතා ප්‍රබල සුදු අධිරාජ්යවාධීනට යටත් වෙමින් හා අපේ දේශීය දැනුම, අපේ සංකල්ප, අපේ දේ යැයි කිව හැකි සියල්ල සදාකාලයටම අපෙන් ඈත් කරවමින්.

මෙතැනදී විශේෂයෙන්ම කිව යුතු දෙයක්ද තිබෙනවා. එනම් මේ පාලකයා තම ජීවිතය ඉතා කෙටි කාලයකින් අවසන් කරනවා. ඒ ඔහු පෙලූ රෝගී තත්ත්වයක් නිසා. ඒ සම්බන්ධ තොරතුරු කියැවූ විට කෙලින්ම සිතෙන්නේ මොහි අධික දියවැඩියාවෙන් මෙනම සිරෝසිස් රෝගයෙනුත් පෙලුන බවයි. ඒ වගේම මේ සියළු රෝගයන්ට ප්‍රතිකාර කර තිබෙන්නේත් ගොන්සාල්වේස් පියනමට සිතූසේයි. එහි අවසන් පියවර වෙලා තිබෙන්නේ මේ රෝගයන්ගෙන් පෙලුන කුන්ඩසාලේ කුමරු හෙවත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ පාලකයා අවසන දියවැඩියා ගඩු ඇති වී ශරීරය වනවී ඉතාම නරක ලෙස අසාධ්‍ය වීමයි. කොටින්ම ඔහු සිටින තැන පවා දැඩි දුඟදක් තිබුනා යැයි කියවෙනවා.

මේ අවසාන සිංහල පාලකයායි. මෙලෙස වීමටත් හේතු වන්නේ මොහුට සිටි එකම පිරිමි දරුවාද ප්‍රභූන් විසින් මොහුට විරුද්ධව උසිගන්වා වී යැයි බියෙන් ඔහු අතින්ම මරණයට පත් කිරීමයි.

මා මේ ලිපිය ලිවීමට ගත්තේ මේ කතාව කීමට නොවේ වෙනත් වැදගත් හෙළිදරව්වක් කිරීමටයි. නමුත් ලිපිය දිගුවන නිසා ඒ ගැන ඊළඟට.


මේ ඛේදවාචකයට පාරකැපෙන්නේ මෙහෙම වුවත් මේකෙ නියම කුමන්ත්‍රණය හා ඒ සම්බන්ධ සිද්ධි තාමත් රහසක්. අන්න ඒ රහසෙන් යමක් ඔබට මම ඊලඟම ලිපියෙන් ගෙන එන්නම්........

Wednesday, April 25, 2012

ආඬි ප්‍රතිපත්ති සහ අපේ උරුමය.

මේ ලිපිය ලියන්න සිතාගෙන විශාල කාලයක් ගෙවුනා. නමුත් නොයෙක් නොයෙක් හේතුමත එය මඟ හැරුනා. දැන් ඒ නියම කාලය.......

මොහොතක් ඉන්න....

මුලින්ම මෙය දේශපාලනික ලියවිල්ලක් නෙමේ. කිසිම ආගමකට ජාතියකට අඹ මල් රොණක තරම්වත් හානියක් මේ ලිපියෙන් කරන්න මගේ තුන් සිතකවත් අදහසක් නැහැ.

ඒත් "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" කියනවනේ.

ඒ නිසා යමෙක්ට එහෙම හැඟුනොත් සමාවෙන්න. බයබෝයි!!!

මේ ලිපිය පටන් ගන්නම්, ඉන්දියාවෙන්.....

එකොළොස්වන ශත වර්ෂයේ දී පමණ මධ්‍යම ආසියාවේ සිට සුළු ආසියාව කරා ව්‍යාප්ත වූ අරාබි ජාතීන් ඉන්දියාවට පැමිණියා. උන්නතිකාමී ජාතියක් වූ අරාබීන් සැම විටම අවිබලයම ඉහළින් සැලකුවා. මේ යුගය වන විට ඉන්දියාවේද ඉතා විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබුනේ. එනම් දැනුම සොයා ගිය පුරාණ සෘෂි යුගයන් අවසන් වී ඉන්ද්‍රජාලික යාගහෝම බහුලව සිදුවන යුගයක් පැමිණිලා තිබුණා. මේ නිසා මුළු ඉන්දියාවම ඉතාමත්ම අනාරක්ෂිතව තිබුණේ. කතාවක් තිබෙනවා, එක්තරා රාජධානියකට පහර දෙන්න පැමිණියේ දහයකට අඩු අරාබීන් කණ්ඩායමක්ලු, නමුත් එක රැයෙන් මුළු රාජමාලිගයත් රජුත් සියල්ලම අල්ලා ගන්න ඔවුන්ට වැඩි වෙලාවක්වත්, බලයක්වත් යොදන්න වුණේ නැහැලු. හේතුව ආක්‍රමණය සිදුවද්දීත් ඔවුන් විශාල යාගයක් කරමින් තමයි සිට ඇත්තේ.

මේ අනුව ඉන්දියාවේ තිබූ රාජධානී විශාල ගණනක් ඉතා සුළු කලකදී අරාබීන් විසින් නතුකරගනු ලැබුවා.

මේ මෙසේ වත්දී හින්දූන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරගෙන තම නිසල දිවිය සාමයෙන් යුතුව ගෙවාදැමීමට උපක්‍රම සොයා බොහෝ දුර ගමන් කළා. හින්දූන් මෙම ඛේදවාචකයට මුහුණ දෙමින් තම නිජබිමින් සරණ සොයා පලා යනවිට ඔවුන්ට නොවරදින කෙම්බිමක් වූයේ අපේ සිංහලේ යි.

අපේ සැඟවුණු ඛේදවාචකය ඇරබෙන්නේ එහෙමයි.

මේ කතාවට ඔබ කැමති වුවොත් මේ ඔස්සේ තවත් ඉතිහාසයේ සැඟවී ගිය තොරතුරු ගැන අපි කතා කරමු පසුව. කෙසේ හෝ දැන් අපි පැමිණෙනවා ඉතාමත් වැදගත් තැනකට.

මේ සිද්ධීන්වල කූටප්‍රාප්තිය වෙන්නේ දහසය වන ශත වර්ෂයේ ඉන්දියාවට පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග. ඉතා දරුණු යුදකාමී ජාතීන් දෙකකට මැදිවන අහිංසා ධර්මයේ කෙළ පැමිණි හින්දූන් සිංහලේ බලා පලා එනවා පොකුරු පිටින්.

මේ කාලයේ සිංහලේ පැවතෙන්නෙත් ඉතාමත් අවිනිශ්චිත යුගයක්. කොට්ටේ යුගයේ ආරම්භයේ පටන්ම තිබුනු අනාරක්ෂිත බව උපරිමයෙන් සිංහලේ වැසියන් අත්විඳින්නේ මෙකලයි.

ඉන්දියාව උතුරෙන් අරාබීන් වෙතින් සමූලඝාතනය වෙන වෙලාවෙම දකුණෙන් පෘතුගීසීන් පැමිණෙනවා. එකොළොස්වන ශත වර්ෂයේ උතුරෙන් ඇරඹෙන මේ ඉන්දියානු හින්දුන්ගේ ව්‍යසනය, එවිට දකුණෙන්ද ඇරබෙනවා දහසයවන ශත වර්ෂයේ.

කෝට්ටේ සයවන පරාක්‍රමබාහුගේ පාලනය නිසා ඉතාමත් සමෘධිමත් යුගයක් මේවන විට සිංහලේ පැවතෙන්නේ.

සිංහලේ ට මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් වැඩිපුරම තම වාසය පිණිස තෝරා ගන්නේ කෝට්ටේ අගනුවරට නුදුරු ගොදුරු ගම්. මේවායේ නෂ්ටාවශේෂ තමයි, සෝම ග්‍රාමය හෙවත් හෝමාගම නම් ඉන්දියානු බමුණන්ගේ යාග හෝම පැවැත්තූ ග්‍රාමය. පිළියන්දල, හෝකන්දර, වැනි ග්‍රාමයන්. (මේ ගැන පසුව වෙනම ලියන්නම්.) කෙසේ හෝ මොවුන් මේ ගම්වල අගනුවර අවට තම ස්ථිර වාසය අරබනවා.

කල්යාමේදී මොවුන් සිංහලේ සමග මිශ්‍ර වීමෙන් දේශීය වෙනවා. නමුත් ඒ හින්දු දහමත් යාගහෝමත් මෙරටට ජනසමාජයට එක්කරමින්. මොවුන්ගේ බෞද්ධ බව තුළ හින්දු ආගමික වත් පිළිවෙත්ද අඩංගු වෙනවා. විශේෂයෙන්ම නැකැත් ශාස්ත්‍රය, ආයූර්වේදය වැනි එකලත් මෙරට දියුණුව පැවති සමහර විද්‍යාවන් සමග ක්‍රමයෙන් මිශ්‍රවන මේ හින්දු ආගමික සිරිත් විරිත් සිංහලේ සමාජය තුළ හඳුනාගත නොහැකි අයුරින්ම සමාජගත වෙනවා.

ක්‍රමයෙන් පෘතුගීසීන්ගේ බලය ලංකාව වෙතද ව්‍යාප්තවන විට, කෝට්ටේ රාජධානියේද පරිහානී යුගය ඇරඹෙනවා.

සිංහලේ ඉතිහාසය තුළ ඉතාම අද්විතීය සේවයක් කළ නමුත් නිසි පිළිගැනීමක් අදටත් ලැබී නැති සිංහලේ අවසාන රාජකීයයා වන (මෙහෙම ලිව්වේ හෙතු ඇතුව. ඒ කතාව පසුව.) සීතාවක පළමුවැනි රාජසිංහයන්ගේ සීතාවක ඉතා ශක්තිමත් රාජධානිය ඇති වෙන්නෙත් මේ යුගයේදීයි.

රාජසිංහයන් ඉතා අසීරු යුද්ධයක සිටි බැවින් ඔහුගේ රාජධානිය ඉතාමත් ආගමික නිදහස් මතධාරී තත්ත්වයක තමයි මේ වන විට තිබෙන්නේ. ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා මේ සංක්‍රමණිකයන් රජුගේ හා රාජධානියේ බලවත් තත්ත්වයකට මේ අවස්ථාවේදී පත් වෙනවා. දැන් ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි වලට යම් තරමක නිලභාවයක්ද මේ තුළින් ලබා ගැනීමට තරම් මොවුන් උපක්‍රමශීලී වෙනවා.

සීතාවක රාජධානිය පුරාම තම වත්පිළිවෙත් වපුරමින් බෞද්ධාගමික හින්දු චාරිත්‍ර දේව ඇදහිලි සමාජයට ඔබ්බන්නට මොවුන් මේ සමය තුළ ගන්නා උත්සාහය ඉතාමත් සාර්ථක වෙනවා. අදටත් දැකිය හැකි බැරැන්ඩි කෝවිල මේවායේ නටබුන්. ඉතා කෙටි කලකින් අවසන්වන සීතාවක රාජධානියේ වැටීමටත් මේ හෙතුවම විශාල ලෙස බලපානවා. උදාහරණ විදියට ඉදිරි දිනක අප කතා කරන අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් හදුන්වා දිය හැකියි.

සිංහලේ පුරා පැතුරුණු මොවුන් ආඬින් ලෙස අපේ පැරැණි සමාජයේ හදුන්වා ඇත. මෙම ආඬීන්ගේ දායකත්වය යුද්ධයේදී රාජසිංහයන් වෙත ලැබුණද ඒ තුළින් ඔවුන් ලබාගත් වැදගත්ම දේ වන්නේ සිංහලේ සමාජයේ ස්ථාවරත්වයට පත් වීමයි.

සිංහලේ වැසියන්ගේ ලේවලම තුබූ එකිනෙකා පාවාදීම වැනි වැරදි හැසිරීම් නිසාද සංක්‍රමණික ඉන්දියානුවාට පහසුවෙන්ම රජුගේ සිත් දිනා ගැනීමට මඟ පෑදෙනවා. උදාහරණ ලෙස වික්‍රමසිංහ මුදලි සහ සෙනවිරත්න මුදලි අතර හටගත් ආරාවුල පෙන්වා දිය හැක.

මේ අනුව කලක් ගතවන විට ස්වදේශිකයන්ට වඩා විශාල බලයක් සංක්‍රමණික ඉන්දියානුවාට ක්‍රමයෙන් ලැබුණි.

සීතාවක රාජධානියේ පරිහානියත් සමගම මේ සංක්‍රමණිකයන් සීතාවක අතහැර වෙනතක් බැලීය. එහිදී ඔවුන් තෝරාගත් විකල්පය වූයේ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය නම් වංශවත් සිටුවරයායි. මොහු සම්ප්‍රදායික සිංහලේ රාජකීයයෙක් නොවුන අතර සිංහලේ වැසියන්ගේ තේරීමද නොවුණි. නමුත් අතිදක්ෂයෙක් වූ හෙතෙම යම් පමණකට සිංහලේ රාජධානිය ආරක්ෂා කිරීමට සමත් වුවත් එය කන්ද උඩරටට සීමාසහිත විය.

කොනප්පු බන්ඩාරයණ්ගේ වාරය පැමිණිබව දත් උපක්‍රමශීලී සංක්‍රමණිකයා කෙමෙන් කන්දේ රාජධානිය වෙත යොමුවිය. නියම රාජකීයයෙක් නොවුණු ජනතාව විසින් එතරම් සුහදව පිළිනොගත් කොනප්පු බණ්ඩාරයන්ට කිට්ටු වූ සංක්‍රමණිකයා, කන්දේ රාජධානියේ පැලපදියම් විය. එහි වංශවතුන්ගේ තත්ත්වයට පත්වූ මොවුන් රාජකීයයන්ගේ ළඟම මිතුරන් සහ උසස්ම නිලධාරි පැලැන්තිය බවට පත් විය.

එසේ ලබාගත් තම අවස්ථාව කන්දේ රාජධානිය අවසන් වන විට තවදුරටත් රැක ගැනීමට ක්‍රමයෙන් ඉංග්‍රීසීන් වෙතද කිට්ටු වීමට තරම් මොවුන් කපටි වෙනවා.

උතුරු ඉන්දියානු වත්පිළිවෙත් කන්දේ රාජධානියේ මාලිගය තුළ බොහෝ සෙයින් අගය කෙරුණි. ඒ අතරම හින්දු දේව විශ්වාසය ද එම ශාස්ත්‍රයන්ද පිරිසිදු බුදු දහම සහ ආයූර්වේදය තුළ කෙදිනකවත් වෙනස් කළ නොහැකි ලෙස කිදා බැසීමද සිදු විය.

කන්දේ රාජධානියේ අවසාන සමය තුළ මේ මහා ඛෙදවාචකය සම්පූර්ණ කරමින් දකුණු ඉන්දියානුවන් රාජධානියේ බලය අල්ලා ගැනීම ද, අවසන ඉංග්‍රීසීන්ට එය පාවාදීම ද සිදු විය.

ඒ වන විට අපේ ගැතිකම් කොතෙක්ද යත් ගලගමයන් හා තව කෙනෙක් දෙදෙනෙක් හැර ඉංග්‍රීසි සිංහල උඩරට ගිවිසුමට අත්සන් කළ වැඩිදෙනා තම අත්සන යෙදුවේ දෙමළ බසිනි.

ඉංග්‍රීසි යටත් විජිතයක් වූ පසුද මේ සංක්‍රමණිකයාගේ විජාතික ගති ලක්ෂණ මතු වෙමින් යට යමින් ඉංග්‍රීසීන් හමුවේද තම ආඬි ප්‍රතිපත්ති මත ගෞරවය දිනාගත් සංක්‍රමණිකයා ඉංග්‍රීසින්ගෙන් පසුව කෙළින්ම තම අතට රාජධානියේ පාලනය ඩැහැ ගැනීමට සමත් විය. අද අප පෙළන බොහෝ ප්‍රශ්න වල ආරම්භය මෙය වුවත් මේ ගැන කතා කරන්නේ කවුද?

අනාදිමත් කාලයක සිට තම ප්‍රමුඛභාවය අහිමි වූ සිංහලේ වැසියා, අද තමාගේ මුල් කොතනදැයි නොදනී.

දැන් මේ ලියවිල්ල අවසාන කිරීමට පෙර මම ඔබෙන් යමක් අසන්නම්,


මේ ලියවිල්ලේදී මම හැම විටම සිංහලේ යනුවෙන් ඔබට යමක් කීමට උත්සාහ කළා ඒ කුමක්දැයි ඔබ සිතන්නේද?

Thursday, April 19, 2012

සමාවෙන්න!!!

දිගු කාලෙකින් යමක් ලියන්න බැරි වුනා. ප්‍රථමයෙන් මගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

මේ වසර මට ඉතාම වැදගත් වසරක්. එනම් මම මේ වන විට මගේ අධ්‍යාපන කටයුතුවල ඉතාම තීරණාත්මක තැනක සිටින නිසා. මේ වසරේ මුල් මාස 6 අවසන් වෙනවා කියන්නේ මට මගේ කටයුතු 75% අවසන් වෙනවා. ඒ නිසා මම මේ වසරේ බ්ලොග්කරණයේ එතරම් යෙදුනේ නැහැ. නමුත් අද පටන් ඒ බාධාව ඉවත් වෙනවා. නැවතත් ඔන්න සීන් එකට ඇන්ටර් වෙන්නයි යන්නේ.

මුලින්ම කියන්නම් දැන් මගේ බ්ලොග්කරණයට වසරක් වෙනවා. ගිය වසරේ අප්‍රේල් තමයි මම වෙදගෙදර ආරම්භ කලේ. මාවෙත සහය දුන් ඔබ සැමට ස්තුතියි!!

මම මේ ලිපිය ඔබට ගෙනෙන්න සිතා සිටියේ සිංහළ අලුත් අවුරුද්ද යෙදෙන දිනයේදීමයි. නමුත් මට ඒ සදහා අවකාශයක් ලබා ගන්න බැරි වුනා. එයට හේතු වූයේ මගේ දෙවනි මව වැනි මගේ ආදරණීය නැන්දනිය හෙවත් වෙදහාමිනේගේ මව්තුමිය අවුරුද්ද ලබන්න කලින් එදිනම බලවත් ලෙස අසනීප වූ නිසයි. දැන් ඇයගේ වයස අවුරුදු 76 පමන. ඒ නිසා ඇයත් රැගෙන මා ඇතුළු පවුලේ සියල්ලන්ම නැවතත් කොළඹ පැමිණියා. ගිය වසරේදී අපේ වෙද පවුලත්, මගේ මිත්‍ර වෙදහාමිනේගේ සොයුරාත් අවුරුද්දට සහභාගී න් ඔවුන නිසා, මේ වසරේ අවුරුද්ද ඉහලින්ම සමරන්න මව බලාපොරොත්තු වුනා. ඒ නිසාම ඇයගේ සුළු අසනීප තත්ත්වය ඇය සඟවාගෙන සිටියා. අවුරුදු දිනයේ හදිසියේම ඒ උත්සන්න වීමෙන් තමයි මේ කලබලය ඇති වූයේ. කෙසේ හෝ ඇය දැන් නැවතත් නිරෝගී බවට පත්වෙමින් සිටිනවා.

ඉදිරියේදී ආයූර්වේදයත් දේශීය දැණුමත් සම්බන්ධ මගේ ලිපි නොකඩවා ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැම මට මෙතෙක් දුන් සහය ඉදිරියටත් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.

ඔබට ජය!!!!!!

ඉක්මනින් හමුවෙමු,,,,,,,,,,,

සුපුරුදු පරිදි...............